Pages

Tuesday, July 1, 2014

බටහිරට ගැති නැති සාධාරණ හා නිවැරදි දිවි පැවැත්මක අවශ්‍යතාව


පෙර සිට මැ බටහිර රාජ්‍ය පාලකයන්ගේ අරමුණ වී ඇත්තේ තම රටවැසියනට භෞතික සම්පත් හා සුවපහසුව උපරිම මට්‌ටමින් ලබාදීමයි. සියල්ලන් එයට කැමති වන හෙයින් ඒ ලගුකොට සැලකිය නොහැකියි.

එහෙත් භෞතික සම්පත් හා සුවපහසුව භුක්‌ති විඳීමේ අර්ථයක්‌ තිබිය යුතුව සේමැ ඒ ලබාදීම සඳහා ආරක්‍ෂාකාරී නිවැරදි ක්‍රමවේදයක්‌ ද තිබිය යුතුය.

අර්ථය වන්නේ සිතේ අහිංසක ප්‍රබෝධයක්‌ ඇතිවීම හා ගතට හිතකර තත්ත්වයක්‌ ඇතිවීම හා ජීවන කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් සරලවැ කරගත හැකි වීමයි.

ආරක්‍ෂාකාරී නිවැරදි ක්‍රමවේදයක්‌ වන්නේ එකල ජීවීන්ගේ පැවැත්ම සඳහා වන පරිසරය සුරැකීම හා අවශ්‍යතාවේ අර්ථය හා සීමාව දැන ඒ උපයෝගී කර ගැනීමයි. මේ කරුණු නොදැන හෝ නොසලකා හෝ හැඟීම්වලට හා ආසාවට වාල්ව භෞතික සම්පත භුක්‌ති විඳින්නට යැමෙන් හා සුවපහසුව ඇති කර ගන්නට යැමෙන් වන්නේ ආත්ම ලෝභී අසංවේදී කෑදර මිනිසකු බිහිවීමයි.

අද ඒ මිනිසා බිහිවී ඇති වගට අපට නම් කිසිම සැකයක්‌ නැත.

බටහිර රාජ්‍ය පාලකයන් හා උගතුන් එදා ක්‍රියාකොට ඇත්තේත් අද ක්‍රියා කරන්නේත් ඉහත කරුණු කිසිවක්‌ සැලකිල්ලට ගෙන නොවේ. එයට හේතුව මිනිහා මිහිපිට ප්‍රබලයාය සියල්ල මිනිසා සඳහාය. ඔහු භෞතික සම්පත් ගොදුරුකර ගෙන මිහිමත ඉසුරුමත් සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කළ යුතුය යන කුරිරු මිථ්‍යා සංකල්පය ඔවුන් ආදර්ශ පාඨය හැටියට ගැනීමයි. බටහිරුන් ඔවුන්ගේ ගමන අරඹා ඇත්තේ මුහුදු කොල්ලයෙනි.

අනතුරු වැ වාණිජ සංස්‌කෘතිය සවිමත් කොටගෙන බලවත් වාණිජ ධනපති පන්තියක්‌ බිහිකොට ගෙන වාණිජ ව්‍යාපාර පුළුල් කොට මහා කර්මාන්ත ශාලා පිහිටුවාගෙන පරිසරය ගොදුරු කර ගැනීම ඇරැඹිණි. ඒ ඔස්‌සේ විද්‍යාව, ශිල්පීය නිපුණතාව පණ ගැන්විණි. රාජ්‍ය අච්චු පුරවැසි පුහුණුව අධ්‍යාපනය හැටියට හුවා පා ව්‍යාප්ත කිරීමෙන් සියල්ල තහවුරු කෙරිණි. අඩු තරමින් තමා මිනිසකු හැටියට ලොවට බිහිවී ඇත්තේ ඇයිද යන කරුණ සලකා බැලීමටවත් පුද්ගලයාට මේ අධ්‍යාපනයෙන් ඉඩක්‌ සලසා නැත. යහපත් පුරවැසියකු තැනීමක්‌ ගැන නිබඳ පාරම්බානු ඇසේ. හරිහමන් මිනිසකු නොවී යහපත් පුරවැසියකු වන්නේ කෙසේද? මේ නම් හිස්‌ කියමනෙකි. අපේ අධ්‍යාපන විසාරදයනට මේ කරුණ නොවැටහේ.

අද ඒ ගෝලීය කරණය යන නමින් පොලෝතලය ජල තලය, වාතලය, හිරුකිරණ වන පෙත් හා සතා සිවුපාවා ද ගොදුරු කර ගෙන විස ගන්වා විපරිත කිරීමේ ලෝක වාණිජ ව්‍යාපාරයක්‌ බවට ද පත්වැ ඇත. විද්‍යා දියුණුව ලෝක සංවර්ධනය ආර්ථිකය නැංවීම යනුවෙන් අඬහැර පාමින් අහස උසට නංවන්නට වළිකන්නේ මේ කූට කුරිරු වාණිජ ව්‍යාපාරයයි. අද ලොවේ රාජ්‍ය පාලනයක්‌ නැත. රාජ්‍ය පාලකයෝ ද නොවෙති. ඇත්තේ ලෝක මහා වාණිජ ව්‍යාපාරයේ ශාඛා හා සහායක අධ්‍යක්‍ෂ මණ්‌ඩලයයි. වාණිජ සංකල්ප "මැවීමට" සිදුවී ඇත්තේ මේ හෙයිනි.

මේ ජීව ලෝකයට මැ සාපයෙකි.

පුදුමය හා අවාසනාව නම් පෙරදිග ඥාණ දර්ශන, ජීවන දර්ශන, ජීවන මාර්ග විද්‍යා කලා ශිල්ප ආදී සියල්ල මේ විනාසකාරී පාපකාරී වානිජ වසංගතයට යටවී අහෝසි වී යැමයි. නැති නම් විපිරිත වී යැමයි.

අපේ පැරැණි සිංහල රජවරුන් රට වැසියන්ට භෞතික සම්පත් ගොඩගසා ගැනීමට හෝ නොයෙකුත් සුවපහසුකම්වලින් සංතර්පනය වීමට හෝ නොපෙලඹ වූහ. ඔවුන් රටවැසියනට අනුබල දුන්නේ පරිසරය හා බැඳි නිවැරදි අර්ථවත් සාධාරණ සරල (නිරවුල්) දිවි පෙවෙතක්‌ ගෙන යැමටයි.

අපේ මුතුන්මිත්තෝ සොබා දහම හා පරිසරය නොවන්නට තමන්ගේ පැවැත්මක්‌ නොවන වන බව හරි හැටි දැන සිටියහ. අවිචාරයෙන් බටහිරුන් පසුපස යැමෙන් අද අපි අඳුරට මුලාවට වැටී සාපය හා විනාශය දියුණුව හා සංවර්ධනය හැටියට ගෙන නන්නත්තාර වී සිටිමු.

තම රටේ වැස්‌සන් නිවහල් වැ වැඩදායක වැ සිතන්න වුන් ක්‍රියා කරන්න වුන් බවට පත් කිරීම හා සමාන වෙනත් ජන සේවාවක්‌ රාජ්‍ය පාලකයනට හා උගතුනට කළ නොහැකියි. එසේ මැ රට වැස්‌සන් ආසාවේ හා හැඟීම්වල දාසයන් බවට පත්කොට භෞතික සම්පත් හා සුවපහසුවට වහවට්‌ටා පරගැත්තන් කිරීම තරම් වෙනත් පාපයක්‌ අමන කමක්‌ ද නැත. මේ විවරණය කර ගැනීම රාජ්‍ය පාලකයන්ගේ හා උගතුන්ගේ වගකීමකි.

සාගරය, ගොඩබිම, ගුවන් තලය ජයගෙන සොබා දහමට හා පරිසරයට කොකා පෙන්නා ඉහළින් වැජැඹෙන්නට උපා මාරු යෙදීම මොන තරම් තකතීරු අමන කමක්‌ද?

අධික භෞතික සම්පත් හා සුව පහසුව අත් විඳිමින් සුර සැප ලබන්නට යැම අනෙක්‌ අතින් දරුණු රෝගයකි. අපේ අනුකාරක රාජ්‍ය පාලකයන් හා උගතුන් රෝගය ඔඩු ගිය වග පිළිගන්නේ බටහිරුන් ඔඩුගිය වග සහතික කොට ඒතතු ගැන්නූ පසුවයි.

අහෝ අපූරු රාජ්‍ය තාන්ත්‍රික ඥාණය අපාර උගත්කම.

අධික භෞතික සම්පත් හා සුවපහසුව සෙවීම ලෝක ජීවන දර්ශනය නොවී පරිසරය හා බැඳී නිවැරදි අර්ථවත් සාධාරණ සරල (නිරවුල්) දිවි පැවැත්ම ලෝක ජීවන දර්ශනය විණි නම් කිසි කලෙක මේ අවම පාපකාරී විනාසකාරී දියුණු සංවර්ධනය ඉස්‌මතු වන්නේ නැත. ආත්මලෝභී අසංවේදී කෑදර නව මානවයකු මිහිමත බිහිවන්නේද නැත.

පෙරදිග පැරැදී ඇත්තේ මෙතැනදී යෑ.

න. හෙළිඇසිරි
http://www.divaina.com/2014/07/01/feature01.html

0 comments: