Pages

Saturday, July 12, 2014

ධර්මය තමා තුලින් දැකීම

බුද්ධ දේශිත අමත දද ස්වාක්ඛාත ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකය. එනම්, ‘තමාම දැකිය යුතුය’ යනාර්ථයි. “සාමං දට්ඨබ්බෝ’ති  සන්දිට්ඨිකෝ ” යනුවෙන් දැක්වෙන්නේ එයයි. ඒ දහම තමා තුලින් නොදැක, කෙතරම් ධර්මධර  වුවද පල නොවේ. හේතුව නම් සසර දුකින් මිදෙන්නේ තමා තුලින් ධර්මය දැක චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂයෙන් මිසෙක කටපාඩම් කිරීම නිසාවෙන් නොවීමයි. එබැවින් දුකින් මිදෙනු කැමති යමෙකු සිටියිද හෙතම නොපමාව ධර්මය තමා තුලින් දැකීමට උත්සාහවත් විය යුතුය. මේ මග පෙන්වීම ඒ උදෙසාය.

චතුසත්‍යාවබෝධයේ පළමු පියවර නම් සක්කාය දිට්ඨිය බිඳ හෙලීමයි. ඒ සක්කාය දිට්ඨිය බිඳෙන අයුරින්ම මාර්ගය සකස් විය යුතුය. එයට සක්කාය දිට්ඨිය යනු කුමක්දැයි පළමුකොටම දත යුතුය.

“ඉධ අස්සුතවා පුථුජ්ජනෝ අරියානං අදස්සාවී අරියධම්මස්ස අකෝවිදෝ අරියධම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වේදනං – සඤ්ඤං – සංඛාරේ – විඤ්ඤාණං අත්තතෝ සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං.

මෙලොව ආර්යයන් නොදක්නා ලද, ආර්ය ධර්මයෙහි දක්ෂ නොවූ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු, සත්පුරුෂයන් නොදක්නා ලද, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු  අශ්‍රැතවත් පෘතජ්ජන තෙමේ, රූපය ආත්මය යැයි දකියි. ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව – සඤ්ඤාව – සංස්කාර – විඤ්ඤාණය ආත්මය යැයි දකියි. ආත්මය විඤ්ඤාණවත් කොට හෝ ආත්මයෙහි විඤ්ඤාණය ඇතැයි හෝ විඤ්ඤාණයෙහි ආත්මය ඇතැයි හෝ දකියි.” (ධම්මසඞ්ගණිප්‍රකරණය)

මෙබඳු දෘෂ්ටියක්, දෘෂ්ටි ගතයක්, දෘෂ්ටි ගහනයක් පවතීද එය සක්කාය දිට්ඨිය නම් වේ. සරලවම පවසනවානම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අරමුණු කරන වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි යන ඒවා කෙරෙහි මමය, මාගේය, මගේ ආත්මයය යන හැඟීමක් තිබෙයි නම් එය සක්කාය දිට්ඨිය නම් වේ.

මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට කැමැති තැනැත්තා පළමුකොටමසීලය පිරිසිදු කරගත යුතුය. එයද සතරාකාරයකින් විය යුතුය. ඒවා නම් පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය හා ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය නම් වේ.පාතිමොක්ඛ සංවර සීලය යනු සික්ෂා පද සමාදන්ව රැකගැනීමයි. පංච සීලයේ පටන් සියලුම සීල සුදුසුය. සීලය වැඩිවන තරමට විදර්ශනාව පහසුය. ඉන්ද්‍රිය සංවර සීලය නම් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් හරහා ලෝභ, දෝස, මෝහ ඇතිකර නොගැනීමයි. සරලවම පවසනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කෙරෙහි ආසාවක්, ඇල්මක්, කැමැත්තක්, තණ්හාවක් හෝ ගැටීමක්, තරහාවක්, එපා වීමක් ආදී අකුසල් ඇතිකර නොගැනීමයි. ආජිව පාරිශුද්ධිය නම් ධාර්මික දිවි පෙවෙතයි. දිවි පැවැත්ම උදෙසා අධාර්මික ක්‍රියාවන් හි නිරත නොවී ධර්මානුකූලව දිවි පැවතීමයි. ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය නම් වස්ත්‍ර, ආහාර, නිවාස, ඖෂධ යන ප්‍රත්‍යයෝ අවශ්‍යතාවය උදෙසා පමණක් භාවිතා කිරීමයි. එනම් වෛවාරණ වස්ත්‍රාභරණ උදෙසා නොවෙහෙසි විලි වැසීම උදෙසාම වස්ත්‍ර භාවිතයි. රසමසවුළු වෙනුවෙන් නොවෙහෙසි කය පැවතීම උදෙසා ආහාර ගැනීමයි. මන්දිර මාලිගා නැංවීම වෙනුවට සීත උෂ්ණ අව් වැසි සුළං සතුරු කරදර ආදියෙන් මිදෙනු වස් නිවාස ගොඩනැංවීමයි. අත්‍යාවශ්‍ය වූම රෝගී භාවයන් උදෙසා පමණක් ඖෂධ ගැනීමයි. මෙලෙස සතරාකාරයම පිරිසිදු වූ කල්හි එය සීල විසුද්ධිය නම් වේ.

ඉන් අනතුරුව චිත්ත විසුද්ධිය උදෙසා වෙහෙසිය යුතුය. ඒ සදහා සමසතලිස් කර්මස්ථානයන්ගෙන් එකක් ගෙන භාවනා කල යුතුය. එහි නිමිති උපදවා නීවරණ ධර්ම යටපත් කොට සමාධි උපදවා ගත යුතුය. එසේ සමථ සමාධි සහිතව හෝ රහිතව හෝ  චිත්තෙකාග්‍රතාවය උපදවා ගත යුතුය. එසේ නීවරණ ධර්ම යටපත්ව සිතෙහි එකඟගබව ලබාගැනීම චිත්ත විසුද්ධියයි.

ඒ ඔහු තමා තුල තිබෙන්නාවූ පංචුපාදානස් ඛන්ධය හඳුනා ගත යුතුය. ඒ ධර්මය තමා තුලින්ම දැකිය යුතු බැවිනි. ඒ ඔහු රූප නම් මෙයයි, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ මේවායි හඳුනා ගත යුතුය. තමා සතු ඇස, කන, නාසය, දිව, කය යන ආයතන පවතීද ඒවා හා කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර ආදී වූ දෙතිස් කුනපයෝද යන සියල්ල රූප නම් වේ. ඒ සියල්ල පඨවි, ආපෝ, තේජෝ, වායෝ එනම් තද ස්වභාවය, බැඳෙන ස්වභාවය, උෂ්ණ සීතල ස්වභාවය, චලනය වන ස්වභාවය යන ලක්ෂණ සතරින් නිර්මාණය වී පවතී.

වේදනා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන අරමුණු නිසා පහළවන සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, අදුක්ඛමසුඛ වින්දනයෝය.

සඤ්ඤා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතුවිලි කෙරෙහි පවතින හඳුනා ගැනීම්, ලකුණු කරගැනීම්, වෙන්කර වටහා ගැනීම් යනාදී සංඥා වේ.

සංඛාර නම් කුසල, අකුසල, කුසලාකුසල නොවන සංස්කරණයෝ වේ.

විඤ්ඤාණ නම් ඒ සියල්ල හඳුනාගන්නා පරමාර්ථ ධර්මයයි.

මෙයින් සතරමහා භූත රූප හා උපාදාය රූප මගින් බිහිවූ ඉහත ලක්ෂණ ප්‍රකට කරන්නාවූ රූපස්ඛන්ධය, රූප ලෙසම වෙන්කර වටහා ගත යුතුය. ඉන් පරිභාහිර වූ වේදනා සඤ්ඤා සංඛාර යන චෛතසික නොහොත් සිතිවිලි හා විඤ්ඤාණය නම් වූ සිත යන උපාදානස්ඛන්ධ සතර නාම යනුවෙන් වෙන්කර වටහා ගත යුතුය. එසේ නාම හා රූප ලක්ෂණ කෘත්‍ය වශයෙන් වෙන්කර වටහා ගැනීම මගින් නාම රූප පරිච්චේද ඥානය සම්පූර්ණ වේ. එය දිට්ඨි විසුද්ධිය නම් වේ.

ඉන් අනතුරුව ඒ නාම හා රූප හටගැනීමට පැවතීමට හේතු සෙවිය යුතුය. එහිදී රූපයෝ අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර යන හේතුන් නිසා පවතින්නේය යන්න අවබෝධ විය යුතුය. අවිද්‍යාව මුල් වීම මගින් ද තණ්හාව සංස්කාරයක් වීමෙන්ද කර්මය විපාකදීම් වශයෙන්ද රූප බිහිකරයි. ආහාර යනු කබලිංකාර ආහාරය වේ. එය ඕජාව ලබාදීම් ලෙස රූප බිහිකරයි.

නාමයෝද ඉහත පරිදිම අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර ප්‍රත්‍යයෙන්ම පවතී. එහි ආහාර යනු අරමුණයි. අරමුණකින් තොරව චිත්ත චෛතසිකයෝ පහල නොවේ. මෙලෙසට නාම රූපයන්ගේ හේතූන් වටහා ගැනීම පච්චය පරිග්ගහ ඥානය සපුරා ගැනීමයි. පච්චය පරිග්ගහය සපිරීම කංඛාවිතරණ විසුද්ධියයි.

ඒ ඔහු දැන් සම්මසනය ඇරඹිය යුතුය. ඒ ඉහත වෙන්කරගත් නාම රූප නොහොත් පංච උපාදානස්ඛන්ධය අනිත්‍ය දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂණය තුල බහාලිමයි. එනම් රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පංචකය ඇතිව පැවතී නැතිව යන බැවින් අනිත්‍ය වේ. පීඩාකාරී බැවින් දුක්ඛ වේ. හරසුන් බැවින් අනාත්ම වේ යනුවෙනි. මෙසේ සම්මසනය කරන්නහුට ආලෝක පෙනීම්, අසාමාන්‍ය වැටහීම්, අධික ප්‍රීතිය, සැහැල්ලු බව, ශාරීරික සැපය, අධිමාත්‍ර ශ්‍රද්ධාව, නොසෙල්වෙන වීර්යය, එළඹ සිටි සිහිය, විදර්ශනාව හා  කෙරෙහි මධ්‍යස්ථබව, විදර්ශනාව කෙරෙහි සියුම් තෘෂ්ණාව ආදී ලෙස උපක්ලේශයෝ හටගනී. එබැවින් තමා පිළිබඳව තනි තීරණ නොගනිමින් සුදුසුකම් ලත් ගුරුවරයකු යටතේ විදර්ශනා කිරීම කල යුතුමය. නොමැතිනම් උම්මත්තකභාවය උරුමවීම සාමාන්‍ය සිදුවීමකි. එබැවින් නුවණැතිව කටයුතු කිරීම යහපත්ය.

මෙසේ පැමිණෙන උපක්ලේශ දුරුකරගනිමින් උදයව්‍යය උපදවා ගත් කල්හි නොමග හැරදා නිසිමගට පිළිපන් බැවින් මග්ගාමග්ග ඥානදස්සන විසුද්ධිය ඉපදුවා වේ. ඉන් අනතුරුව පටිපදා ඥානදස්සන විසුද්ධිය යටතේ භංගය, භය, ආදීනව, මුඤ්චිතුකම්‍යතා, පටිසංඛානුපස්සනා, සංඛාරුපෙක්ෂා, අනුලෝම, ගෝත්‍රභූ, යන විදර්ශනා ඥාන උපදවා  ගත කල්හි ඥානදස්සන විසුද්ධිය ලෙසින් මාර්ග සිත හා ඵල සිත ලැබීම සිදුවේ.

මෙසේ සප්ත විසුද්ධිය ඔස්සේ විදර්ශනා ඥාන උපදවා ගැනීම හරහාම පමණක්ම “ධර්මය තමා තුලින් දැකිය හැක.” නොමැතිව කොතරම් කටපාඩම් කලද කුමන ස්ථානයකට ගියද ධර්මාවබෝධය නොවනු ඇත. එසේම රහතන්වහන්සේ නමකගෙන් නොව බුදුරජාණන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කලේද තමා පිලිනොපදී නම් නිවන් පසක් කල නොහැක. එබැවින් සුදනෙනි වීර්ය කරන්න. ධර්මය පිළිපැදීම හරහාම ධර්මාවබෝධය කරන්න. නොහැකිනම් දුක් විඳින්න. භාහිර පුද්ගලයාට කල හැක්කේ  දේශනා කිරීම පමණි. පිළිපැදීම ඔබ සතුය. ඔබ දුක් විඳිනවාද දුකින් මිදෙනවාද යන්න ඔබම තීරණය කරන්න.

තෙරුවන් සරණයි…!!!

- වැල්ලවායේ සුමනබෝධි හිමි
http://lankacnews.com/sinhala/main-news/118923/

0 comments: