Pages

Sunday, July 14, 2013

ගෑස් බඳුන පිරික්සන්නත් උසාවි අවසරය ඕනෑ. පොලිස්‌ බලතල දීමේ විපාක බුද්ධගයා ප්‍රහාරයෙන් සනාථවීම...

බිහාරයේ ත්‍රස්‌ත මර්දන ඒකකයක්‌ පිහිටුවීමටද ඉඩදී නැත

උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල දෙන ලෙස ඉන්දු-ලංකා ගිවිසුමට පක්‍ෂ පිරිස්‌ දැන් හඬ නගති. එහෙත් පොලිස්‌ බලතලදීමේ විපාක පසුගිය ඉරිදා බුද්ධගයාවට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සනාථ විය. මේ වසරේ ජුනි සහ ජුලි මස නවදිල්ලි බුද්ධි සේවාව බිහාර් ප්‍රාන්තයේ පැට්‌නා පොලිසිය වෙත රහසිගත වාර්තාවක්‌ එවමින් ත්‍රස්‌තවාදීන් දෙදෙනකු පැමිණ ඇති බවත් ඔවුන් බුද්ධගයාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන බවත් කියා සිටියහ. එහෙත් පැට්‌නා පොලිසිය එම වාර්තාව ගයා පොලිසිය වෙත යවනු ලැබීය. ගයා පොලිසිය එම වාර්තාව කෙරේ තැකීමක්‌ කළේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ත්‍රස්‌තයන් බෝම්බ 13 ක්‌ බුද්ධගයාවේ ස්‌ථානගත කිරීමයි. බෝම්බ පිපිරීම්වලට පෙර නවදිල්ලි බුද්ධි අංශ බිහාර් රජයට අනතුරු ඇඟවූ බව බිහාරයේ මහ ඇමැති නිsතිශ් කුමාර්ද පිළිගත්තේය.

මෙලෙස බුද්ධගයාවට ප්‍රහාර එල්ල වන බවට අනතුරු අඟවා තිබියදී ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණේ බෝ කොළ අහුලා ඩොලර් පහ බැගින් විදේශීකයන්ට අලෙවි කරන පුද්ගලික ආරක්‍ෂකයන්ය. දැන් එකී ආරක්‍ෂකයන් පිපිරීමට සම්බන්ධ දැයි පරීක්‍ෂණ කරන බව මහ ඇමැති නිතිශ් කුමාර් කියා සිටී.

ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්‌ඩුවලට ලැබී ඇති බලතල නිසා නවදිල්ලි බලධාරීන්ගේ උපදෙස්‌ පවා තැකීමක්‌ කර නැතැයි මින් සනාථ විය. 

පෙරේදා ඉන්දීය මාධ්‍ය පැවසූවේ බිහාර් ඇතුළු ප්‍රාන්ත නවයක්‌ නවදිල්ලියේ ස්‌වදේශ ලේකම්ගේ ලිපි කෙරේ පවා තැකීමක්‌ කරන්නේ නැති බවයි.

එසේ නම් ප්‍රාන්තවල බලය රඳා පවතින්නේ මහ ඇමැතිසතුව නිසා මධ්‍යම රජය අසරණ තත්ත්වයකට පත්වී තිබේ.

ඉන්දීය බලධාරීන් ත්‍රස්‌ත මර්දන ඒජන්සියක්‌ පිහිට වූ අවස්‌ථාවේ එහි කාර්යාලයක්‌ බිහාරයේ ස්‌ථාපිත කිරීම සඳහා ප්‍රාන්ත රජය එකඟ වූයේ නැත.

එහෙත් අශ්වයා පැන ගියාට පසු ඉස්‌තාලය වසා දැමීම වැනි ක්‍රියාදාමයන් සිදු වී ඇත.

බුද්ධගයාවේ ආරක්‍ෂාව බාර ගන්නැයි බිහාර් ප්‍රාන්ත ඇමැති නිතිශ් කුමාර් නවදිල්ලි බලධාරීන්ට කීවේය. ඔහු දැන් ත්‍රස්‌ත මර්දන ඒකකයේ ශාඛාවක්‌ බිහාරයේ පිහිටුවීමටද සැලසුම් කර තිබේ.

එහෙත් මේ සියලු දේ සිදුවන්නේ බෝම්බ පිපිරීම් නවයක්‌ සිදුවීමෙන් පසුවිය. 

මේ පසුබිම මැද ප්‍රාන්තවලට පොලිස්‌ බලතල දීමේ විපාක ඇස්‌ පනාපිට සනාථ වේ.

බිහාර් ප්‍රාන්තයට විශේෂ විමර්ශන ඒකකයක්‌ මෙන්ම බෝම්බ නාශක අංශයක්‌ද පිහිටු වීමට ඉඩදී නොතිබුණි.

මේ බෝම්බ පිපිරීම සම්බන්ධ නවදිල්ලියේ සිට විශේෂ විමර්ශන ඒකකයක්‌ හා බෝම්බ නාශක ඒකකයක්‌ද එවීමට සිදුවිය.

මෙවන් අරාජික තත්ත්වයක්‌ බිහාරයේ පැවතුණි. එසේම ඉන්දීය මාධ්‍ය තවදුරටත් පැවසූවේ බුද්ධගයාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දුර්වලතා රැසක්‌ පැවැති බවයි.

කොන්ග්‍රස්‌ පක්‍ෂයේ පාලනයට අයත් නැති ප්‍රාන්ත රැසක්‌ ජාතික ත්‍රස්‌ත මර්දන ආයතනය පිළිගන්නේ නැහැ. මේ නිසා ත්‍රස්‌ත මර්දන කටයුතු බිහාරයේ දියත් කිරීම දුෂ්කර වුණා. බුද්ධ ගයාවේ පිපිරීම් ගැන තවමත් විමර්ශන පවත්වන්නේ බිහාර් පොලිසියය නවදිල්ලියේ සිට පැමිණි විමර්ශන කණ්‌ඩායම ඔවුන්ට සහය වෙනවා යයි ඉන්දීය මාධ්‍ය පළ කළේය.

ජුලි 2 දා නවදිල්ලි බලධාරීහු බිහාර් පොලිසිය වෙත අනතුරු අගවමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවීමට ඉඩ ඇති නිසා ආරක්‍ෂක සැලසුමක්‌ සකස්‌ කරන්නැයි උපදෙස්‌ දී ඇත.

එහෙත් බිහාර් පොලිසිය ඒ ගැන තැකීමක්‌ කර නැත. ඉන්දීය රජයට සම්බන්ධ චරපුරුෂ සේවා ත්‍රස්‌ත ප්‍රහාරයන් ගැන බිහාර් පොලිසියට කළ අනතුරු ඇඟවීම තුළින් සනාථ වන්නේ ප්‍රාන්තවලට පොලිස්‌ බලතල දීමේ විපාකයි.

එහෙත් මෙරට විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයෙක්‌ 13 වැනි සංශෝධනය ගැන දන්නේ නැති පිරිස්‌ ඒ ගැන හඬනගන්නේ යයි විද්යුත් නාලිකාවන් ඔස්‌සේ ඝෝෂා කරයි.

එසේ වූවත් ඉන්දීය රජය හා රෝ බුද්ධි සේවාව විසින් මෙරටට 13 වැනි සංශෝධනය හා පලාත් සභා ක්‍රමය ඇබ්බැහි කරද්දී එම දේශපාලකයා පාසල් වියේ පසුවිය.

ඉන්දියාව මෙරටට බලයෙන් යොමු කළ 13 වැනි සංශෝධනය එපා කී ද්‍රවිඩ සංධානය අද එය අවශ්‍ය යයි කියන්නේ මන්ද?

මෙම 13 වැනි සංශෝධනයට කිසිසේත් සම්බන්ධ නැති කඳුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණන්ද ඉඩම් හා පොලිස්‌ බලතල සහිත 13 වැනි සංශෝධනය ප්‍රතිශෝධනය කිරීමට එරෙහි වී ඇත.

එහෙත් ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය මර්දනය කිරීමට දින තුනක්‌ ගත වූයේ පොලිස්‌ බලතල නිසාය. 

එසේ වූවත් බුද්ධගයා ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජාතික විමර්ශන කණ්‌ඩායමට පුපුරන ද්‍රව්‍ය අසුරා තිබූ එල්. පී. ගෑස්‌ බඳුනේ ඇත්තේ කුමක්‌ද යන්න නිරීක්‍ෂණය කිරීම සඳහා ගයා ප්‍රදේශයේ ප්‍රධාන අධිකරණ මහෙස්‌ත්‍රාත්ගෙන් අවසරය ලබා ගැනීමටද සිදුවිය.

ඉන්දීය චරපුරුෂ සේවාව තෙවතාවක්‌ම බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කරන බවට දැඩි ලෙස අනතුරු අගවා තිබියදී පුද්ගලික ආරක්‍ෂක භටයන් ඉවත් කර විශේෂ පොලිස්‌ ඒකකයට ලබාදීමට මහ ඇමැති නීතිඥ කුමාර ක්‍රියා කළේ නැත.

එම පසුබිම යටතේ පොලිස්‌ බලතල දීමේ විපාක සනාථ නොවන්නේද?

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/13/feature01.html

1 comments:

Anonymous said...

what is Sajith Premadasa's stance about 13 amendment. He should express his opinion very clearly and we could see whether he has strong back bone like Palitha Range Bandara.He should express it clearly not dodged words or something we cant understand.