Pages

Sunday, July 28, 2013

(13ටත් එහා බලතල ඉල්ලන) 'විග්නේෂ්වරන් උතුරට උඩින් පාත් වුණේ කොහොමද?' - ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර

උතුරේ පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති ධුරාපේක්‍ෂක ලෙස ඉදිරිපත්ව සිටින්නේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතායි. විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන ආගමනයෙන් බලය බෙදීම වෙනුවට පළාත් සභා ක්‍රමය තුළ තිබෙන බලය තව තවත් තහවුරු කරන ස්‌වභාවය කදිමට පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකරයන් පවසයි.

පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල දෙනවා වෙනුවට කළ යුත්තේ කුමක්‌ද? ඔහුගේ විග්‍රහයයි මේ.

ඉඩම් හා පොලිස්‌ බලතල සහිතව පළාත් සභා ඡන්දය පැවැත්වීම අවදානම් ද?

ඉඩම් සහ පොලිස්‌ බලතල පළාත් සභාවලට පැවරිය යුතුද කියන ප්‍රශ්නය මතු වන්නෙ මේ පළාත් සභා දිගටම තියාගත යුතුයි කියල තීරණය කළොත් විතරයි. පළාත් සභා අපේ රටට අවශ්‍ය නෑ කියල ජනතාව තීරණය කළොත් මෙතැන ප්‍රශ්නයක්‌ නෑ.

පළාත් සභා පැවතිය යුතුද නැද්ද කියන කාරණය තීරණය වෙන්නෙ පළාත් සභාවලින් රටට වැඩක්‌ වෙලා තියෙනවද නැද්ද කියන එක මතයි. මට නම් පේන හැටියට අවුරුදු 26 ක්‌ විතර මේ රටේ තිබුණු ඔය පළාත් සභාවලින් රටට කිසිම යහපතක්‌ වෙලා නෑ. මෙතෙක්‌ එයින් සිදුවී තිබෙන්නෙ අතිවිශාල මහජන මුදල් නාස්‌තියක්‌ පමණයි. රටට මෙලෝ වැඩක්‌ නැති දේසපාලුවන් පිරිසකට තනතුරු දීමක්‌ පමණයි. ඉඩම් පොලිස්‌ බලතල මේවට ලබාදීම නෙමෙයි පළාත් සභා එහෙම පිටින්ම මේ රටින් අයින් කරල දාන්න ඕන.

පළාත් සභා අහෝසි කිරීමට ආණ්‌ඩුවේ බලාපොරොත්තුවක්‌ නැති නිසා මේවාට ඉඩම් පොලිස්‌ බලතල පැවරිය යුතුද යන්න අද ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙනවා?

ඔව්. අද බලය ලබාගෙන සිටින ඇතැම් දේසපාලුවෝ මේ රටේ පොලිසිය ඔවුන්ගේ පුද්ගලික මැර හමුදාවක්‌ කියලයි හිතාගෙන ඉන්නෙ. පොලිසියේ ඇතැම් අයත් ක්‍රියා කරන්නෙ ජනතාවගෙ පොලිසියක්‌ හැටියට නොව බලයේ ඉන්න ඇතැම් දේශපාලකයන්ගෙ අන්තේවාසිකයන් විදිහටයි. උතුරු මැද පළාතේ කලින් පැවති මැතිවරණයෙන් පසුව අපට මතකයි ආණ්‌ඩු පක්‍ෂයෙ අනුගාමිකයන් පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ ජෝන්පිල්ලෙ මහතාගේ නිවස සහ ඩිස්‌පෙන්සරියට ගිනි තියනකොට පොලිස්‌ නිලධාරීන් ඒ දිහා බලාගෙන නිශ්ශබ්දව හිටපු හැටි. මේ විදිහෙ උදාහරණ රාශියක්‌ තිබෙනවා.

මේ මොන ජඩ වැඩ කළත් දකුණු පළාතේ බෙදුම්වාදයක්‌ නෑ. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයයි. මෙය චෙල්වනායගම්ගෙ පෙඩරල් පක්‍ෂයෙනුත්, පොන්නම්බලම්ගෙ ද්‍රවිඩ කොන්ග්‍රසයෙනුත් පැවත එන පක්‍ෂයක්‌. චෙල්වනායගම් මහතා 1977 ඔහුගෙ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයෙන් උතුර හා නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගෙ අනන්‍ය නිජබිම කියලා ප්‍රකාශ කළා. ඔහු එයින් කිව්වෙ උතුර නැගෙනහිර ඉන්න දෙමළ ජනතාව හැර අනෙක්‌ සියලුම ජාතීන් පිටගංකාරයො කියලයි. උතුර නැගෙනහිර දෙමළ ජනතාවට තියෙන අයිතීන් ඒ අයට නෑ. මේ අදහස අනුගමනය කරන දෙමළ ජාතික සන්ධානයට ඉඩම් හා පොලිස්‌ බලතල සහිත පළාත් සභාවක බලය ලැබුණොත් ඉතාම භයානක තත්ත්වයක්‌ නිර්මාණය වෙනවා.

ඔබ කොහොමද එහෙම උපකල්පනය කරන්නේ?

දකුණේ දේශපාලකයො පොලිසිය ඔවුන්ගෙ මැර හමුදාවක්‌ බවට පත් කරගෙන කටයුතු කරන අවස්‌ථා ඕන තරම් තියෙනව. උතුරේ දේශපාලකයොත් ඒක නොකරයි කියල අපට කිසිසේත්ම හිතන්න බෑ. කිසියම් අවස්‌ථාවක දෙමළ මැරයො ගිහින් සේරුවිල රජමහා විහාරෙ ගිනි තියල දැම්මොත් එය කරපු උන් හොයා ගන්න බෑ කියල උතුර නැගෙනහිර පොලිසිය කිව්වොත් මොකද කරන්නේ? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාතක පොලිස්‌ හමුදාවක්‌ ක්‍රියාත්මක වෙන්නෙ නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ යටතේ. නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියන්නෙ මහ ඇමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන නිලධාරියෙක්‌.

පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීම පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ද්‍රවිඩ ජාතික සන්ධානය උතුර නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ ජනතාව හැර අනෙක්‌ සියලුම ජාතීන්ට සලකන්නෙ දෙවැනි පුරවැසියන් හැටියට. එදා චෙල්වනායගම් ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයෙන් කළ නිජබිම් කතාව මේ අය අදටත් ප්‍රතික්‍ෂේප කරන්නෙ නෑ. ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුමට අනුව උතුර නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදීමේදී ප්‍රමුඛතාව දිය යුත්තේ ඒ ප්‍රදේශවල සිටින ද්‍රවිඩ ජනතාවටයි. දෙවනුව මේ රටේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට. ඒ දෙපළාතේ පදිංචි සිංහල හෝ වෙනත් ජනවර්ගවලට ඉඩම් ලැබෙන්නෙ ද්‍රවිඩ ජනතාවට ලබාදී ඉතුරු යමක්‌ තිබුණොත් විතරයි. උදාහරණයක්‌ විදිහට උතුර නැගෙනහිර පදියතලාවෙ පදිංචි පියදාසට ඉඩම් කෑල්ලක්‌ ලැබෙන්නෙ, කොළඹ දෙවැනි හරස්‌ වීදියේ පදිංචි සිවලිංගම්ටත් උතුර නැගෙනහිරින් ඉඩම් දුන්නට පස්‌සේ. උතුරු නැගෙනහිර පාරම්පරිකව පදිංචි සිංහල හෝ වෙනත් ජාතිකයකුට නැති අයිතිවාසිකමක්‌ ලංකාවේ ඕනම පළාතක ජීවත්වන ද්‍රවිඩ ජාතිකයකුට උතුර නැගෙනහිර පළාත්වල තියෙනවා. අද උතුර පළාතෙ බලය ලබාගන්න හදන්නෙ ඒ විදිහෙ අන්තවාදී ජාතිවාදී කණ්‌ඩායමක්‌. අද උතුර නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව වැඩි වශයෙන් පදිංචි වෙලා ඉන්නෙ ඉඩම් සංවර්ධන පනත යටතේ ලබාදී ඇති අවසර පත්‍ර මතයි. පත්වෙන පළාත් සභාවකින් මේ අවසර පත්‍ර අහෝසි කෙරුවොත් ඒ සිංහල ජනතාව උතුරෙන් පිටවෙන්න ඕන. ඒ නිසා මේ ඉඩම් බලතල පළාත් සභාවට දුන්නොත් එදා කොටින්ට වෙඩි උණ්‌ඩෙන් කරගන්න බැරි වුණු දේ එක පෑන් පහරින් කරන්න පුළුවන් වෙනවා.

ද්‍රවිඩ එක්‌සත් පෙරමුණෙන් උතුරේ මහ ඇමැති තනතුරට තරග වදින්නෙ විග්නේෂ්වරන් මහතා. ඔහු හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්‌. යුක්‌තිය පසිඳලීම පිළිබඳ කීර්තිමත් නමක්‌ ඇති කෙනෙක්‌. ඔහු නීතිය නිසි පරිදි ක්‍රියාවේ යොදවාවි යෑයි ඇතැමුන් තුළ විශ්වාසයක්‌ තිබෙනවා.

විග්නේෂ්වරන් මහත්මයා ශේ්‍රෂ්ඨාධිකරණයට පත්වූ අවස්‌ථාවේ කළ කතාවක්‌ මම තදින් විවේචනයට ලක්‌ කළා. 2001 වසරේදී zදි අයිලන්ඩ්Z පුවත්පතේ ඒ ලිපිය පළ වුණා. විග්නේෂ්වරන් මහතා එදා ඒ කළ කතාවෙන් ඔහු අන්ත ජාතිවාදියෙක්‌ බව හෙළිදරව් වුණා. මෑතකදී එක්‌තරා පුවත්පතකට විග්නේෂ්වරන් මහතා ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාව කියවා බැලූ මට හැඟී ගියේ ඔහුගේ ඒ ජාතිවාදී අදහස්‌ තවමත් නොවෙනස්‌ව පවතින බවයි. නමුත් ඔහු තුළ ඇති යහගුණයක්‌ පිළිබඳවත් මා සඳහන් කළ යුතුයි. එතුමා ජාතිවාදියකු ලෙස මා ප්‍රසිද්ධියේ එතුමා විවේචනය කළ පසුවත් අධිකරණයේදී එතුමා ඉදිරියේ මා පෙනී හිටියා. මා පෙනී සිටි නඩුවලට එතුමා සාධාරණය ඉටු කළා. අධිකරණයෙන් පිටතදී මා ඔහු ජාතිවාදියකු ලෙස විවේචනය කළත් ඔහු ඒ විවේචනවලින් උරණ වී අධිකරණය තුළදී මගේ භාෂණ නිදහසට බාධා කළේ නෑ. නමුත් එය අධිකරණය තුළදී සිදුවූ දෙයක්‌. අධිකරණයෙන් පිටතදී ජාතිවාදී අදහස්‌ දරන්නකු හැටියට පළාතක මහ ඇමැතිවරයෙක්‌ ලෙස ඔහු කෙසේ කටයුතු කරයිද? ප්‍රශ්නය එයයි.

විග්නේෂ්වරන් මහතා දේශපාලන තරග බිමට ඒම ඔබ අනුමත කරනවද?

අපි කවුරුත් දන්නා පරිදි ද්‍රවිඩ ජාතික සන්ධානය ජාතිවාදී පක්‍ෂයක්‌. එහි මහ ඇමැති තනතුරට කවුරු තරග වැදුනත් ඔහු අනිවාර්යයෙන් ජාතිවාදියෙක්‌. ඒ අනුව මේ තනතුරට විග්නේෂ්වරන් මහතා තරග වැදීම ගැන මා කැමැතියි.

පළාතක මහ ඇමැති පත් කළ යුත්තේ එම මැතිවරණයෙන් පසු ආණ්‌ඩුකාරවරයා විසිනුයි. ඒ සඳහා කිසියම් ක්‍රියාපටිපාටියක්‌ තිබෙනවා. එලෙස තිබියදී එකවරම විග්නේෂ්වරන් මහතා අපේක්‍ෂකයකු ලෙස පත් වෙන්නෙ කොහොමද?

විග්නේෂ්වරන් මහතා පුවත්පත් සාකච්ඡාවකදී කියා තිබුණා ඔහු දේශපාලන බිමට පැමිණීමට අකමැති වූ බව. නමුත් හිතවතුන්ගේ ඉල්ලීමට මේ තීරණය ගත් බව. නමුත් උතුරේ ජනතාව කිසිවිටෙක එබඳු ඉල්ලීමක්‌ කළ බවක්‌ සඳහන් කළේ නෑ. අපට දැනගන්නට ලැබී ඇති විදිහට ඔහුට මේ ආරාධනය කර තිබෙන්නේ සම්බන්ධන්. ඔහු උතුරේ ඡන්දදායකයෙක්‌ වත් නෙමෙයි. පළාත් සභා ක්‍රමයෙන් බලය විමධ්‍යගත නොවන බවට මේ සිදුවීමත් හොඳ සාක්‍ෂියක්‌. ඔය පළාත් සභා මුවාවෙනුත් සිදුවන්නෙ මධ්‍යගත පාලනය දිගටම ගෙන යැමයි. උතුරෙ විතරක්‌ නෙමෙයි දකුණෙ වෙන්නෙත් ඕකමයි. තීරණ ගන්නෙ ඒ ඒ පළාත්වල තියෙන පක්‍ෂ ශාඛා බල මණ්‌ඩල නෙමෙයි තීරණ ගන්නෙ කොළඹින්. පළාත් සභා ක්‍රියාත්මක කරන්නෙ බලය විමධ්‍යගත කරන්නයි කියන මහා ප්‍රොaඩාව අතු ගාල දාන්න ඕන කියල මම කියන්නෙ ඒකයි.

ජනාධිපති තනතුර අහෝසි කර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වහා ක්‍රියාත්මක කළ යුතු බව ගරු සෝභිත ස්‌වාමීන් වහන්සේ යෝජනා කර තිබෙනවා?

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන යහපත් නම් ඒ අනුව රටේ පාලනය යහපත් වේ යෑයි බොහෝ දෙනෙක්‌ හිතනවා. එය මිථ්‍යාවක්‌. ජර්මනියේ වයිමා ව්‍යවස්‌ථාව තරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් ව්‍යවස්‌ථාවක්‌ තවත් නෑ. නමුත් හිට්‌ලර් බලයට ආවෙත් ඒ ව්‍යවස්‌ථාවෙන්. ඒ නිසා අපේ රටෙත් යහපාලනය ර¹ පවතින්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ වගන්ති මත නෙමෙයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට භාරගෙන සිටින පුද්ගලයන්ගේ සද්භාවය මතයි. 17 වැනි සංශෝධනයෙනුත් බලය දෙන්නෙ දේශපාලන පක්‍ෂවලටයි. සෝභිත හාමුදුරුවො කොටි විනාශ කළ යුතුයි කියන ප්‍රතිපත්තියේ සිටිමින් අගනා අදහස්‌ රටට ප්‍රකාශ කළ භික්‍ෂුන් වහන්සේ නමක්‌. නමුත් උන්වහන්සේ අද නොයෙක්‌ පක්‍ෂවලට උවමනා විදියේ කතා කියන්න පටන් අරන්.

ඉඩම්, පොලිස්‌ බලතල සහ පළාත් සභා පිළිබඳ මතුව ඇති මේ අර්බුදයට ඔබ සිතන විසඳුම කුමක්‌ද?

බලය බෙදාහරින්න ඕන. මේ පළාත් සභා ක්‍රමයෙන් ඒක වෙන්නෙ නෑ. මේ ක්‍රමයෙන් වෙන්නෙ බලය තියෙන දේශපාලන පක්‍ෂවල බලය තව තරවීම විතරයි. රටේ විවිධ පළාත්වල පාලනයට ඇඟිලි ගහන්න ඔවුන්ට තිබෙන බලය තවත් වැඩි වෙලා තියෙනව. පළාත් සභාවලින් මේ තාක්‌ වෙලා තියෙන්නෙ බලය තියෙන අයගෙ හිතවතුන්ට රැකියා ලබාදීම සහ ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීම විතරයි. බලය බෙදාහැරීමක්‌ වෙන්නෙ නෑ. බලය බෙදාහැරීමට නම් මේ රටේ තිබුණු ගම් සභා ක්‍රමය යළි ක්‍රියාත්මක කළ යුතුයි. විසඳුම ඒකයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2013/07/28/politics07.html

1 comments:

Anonymous said...

UDIN AWA NEVE LANKAWEMA INDALA NEDA AWE?