Pages

Tuesday, July 1, 2014

කසල සම්පතක්‌ කර ගනිමු! - 1

ඝන අපද්‍රව්‍ය ශිෂ්ටාචාරයේ හා නාගරීකරණයේ මෙන්ම දියුණුවේ අතුරු ප්‍රතිඵලයක්‌ වන අතර, මෙය පරිසරයේ නොයෙකුත් තැන්වල ගොඩගසනු අපට දැකගත හැකිය. එක්‌සත් ජනපදයේ සාමාන්‍යයෙන් පුරවැසියකු විසින් තම ශරීර බර මෙන් ප්‍රමාණයක අපද්‍රව්‍ය එක්‌ මසකදී පරිසරයට එකතු කරනු ලබයි. අපද්‍රව්‍ය කළමනාකරණය යහපත් අයුරින් සිදුවන විට අප එය ගැන වැඩි අවධානයක්‌ යොදවන්නේ නැත. ඉවත ලන දෑ එකතු කර කොටසක්‌ ප්‍රතිචක්‍රීකරණය කරන අතර තවත් කොටසක්‌ කොම්පොස්‌ට්‌ නිපදවීමට යොදාගනී. විශාල ප්‍රමාණයක්‌ වූ අපද්‍රව්‍ය මගින් පරිසරය පුරවන අතර තවත් කොටසක්‌ දහනය කර අළු කරනු ලැබේ. කෙසේ වුවද, මේ පිළිබඳ වූ ලෝක මතය අසතුටුදායක යෑයි පැවසිය හැකිය. කෙසේ වෙතත් බොහෝ දියුණු රටවල් අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය මගින් අතිවිශාල පාරිසරික මෙන්ම ආර්ථීක වාසි ලබා ගන්නා බව පෙනීයයි.

පසුගිය ශත වර්ෂය තුළදී ජනගහනය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර බොහෝ පිරිස නාගරීකරණය ප්‍රිය කරමින් නගරවල ජීවත්වීමට හුරු වී ආර්ථීක අතින්ද යහපත් ජීවිතයකට පුරුදු වී සිටින බව දැකිය හැකි නමුත් ඔවුන්ගේ අපද්‍රව්‍ය නිෂ්පාදනය දහගුණයකින් පමණ වැඩි වී ඇත. ලෝක බැංකුව මගින් 2012 වසරේ පළ කරන ලද වාර්තාවකට අනුව මෙම අපද්‍රව්‍ය ප්‍රමාණය 2025 වසර වනවිට දෙගුණ වනු ඇතැයි පෙන්වා දෙයි. අපද්‍රව්‍ය නිපදවීම අනෙකුත් පරිසර දූෂකයන්ට වඩා සීඝ්‍රයෙන් වර්ධනය වන බවක්‌ පෙන්නුම් කරයි. විශාල ලෙස ප්ලාස්‌ටික්‌ මුහුදට, ජලාශවලට හා ගංගාවලට එකතුවීම විශාල ගැටලුවක්‌ වී ඇති අතර ප්ලාස්‌ටික්‌ හා පොලිතින් නිසා බොහෝ නගරවලට ගංවතුර තර්ජන ඇතිවී තිබෙන බවද වාර්තා වේ. අද වනවිට ඝන අපද්‍රව්‍ය කලමණාකරණය නගර සභා වලට ප්‍රධාන ගැටලුවක්‌ වී ඇති අතර එයට ඔවුන් විශාල ලෙස මුදල් වෙන් කරන්නේය.

අපද්‍රව්‍ය ප්‍රශ්නය ඉතා දරුණුවට බලපාන්නේ නව නගරවල බව පැවසේ. චීනය, දකුණු කොරියාව, බ්‍රසීලය හා මෙක්‌සිකෝවේ සමහර නගරවල ගොඩගසන අපද්‍රව්‍ය ප්‍රමාණය විශාල වන අතර, දිනකට එකතුවන ප්‍රමාණය ටොන් 10000 ඉක්‌මවයි. ලෝක අපද්‍රව්‍ය පුළුස්‌සා දමන ප්‍රධාන ස්‌ථාන 2000ට වැඩිය වාර්තා වෙයි. මෙහි ප්‍රධාන ස්‌ථානවලදී දිනකට ටොන් 5000ට වැඩි ප්‍රමාණයක්‌ පුළුස්‌සා දමන අතර, අළු පිට කිරීම හා වායු දූෂණය ගැන දැඩි අවධානය යොමු වී ඇත. මේ සඳහා අති විශාල මුදල් ද වැය වන බව වාර්තා වෙයි. 

නගරවැසියන් පොහොසත් වන විට ඔවුන් මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ප්‍රමාණයකට පැමිණියත් ධනවතුන් අපද්‍රව්‍ය කළමනාකරණයට පෙළඹෙන බවක්‌ද දැකිය හැක. ලොව පුරා ජීවන තත්ත්වය උසස්‌වීම හා නාගරික ජනගහනය ස්‌ථායී වීම මගින් ලෝක අපද්‍රව්‍ය නිපදවන ප්‍රමාණයේ උච්ඡ අවස්‌ථාවට පැමිණේ. එය කොයි කාලයේ සිදුවේදැයි අනාවැකි කිව නොහැක. පවතින්නාවූ ආර්ථීක සමාජ තත්ත්වයන් අනුව ගණනය කිරීමේදී මෙම සියවස තුළ අපද්‍රව්‍ය නිපදවන ප්‍රමාණය උච්ඡ නොවන බව පැවසිය හැක. ජනගහනය වර්ධනය අඩු කිරීම හා සම්පත් හා අමුද්‍රව්‍ය භාවිතය පාලනය නොකළහොත් පෘථිවිය අතිවිශාල අපද්‍රව්‍ය ප්‍රශ්නයකට ලක්‌වන බව පෙන්වා දිය හැකිය. මෙය පරිසර සංරක්‍ෂණය වැනි දැඩි අවධානයට යොමුව ඇති තවදුරටත් යොමු විය යුතු ඉතා වැදගත් පාරිසරික ගැටලුවකි.

නාගරික ප්‍රශ්නය

ඝන අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම නාගරීකරණය හා බැඳි සංසිද්ධියකි. ගම්බද ජනාවාසවල අසුරන ලද ද්‍රව්‍ය භාවිතය ඉතා අඩුය. ආහාර නාස්‌තියද අවම වන අතර විශාල ලෙස නිෂ්පාදනයන් සිදු නොකරයි. ආර්ථීක අතින් සම තත්ත්වයේ සිටිනා නාගරික වැසියෙකු ගම්බද වැසියෙකුමෙන් දෙගුණයක අපද්‍රව්‍ය මුදාහරී. අප පොහොසත් යෑයි හඳුන්වන නාගරික වැසියකු සාමාන්‍ය වැසියකු මෙන් හතරගුණයක අපද්‍රව්‍ය බැහැර කරයි. මෙයින් පෙනීයන්නේ පොහොසතුන් පරිසර සංරක්‍ෂණය ගැන වැඩි සැලකිල්ලක්‌ නොදක්‌වන බවයි.

නාගරීකරණය වැඩිවත්ම ලෝකයේ අපද්‍රව්‍ය නිපදවන ප්‍රමාණය වර්ධනය වේ. වර්ෂ 1900 දී ලොව පුරා නාගරික වැසියන් මිලියන 220ක්‌ පමණ සිටි අතර, එය ලෝක ජනගහනයෙන් 13% කි. මොවුන් විසින් දිනකට ටොන් 300,000කට ආසන්න ප්‍රමාණයක අපද්‍රව්‍ය මුදාහරින ලදී. මෙහි ප්‍රධාන වශයෙන් නිවෙස්‌වල අබලි ද්‍රව්‍ය, ආහාරමය අපද්‍රව්‍ය, අළු හා ඇසුරුම් ද්‍රව්‍ය බව සඳහන් කළ හැක. වර්ෂ 2000දී බිලියන 2.9 ජනයා නගරවල විසූ අතර එය ලෝක ජනගහනයෙන් 49%කි. ඔවුන් විසින් දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් මිලියන 3ක්‌ පරිසරයට මුදාහරින ලදී. මෙය 2025 වර්ෂයේදී දෙගුණයක්‌ වනු ඇත. එය කිලෝ මීටර් 5000ක්‌ දුරකට පෙළට කසළ පිරවූ ට්‍රක්‌රථ තැබිය හැකි ප්‍රමාණයකි. එය දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්‌වා දුර මෙන් දස ගුණයකටත් වැඩිය.

ආර්ථීක සහයෝගිතාව හා සංවර්ධනය නමැති සංවිධානයට අයත් රටවල් ලොව විශාලම අපද්‍රව්‍ය නිපදවන්නන් වන අතර එය දිනකට ටොන් මිලියන 1.75කි. මෙම ප්‍රමාණය වර්ෂ 2050 පමණ වනතෙක්‌ වර්ධනය විය හැකි අතර, එයට වර්ධනය වන්නාවූ නාගරික ජනගහනය හේතුවනු ඇත. ඉන්පසු විද්‍යාවේ දියුණුවත් ආර්ථීක දියුණුවත් සමග තුනී හා කුඩා ප්‍රමාණයේ නිෂ්පාදන හා සීමිත සම්පත් පරිහරණය මගින් අපද්‍රව්‍ය නිෂ්aපාදනය අඩු විය හැක.

සමහර රටවල් වැඩියෙන් අපද්‍රව්‍ය නිපදවන බව පෙනීයයි. එක පුද්ගල ආදායම සම තත්ත්වයේ පවතින ජපානය හා ඇමරිකාව සැසඳීමේදී ජපාන වැසියකු ඇමරිකානුවෙකුට වඩා තුනෙන් පංගුවකින් පමණ අඩු අපද්‍රව්‍ය නිපදවන බව පෙන්වා දී ඇත. මෙයට හේතු වන්නේ ඔවුන්ගේ සංස්‌කෘතිය, අධික වූ ජනගහන ඝනත්වයක්‌ ඇතිව ජීවත්වීම හා ආනයනය සඳහා අධික වියදමක්‌ දැරීමට සිදුව තිබීම දැක්‌විය හැකිය. කාලය අනුවද අපද්‍රව්‍ය නිපදවන ප්‍රමාණය වෙනස්‌ විය හැක. උද්‍යාන කටයුතු හා ආහාරමය අපද්‍රව්‍ය හා නාස්‌තිය 30%කින් උච්චාවචනය වේ. නත්තලට පසු සතියේ කැනඩාවේ ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ප්‍රමාණය දෙගුණයක්‌ වේ.

ආර්ථීක සහයෝගිතාව හා සංවර්ධනය නමැති සංවිධානයට අයත් රටවල් අපද්‍රව්‍ය අවම කිරීමේ ප්‍රවණතාව සලකා බැලීමේදී නැගෙනහිර ආසියාවට වැඩි අවධානය යොමුවන අතර විශේෂයෙන්ම එය චීනයයි. චීනයේ ඝන අපද්‍රව්‍ය නිපදවීම 2005 වර්ෂයේ දිනකට ටොන් 520550 වූ අතර එය 2025 වනවිට ටොන් මිලියන 1.4 දක්‌වා වැඩි විය හැක. මේ වන විට ලෝකයේ අපද්‍රව්‍ය නිපදවීම සීග්‍රයෙන් වර්ධනය වන්නේ නැගෙනහිර ආසියාවේ වන අතර, වර්ෂ 2025 වනවිට එම තත්ත්වය දකුණු ආසියාවට හිමි වීමට හැක. විශේෂයෙන් ඉන්දියාව අධික අපද්‍රව්‍ය නිපදවීමට ඉඩ තිබේ. වසර 2050 වනවිට උප සහරා අප්‍රිකානු රටවල් අධික වූ අපද්‍රව්‍ය නිපදවන රටවල් බවට පත් විය හැකි බව පැවසේ.

රටක්‌ ආර්ථීක අතින් පොහොසත් වීමේදී අපද්‍රව්‍ය නිපදවීමේ ප්‍රවනතාව එ අනුව වෙනස්‌ වේ. මුදල් අධික වූ විට භාවිතයට ගන්නා ද්‍රව්‍ය, උපකරණවල ප්‍රමාණයද ඉහළ යන අතර, එමගින් වැඩි ප්‍රමාණයක අපද්‍රව්‍ය නිපදවේ. රටක ආර්ථීක දියුණුව, එම රටේ වැසියන් කොපමණ ප්‍රමාණයක්‌ ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කරනවාද යන්නත් තීරණය කළ හැක. එම නිසා ඝන අපද්‍රව්‍ය නාගරීකරණය නිසා ඇතිවන පාරිසරික බලපෑම මැනිය හැකි සාධකයක්‌ ලෙස දැක්‌විය හැක. බොහෝ විට යම් ද්‍රව්‍යයක බලපෑම එහි නිෂ්පාදන භාවිතය මත රඳා පවතී.

අපද්‍රව්‍ය නිපදවීමේ උපරිමය

අපද්‍රව්‍ය නිපදවීමේ ප්‍රතිශතය වැඩිවන නාගරික ජනගහනය, ජීවන තත්ත්වය හා එහි වර්ධනය මෙන්ම මිනිසුන්ගේ ප්‍රතිචාර මත රඳා පවතී. 2012 වසරේ ලෝක බැංකු වාර්තාවකට අනුව ලෝක අපද්‍රව්‍ය නිපදවීමේ ප්‍රමාණය 2010 වසරේදී දිනකට ටොන් මිලින 3.5 ක සිට 2025 වසර වන විට දිනකට ටොන් මිලියන 6ක්‌ දක්‌වා වැඩිවන බව ගණනය කර ඇත. මෙම දත්තයන් සාමාන්‍යයෙන් නිවැරදි ලෙස දැක්‌විය හැක්‌කේ නාගරීකරණය හා එකපුද්ගල ආදායම ඉදිරි දශක කීපයකට බොහෝදුරට කල්තියා ගණනය කළ හැකි බැවිනි.

මෙම ගණනය කිරීමට සාපේක්‌ෂව බැලීමේදී පවතින්නාවූ සාධකයන් මත ලෝක අපද්‍රව්‍ය නිපදවීමේ උපරිමය මෙම සියවසේදී සිදුවිය නොහැක. ආර්ථීක සහයෝගිතාව හා සංවර්ධනය නැමති සංවිධානයට අයත් රටවල අපද්‍රව්‍ය නිපදවීමේ උපරිමය වසර 2050 වනවිට සිදුවිය හැක. ආසියා පැසිපික්‌ කලාපීය රටවල් මෙම තත්ත්වයට 2075 වනවිට ළඟා විය හැකි අතර, උප සහරා අප්‍රිකානු නගරවල සීග්‍ර ආර්ථීක දියුණුවක්‌ පෙන්වන නිසා අපද්‍රව්‍ය නිෂ්පාදනයේ දැඩි වර්ධනයක්‌ දැකිය හැකිය. අප්‍රිකාවේ නාගරීකරණයේ ප්‍රවණතාව ලෝක අපද්‍රව්‍ය නිපදවීමේ උපරිමයට බලපායි.

මතුසම්බන්ධයි! (කසල සම්පතක්‌ කර ගනිමු! - 2)

මො.මු. බාහිර්, goodwillserve@gmail.com

http://www.divaina.com/2014/07/01/feature04.html

0 comments: