Pages

Thursday, July 18, 2013

බෞද්ධ විරෝධී රැල්ලක් ලොව පුරා ක්‍රියාත්මකයි. බුද්ධගයා ප්‍රහාරයත් එවැන්නක් - මාදුළුවාවේ සෝභිත හිමි

බෞද්ධ ජනතාව මහත් බැතියෙන් වන්දනා කරන බුද්ධගයාවට එල්ල වුණ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ වහන්සේ දරන්නේ කෙබඳු මතයක්ද?

බුද්ධගයාව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ කීම නිවැරදියි. ශීලාචාර ලෝකයේ සියලු දෙනාගේ ගෞරව බහුමානයට  පාත්‍ර වුණු ආගම් බේදයකින් තොරව සමස්ත ලෝක වර්ගයාටම එකසේ සැලැකූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානයටයි මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ. ඉස්ලාම් භක්තිකයන්ට මක්කම හා ක්‍රිස්තියානි භක්තිකයන්ට වතිකානුව සේම බෞද්ධ ජනතාවට බුද්ධගයාව තම හදවත වැනියි. එවැනි ක්‍රියාවකට මේ ත්‍රස්තයින් යොමු වුණේ සිය ම්‍ලේච්ඡත්වය නිසයි. ශීලාචාර ලෝකයට එල්ල කළ ප්‍රහාරයක් ලෙසයි මෙය හැඳින්විය හැක්කේ.

බුද්ධගයාව ඉන්දියාවට පමණක් හිමි වූ දෙයක් නොවෙයි. සමස්ත ලෝකයටම අයිති උතුම් පූජනීය සම්පතක්. මොන ජනවර්ගය අතරේ වුවත් පහත් මානසික තත්ත්වයන්ගෙන් යුක්ත අය සිටිනවා. ඒ නිසා මෙවැනි ස්ථානවලට දැඩි ආරක්ෂාව සැපයීමට විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි.

මෙම ත්‍රස්තවාදී  ප්‍රහාරයත් සමග විවිධ සංවිධාන ඊට විරෝධය පළ කරමින් අදහස් පළ කර සිටියා. ඒ අතරින් සමහරෙකුගේ මතය වුණේ දඹදිව සංචාරයේ  යෙදීම  යම් කාලයකට අත් හැරිය යුතු බවයි.

ඉන්දියාව හා ලංකාව අතර තිබෙන සබඳතාවය මෑත කාලීන එකක් නොවෙයි. එය වසර දහස් ගණනක්  පැරණි එකක්. මේ ඉපැරණි සබඳතාව තුළ උපකාර මෙන්ම ආක්‍රමණ පහර දීම්ද සිදු වෙලා තිබෙනවා. අශෝක රජතුමා සිය පුතු බුදු සසුනට  යොමු කළා වගේම ලංකාවට බුදුදහමේ පණිවුඩය ලැබෙන්නට සැලැස්වුවෙත් මිහිඳු මහරහතන් වහන්සේ මගින්.

ඉන්දියාව හා ලංකාව අතර ගනුදෙනු නවත්වන ලෙස කිසිවෙකු විසින් කියනවා නම් එය ඉතා පටු අදහසක්. දෙරට අතර පවතින සබඳතා පළුදු කර ගනිමින්  හිත් නොහොඳ කර ගැනීම නොවෙයි විය යුතුව ඇත්තේ. තිබෙන සමීපතාවය තව තවත් ආරක්ෂා වී තව තවත් වැඩි දියුණු වන ලෙස කටයුතු කළ යුතුයි. එමගින් අපටත් හැකි අයුරින් බුද්ධගයාව ඇතුළු අනෙක් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට ආරක්ෂාව සැපයීමට වඩා  හොඳ වැඩපිළිවෙළක් යෝජනා කිරීමටත් හැකියාව තිබෙනවා.

ස්වාමීන් වහන්ස මේ ප්‍රහාරය  බෞද්ධයා අරඹයා බෞද්ධ පැවැතීම විනාශ කරන්න කළ එකක්ද?

නැහැ එසේ සිතීම නිවැරදි  නැහැ. බුද්ධගයාව සමස්ත ලෝ වැසියාටම අයත්. ඒ ශිෂ්ට ශීලාචාර ලෝකයටයි මෙම ප්‍රහාරය එල්ල කෙරුනේ. මේ ම්‍ලේච්ඡ ප්‍රහාරය එක් පසෙකින් බෞද්ධ  විරෝධී එකක් වෙන්න පුළුවන්. බෞද්ධ ලෝකය පමණක් නොවෙයි මෙයට කම්පාවන්නේ. සමස්ත ලෝකවාසී ජනතාවම මේ ම්‍ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් කම්පා වන බව පේන්න තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට රැගෙන තිබෙනවා. ඒ අතර එක් සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව දැඩි පියවර ගනීවි. ඒ වගේම මේ ප්‍රහාරයෙන් කම්පාවට පත් වූ සමස්ත ලෝකයා වෙත පරීක්ෂණ තත්ත්වය “අත්අඩංගුවට ගැනීම” දඬුවම්  ආදිය පිළිබඳව එළි කළ යුතුයි.

බුද්ධගයාව සමග ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුව සමීප සබඳතාවයක් තිබෙනවාද?

බුරුමය, තායිලන්තය, චීනය ආදී බෞද්ධ ලෝකයට වගේම අනෙකුත් අයටත් බුද්ධගයාව අයිතියි. බුද්ධගයාව අන්‍යාගමිකයින් විසින් සිය පාලනයට ගෙන තිබෙන අවධියේ “සිංහලයනි අවදිවෙව්, බුද්ධගයාව බේරා ගනිව්” කියා කාහල නාදයක් ඇති කළේ අනගාරික ධර්මපාල තුමායි.

සමහර විටෙක එසේ නොවන්නට අදත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ සත් සතිය ගත කළ ස්ථාන ඇතුළු බෞද්ධ පුරාවස්තු අන්‍යාගමිකයින් සතුව තිබි විනාශයට පත්වන්නට ඉඩ තිබුණා.

හාමුදුරුවනේ, බෞද්ධ විරෝධී රැල්ලක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා කියන චෝදනා එල්ල වී තිබෙනවා

බෞද්ධ විරෝධී රැල්ලක් ලෝකය පුරාම දියත් වෙන බවත් නම් වාර්තා හා සිදුවීම් අනුව අපටත් හිතෙනවා. ඒ නිසයි දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධියට ත්‍රස්තවාදීන් පහර දුන්නේ. ඒ වගේම නැගෙනහිර පළාතේ විශාල වශයෙන් බෞද්ධ පුරාවස්තු විනාශයට පත් කරනවා.

ඇෆ්ගනිස්ථානයේ විශාල බුද්ධ ප්‍රතිමා විනාශ කළා. චිතගොංවල භික්ෂුන් වහන්සේ ඇතුළු බෞද්ධ ජනතාව මරා දමනවා.

ඉන්දියාවේදී වන්දනා නඩ සමග ගමන් කළ භික්ෂුන් වහන්සේලා දෙනමකට පහර දීමක් කළ ආකාරය අපට දැක ගන්න ලැබුණා. අපි බල කර සිටිය යුතුයි මේ ආකාරයේ කටයුතුවල යෙදෙන්නන් හෙළි කරන ලෙස.

මෙවැනි ක්‍රියා හමුවේ බෞද්ධයින් ක්‍රියා කළ යුත්තේ කෙලෙසද?

බුදුරජාණන් වහන්සේටත් නොයෙකුත් කෙනෙහිළිකම් කළ අය සිටියා. ගල් පෙරලා මරා දමන්න  උපක්‍රම යෙදුවා. නාලාගිරි ඇත් රජුට රා ‍පොවා බුදුරජාණන් වහන්සේ ඉදිරියට එවා තිබුණා. නමුත් ඒ කිසිවකට බුදු හාමුදුරුවෝ සැලුනේ නැහැ. කීර්තියට හානි සිදුවුණෙත් නැහැ. 

බුදුරජාණන් වහන්සේ තමන්ට සතුරුකම් කළ අයටත් මෛත්‍රී කළා. හොඳම ආයුධය බෞද්ධයින්ට එරෙහි ක්‍රියාවල  යෙදෙන්නන්ට මෛත්‍රී කිරීමයි. කිසිදු බෞද්ධයෙක් තවත් ආගමක් විනාශ කරන්න අත ඔසවල නැහැ. පල්ලියකට කෝවිලකට හානි කරලා නැහැ. ඒ බෞද්ධකම අද මෙන්ම හෙටත් ඒ ලෙසටම පැවැතිය යුතුයි. 

චෙන්නායි ශ්‍රී ලංකා  නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බව පවසා තිබෙනවා. දැන් උදාවී තිබෙන තත්ත්වය හමුවේ ඉන්දීය මධ්‍යම රජය දැඩි පියවරක් ගත යුතුයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව   අතර වර්ෂ දහස් ගණනක් තිස්සේ පැවැති මිත්‍රත්වය කඩ කිරීමට අන්තවාදීන් පිරිසක් උත්සාහ දරමින්  සිටින බව පැහැදිලිව පෙනෙනවා. රාජ්‍ය මට්ටමින් ඈත් වීමට වඩා රටේ  ජනතාව  හදවත්වලින් ඈත් වීම වළක්වා ගැනීමට ප්‍රධානත්වය දිය යුතුයි. යමක් විනාශ කරන්න පහසු වුවත් ඒ දෙය හදන්න අමාරුයි. ඒ නිසා මිත්‍රත්වය පලුදු වීමට පෙර අසල්වාසීන්   ලෙස අපගේ බැඳීම් ආරක්ෂා කිරීමටයි ක්‍රියා  කළ යුතුව ඇත්තේ. ඒ නිසා ඉන්දීය මධ්‍යම රජය අන්තවාදී ක්‍රියාවලට එරෙහිව දැඩි පියවර ගත යුතුයි.

අන්‍ය ආගමිකයින් සමග සුහවද සිටීමට බුදුරජාණන් වහන්සේ මග පෙන්වා දී ඇත්තේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ කියා තිබෙනවා මට ගරු කරනවා වගේම අන්‍ය ආගමිකයින්ටත් ගරු කරන්න කියන අදහස. නිගන්ඨ  නායකයාගේ ප්‍රධාන උපාසකයා වශයෙන් කටයුතු කළේ උපාලි නමැත්තෙක්.
මොහු බුදු දහම පිළිබඳ පැහැදී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ බුද්ධ ශ්‍රාවකයෙක් වීමට අවසර ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදු සසුනට ඇතුළු වීමට  පෙර තවත්  කාලයක් ඉවසන ලෙසයි. උපාලි එය ප්‍රතික්‍ෂේප කළ නිසා බුදුරජාණන් වහන්සේ ඔහුව බුදු සසුනට ඇතුළත් කර ගැනීමට පෙර ඔහුට  අවවාද කළා. එදා වගේම අදත් තමන්ට මග පෙන්වූ නායකයින්ට ගෞරව කළ යුතු බව කිව්වා.

රන්මලී සෝමසිරි
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13966:2013-07-16-06-03-06&catid=58:urumaya&Itemid=80

0 comments: