Pages

Monday, July 22, 2013

නගුට වැනෙයි! - විග්නේශ්වරන් සහ උතුරු පළාත් සභා ඡන්දය

ළඟ එන උතුරු පළාත් සභා ඡන්දයේදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්‌ෂකයා ලෙස නම් කර සිටින විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේශ්වරන් උසාවියේ සිටි කාලයේදී කෙසේ නඩු ඇසුවාදැයි අපි නොදනිමු. එම කටයුතු කෙසේ හෝ වේවා, ඔහු දේශපාලනයට එන්නේ එල්. ටී. ටී. ඊ. ගැලරියට කතා කරගෙන ඔවුන්ගේ විසිල් පහර අපේක්‌ෂාවෙන් බව අපට පෙනෙයි.

දහතුන්වැනි සංශෝධනයේ ඇති බලතලවලට වැඩි යමක්‌ තමන්ට උවමනා බව විග්නේශ්වරන් පවසා තිබේ. ප්‍රභාකරන්ට තිබුණේත් මේ රෝගයමය. ආණ්‌ඩුකාර බලතල කැපිය යුතු බව ද විග්නේෂ්වරන් කියයි. ප්‍රභාකරන්ට උවමනා වූයේ ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල නොව බෙල්ලම කැපීමය. පළාත් ආණ්‌ඩුකාරයා යනු ජනාධිපතිගේ නියෝජිතයකු බව ද විග්නේශ්වරන් කියයි. එහි කිසිදු වරදක්‌ නැත. පළාත් සභාවේ ආණ්‌ඩුකාරයා රටේ විධායකයේ නියෝජිතයකු නොවී සමුපකාර මැනේජර් කෙනකුගේ නියෝජිතයකු විය යුතු යෑයි විග්නේශ්වරන් අපේක්‌ෂා කරන්නේද? යම් හෙයකින් විග්නේශ්වරන් උතුරේ ආණ්‌ඩුකාර ධුරයට පත්වුවහොත් ඔහු ප්‍රභාකරන්ගේ නියෝජිතයකු වීමට කල්පනා කරන්නේද?

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන නගුට වූ දෙමළ ජාතික සන්ධානය කොතරම් බංකොලොත් භාවයට පත් වීද යත් ළඟ එන පළාත් සභා ඡන්දයේදී උතුරේ මහ ඇමැති අපේක්‌ෂක ලෙස නම් කිරීම සඳහා තමන් අතුරින් කෙනකු සොයා ගැනීමට ඔවුන්ට බැරි විය. සම්බන්ධන්ගේ සිට මාවෙයි සේනාධිරාජා දක්‌වා දෙමළ දේශපාලනඥයන් ගණනාවක්‌ම ඔවුන් සමඟ සිටියි. ඔවුන් අතරින් සමහරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. එහෙත් උතුරේ පළාත් සභාවට ඉදිරිපත් කරන්නට තරම් මිනිසකු ඔවුන් අතුරින් සොයා ගන්නට බැරි වූයේ ඒ සියලු දෙනා ඇට්‌ටකුණාවූ පොල් වල්ලක්‌ හා සමාන වීම නිසාය. ඒ පොල්ගෙඩි සොලවා බලන උතුරේ වැසියෝ එහි වතුර නොහඬන නිසා ඒවා පැත්තකට විසි කිරීමේ සූදානමක්‌ පවතී. ඒ ආකාරයෙන් නිර්මාණය වූ රික්‌තයට බෙල්ල දීම සඳහා එන්නේ හිටපු විනිසුරු විග්නේශ්වරන්ය. දේශපාලනය යනු ඉතා කැත සෙල්ලමකි. විශේෂයෙන්ම ත්‍රස්‌තවාදයේ හවුල්කරුවන් වූ බෙදුම්වාදී දේශපාලනඥයන් සමඟ කරන සෙල්ලම ඉතාම කැත සහ ගඳ ගසන කුණු වළකි. හිටපු විනිසුරු විග්නේශ්වරන් එම කක්‌කුස්‌සි වළට ඇද දැමීමෙන් දෙමළ සන්ධානය ලොකු පවක්‌ කර ඇත. දෙමළ ජනතාව වෙනුවෙන් කිසිම සටනක්‌ කර නැති විග්නේශ්වරන් විනිශ්චයකාරයා දෙමළ සන්ධානයේ පළාත් සභා ටිකට්‌ එක භාර ගන්නේ කවර හෘද සාක්‌ෂියකට අනුවදැයි අපට නම් නොවැටහේ. එක්‌ අතකට දෙමළ සන්ධානය වැනි තැනක සිට දේශපාලනය කිරීමට හෘද සාක්‌ෂියක්‌ අවශ්‍ය නැත. හෘදයක්‌ තබා මොළයක්‌වත් ඊට අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව තල් ගසකට වුවත් දෙමළ සන්ධානයෙන් දේශපාලනය කළ හැකිය.

දහතුන් වැනි සංශෝධනයට වැඩි යමක්‌ හිටපු විනිසුරු ඉල්ලන්නේ නම් එය කුමක්‌ද යන්න මේ රටේ ජනයාට හෙළි කළ යුතුය. එය ඉඩම් සහ පොලිස්‌ බලතලද, එහෙමත් නැත්නම් ඒ දෙකට අමතරව වෙනම යුද හමුදාවක්‌ වෙනම වරායක්‌ හා අගනුවරක්‌ද, දේශ සීමාවක්‌ද යන්න මේ රටේ සිටින සියලු ජනයා දැනගත යුතුය.

තිස්‌ අවුරුදු යුද්ධය අපේ රටට එල්ල කළ හෙණය ගැන කිසිදු ජාති ආගම් භේදයකින් තොරව හැම දෙනාම දනිති. රට තුළ නැවත වතාවක්‌ බෙදුම්වාදය ප්‍රවර්ධනය වුණොත් හටගැනීමට ඉඩ ඇති ලේ විල ගැන අමුතුවෙන් නොකියමු. එබඳු නීච තත්ත්වයක්‌ ඇති වීමට ඉඩ නොදීම යහපත් පුරවැසියන්ගේ සිරිත විය යුතුය. විග්නේශ්වරන්ගේ පුරවැසිභාවයේ ස්‌වභාවය ඉදිරියේදී අපට වටහාගත හැකිය.

http://www.divaina.com/2013/07/20/editor.html

1 comments:

Anonymous said...

ado