Pages

Thursday, July 17, 2014

ගාමිණී කුලරත්න වීරයා දිවි පුදා වසර 23යි


පුරා තිස්‌වසරක්‌ මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක්‌ සිදුකළ රුදුරු කොටි ත්‍රස්‌තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරයක්‌ තම ජීවිතය පූජාකරමින් වළක්‌වා සහෝදර සෙබළුන් 1500 කට කිට්‌ටු ප්‍රමාණයක ජීවිත බේරාදුන් හසලක වීරගාමිණී සෙබළා දැයෙන් සමුගෙන ජුලි මස 14 වැනිදාට විසිතුන් වසරක්‌ සපිරේ.

1966 වසරේ සැප්තැම්බර් මස 22 වැනි දින හසලකදී උපත ලද වීරගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්‌ දෙනකුගෙන් සමන්විත පවුලක දෙවැන්නා විය. හසළක ප්‍රදේශයේ ගොවියෙකු වූ වයි. බී. බබානිස්‌, ගාමිණීගේ පියා වූ අතර 1980 දී ඔහු මිය ගියේය. වයි. බී. ජුලියට්‌ නැමති සිය මෑණියන් සහ සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමඟ ගාමිණී ජීවත්වූයේ හසලක ප්‍රදේශයේ කුඩා නිවසකය.

මුලින්ම සාමාන්‍ය සෙබලෙකු ලෙස හමුදා සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මියයන විට ලාන්ස්‌ කෝප්රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය. සිද්ධිය වූ 1991 වසරේ ජුලි මස 14 වැනි දින ඔහු සේවය කළේ අලිමංකඩ යුද හමුදා කඳවුර අසල ආරක්‍ෂක සෙබලෙකු ලෙසිනි. බෝම්බ පුරවාගත් කොටි බුල්ඩෝසරයක්‌ අලිමංකඩ හමුදා කඳවුර පුපුරවා විනාශ කර දමන්නට ළඟ ළඟම එමින් සිටින බවට හදිසි තොරතුරක්‌ ඔහු වෙත ලැබුණේ මේ අතරවාරයේය. ඒ වන විට කඳවුර තුළ සිටි සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත විනාශ වන්නට යන ආකාරය ඔහුට මැවී පෙනෙන්නට ඇත. වහා ක්‍රියාත්මක වූ ගාමිණි කුලරත්න සෙබළා බෝම්බ පුරවාගත් බුල්ඩෝසරය වේගයෙන් තමා පසුකර යන්නට සැරසෙනවාත් සමඟම තම අත තිබූ ග්‍රෙනේඩ් බෝම්බ දෙකක්‌ද සමඟ වහාම කොටි බුල්ඩෝසරයට පැනගත්තේ තම ජීවිතය ගැනද නොසිතමිනි. මොහොතකින් එහි තිබූ බෝම්බ සියල්ල පුපුරා ගොස්‌ බුල්ඩෝසරයද විනාශ වූයේ ගාමිණී කුලරත්න වීර සෙබළාගේ ජීවිතයද අහිමි කරමිනි.

මේ ශෝචනීය සිද්ධිය සිදුවූ අවස්‌ථාවේ මා කටයුතු කරමින් සිටියේ බස්‌නාහිර පළාත් සභාවේ ප්‍රවාහන, මහාමාර්ග, නිවාස හා ඉදිකිරීම් කටයුතු භාර අමාත්‍යවරයා ලෙසය. සිද්ධිය සැලවූ වහාම ගාමිණී කුලරත්න වීර සෙබලාගේ හසලක නිවස වෙත ගොස්‌ ඔහුගේ මව සහ සහෝදර සහෝදරියන් මුණගැසී කතාබහ කරන්නට මට අවස්‌ථාව ලැබුණි. ඒ වන විට ඔවුන් පදිංචි වී සිටි නිවස ඉතා අබලන් එකක්‌ විය. එය දැකීමෙන් ඉතා කනගාටුවට පත්වූ මම වීරගාමිණී සෙබලාට උපහාරයක්‌ වශයෙන් එම පවුලේ උදවිය සඳහා නව නිවසක්‌ තනා දීමට කටයුතු කළ බව ඉතා නිහතමානීව සඳහන් කරනු කැමැත්තෙමි.

හසලක ගාමිණී කුලරත්න සෙබළාගේ වීර ක්‍රියාව වෙනුවෙන් එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහු "පරම වීර විභූෂණ" සම්මානයෙන් පුදා එම සම්මාන ඔහුගේ මෑණියන් වෙත ප්‍රදානය කළ අතර ඊට අමතරව හසලක නගරය මධ්‍යයේ ඔහුගේ පිළිරුවක්‌ද ඉදිකරනු ලැබීය. "පරම වීර විභූෂණ" සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම රණවිරුවා වීමේ ගෞරවයද හසලක වීරගාමිණී සෙබලාට හිමිවීම විශේෂත්වයකි.

මීට අමතරව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අලිමංකඩ හමුදා කඳවුර අසල පිපිරීම සිදුවූ ස්‌ථානයේ වීරගාමිණී සෙබලාගේ සිහිවටන පිළිරුවක්‌ද ඉදිකරවන ලදී.

තවද තිස්‌වසරක යුද්ධය නිමාකර රටට සාමය ඇති කර දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් රට වෙනුවෙන් දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් සඳහා විශේෂ දිනයක්‌ වෙන්කර වාර්ෂිකව ඔවුන් සැමරීමට ක්‍රියාකිරීම කාගේත් පැසසුමට හේතුවී ඇත. එසේම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමද විශේෂයෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන්ද එම රණවිරුවන් වෙනුවෙන් දක්‌වන්නාවූ විශේෂ වැඩපිළිවෙළ අප අගය කළ යුතුය.

වීරගාමිණී සෙබලාගේ මරණය සිදුවී විසි වසරක්‌ සපිරුණු දිනයේ වත්තල ප්‍රදේශයේ සමිති සමාගම් කීපයක නියෝජිත පිරිසක්‌ද සමඟ හසලක පිහිටි ඔහුගේ නිවසට යන්නට මට අවස්‌ථාව ලැබුණි. මා එහි යන බව කල්තියා දැනුම්දීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ජනාධිපතිතුමන් විසින් එවා තිබූ සුදුහඳුන් බුදු පිළිමයක්‌ සහ පණිවිඩයක්‌ද විපක්‍ෂ නායකතුමන් විසින් එවා තිබූ විශේෂ පණිවුඩයක්‌ද මම එහිදී ගාමිණී කුලරත්න රණවිරුවාගේ මවට භාර දුනිමි.

මියගිය ගාමිණී කුලරත්න වෙනුවට පවුලේ සිව්වැනි පුතා වන නිමල් රංජිත් ද හමුදා සේවයට එක්‌කර ඇති බව එහිදී අපට දැනගන්නට ලැබිණි. ගාමිණි රණවිරුවාගේ මව විසින් කරන ලද විශේෂ ඉල්ලීමක්‌ අනුව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුණ ගැසීමට අවශ්‍ය කටයුතුද සූදානම් කර තිබේ.

රට දැය වෙනුවෙන් සිය කැමැත්තෙන්ම දිවිපිදූ හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා අපට මහත් අභිමානයකි.


හසලක වීරගාමිණී රණවිරුවා රට දැය වෙනුවෙන් දිවි පුදා විසිවසරක්‌ පිරුණු අවස්‌ථාවේ ඔහුගේ මෑණියන් සහ සොයුරු සොයුරියන් මුණගැසීම පිණිස බස්‌නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ලෝරන්ස්‌ මාදිවල මහතා වත්තල ප්‍රදේශයේ සමිති සමාගම් කීපයක නියෝජිත පිරිසක්‌ සමඟ තෑගි බෝගද රැගෙන හසලක නිවසට ගිය අවස්‌ථාවේ ගත් ඡායාරූපයකි මේ. එම අවස්‌ථාව සිහිවීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එවා තිබූ විශේෂ සමරු තිළිණයක්‌ වීරගාමිණී රණවිරුවාගේ මෑණියන් වන වයි. බී. ජුලියට්‌ කුලරත්න මහත්මිය වෙත මාදිවල මහතා එහිදී භාරදුන් අවස්‌ථාව මෙහි දැක්‌වේ.

ලෝරන්ස්‌ මාදිවල, බස්‌නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය
http://www.divaina.com/2014/07/14/news13.html

0 comments: