Pages

Tuesday, July 30, 2013

දරුවන්, සමාජය සහ ගුරුවරයා...

පසුගිය උත්සව සමයේ රට පුරා තැන තැන පැවති වැඩසටහන්වලට සමගාමීව අපේ ගමේද වැඩසටහන් කිහිපයක්‌ ක්‍රියාත්මක විය. ඒ පන්සලේ සහ පාසලේය.

අපේ ගම ඉතා සුන්දර පරිසරයක පිහිටි ගමක්‌ වුවත් මා ලද අද්දැකීම ගමේ සුන්දරත්වය මෙන් සුන්දර නැති බව කිව යුතුමය. එය විටෙක මාගේ හදවත කම්පාවට ලක්‌කරන්නක්‌ වූ අතර තවත් විටෙක සමාජයේ සිදුවෙමින් පවතින පරිහානිය සම්බන්ධයෙනුත් සමාජය සංවර්ධනීය දිසාවකට ගමන් කරවීමේ වැඩි කාර්යභාරයක්‌ ඉටුකළ යුතු ගුරුවරයා සම්බන්ධයෙනුත් කනගාටුවක්‌ද ඇතිවිය.

පවුලේ උදවියද සමග මම පාරට බැස්‌සේ කලාතුරකින් ගෙදර පැමිණි නිසා උත්සව සිරි නරඹා කිසියම් සතුටක්‌ ලැබීමේ අටියෙනි. අපි පාර දිගේ ඇවිද යන විට පළමුවෙන්ම පන්සලට යැමට අවශ්‍ය බව අම්මාත් බිරිඳත් පැවසීය. ඔවුන් පන්සලට යවා මම පන්සලේ ගේට්‌ටුව අසල නැවතුනේ පන්සලේ පහන් ආලෝකයත් ඒ මැදින් ගලා එන ඝාණ්‌ඨාර නාදයේත් සුදුවතින් සැරසී ඔබ මොබ සැරිසරණ සැදැහැවතුන්ගේ දර්ශනයත් සමග දිස්‌වන සෞන්දර්ය විඳගැනීමට අවශ්‍ය වූ බැවිනි.

මා එහි රැඳී සිටියේ මඳ වේලාවකි. මටත් නොදැනීම වාගේ මා සේන්දු වී තිබුණේ පහන් කූඩු රැසක්‌ ස්‌ථානගත කර තිබුණු පන්සලට මායිම්ව පිහිටා ඇති පාසල දෙසටය. වෙනදා මෙන් පාට පාට පහන් කූඩුවල ආලෝකය එහි නොවූවත් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැතින් නිර්මාණය වූ පහන් කූඩු නැරඹීම මගේ අභිප්‍රාය විය. ඒ අතර අවුරුදු 10 ත් 12 ත් තරම් වූ වයසේ ළමුන් විසින් නිර්මිත දර්ශනීය තොරණක්‌ද විය.

එහි සෞන්දර්යයත් ළමයින්ගේ නිර්මාණශීලී හැකියාවත් ගැන කල්පනා කරමින් සිටි මට මාගේ සෞන්දර්ය වින්දනයට වටිනාකමක්‌ මෙන්ම ළමයින්ගේ හැකියාවන්ට ඇගයීමක්‌ ලබා දීමටද අනගි අවස්‌ථාවක්‌ උදාවිය. ඒ "ලස්‌සනයි නේද සර්" යනුවෙන් එම අවස්‌ථාවේ පාසල් භූමියේ රැඳී සිටි පාසලේ විදුහල්පතිතුමාට පැවසූ අවස්‌ථාවේදීය. මගේ කටහඬ ඇසෙනවාත් සමගම මා දෙස බලා "පුතා දැන්ද ආවේ? ඔයා ආපු එක හොඳයි. පුතා තමයි මේකට සුදුසුම කෙනා. ඔයාට මම කොළයක්‌ දෙන්නම්. ඒකේ තියෙන නිර්නායකවලට අනුව ඔයා මේ නිර්මාණවලට ලකුණු දාල දෙන්න. ඔයා තමයි අපේ විනිශ්චයකරුවා" යෑයි විදුහල්පතිතුමා පැවසීය.

විදුහල්පතිතුමා ලබාදුන් නිර්නායකවලට අනුව මාගේ දැනීමට සාපේක්‍ෂව එකින් එකට ලකුණු දමා අවසන් කළෙමි.

එහි ප්‍රතිඵල ලේඛනය විදුහල්පතිතුමාට බාරදීමට මඳකට පෙර එම පාසලේ ආචාර්යවරියක්‌ මා අසලට පැමිණ "ඔයාද මේවට ලකුණු දාන්නේ? මම මේ පහන් කූඩුව හදපු ළමයාගේ පන්ති භාර ගුරුවරිය" යෑයි තමාව හඳුනා දෙමින්, ස්‌වභාවික ද්‍රව්‍යවලින් මනාව නිර්මාණය කර තිබූ පහන් කූඩුවක්‌ පෙන්වා "මේක හදපු ළමයා ගන්ජා ගහලා අහුවෙලා ඉස්‌කෝලෙන් අස්‌කෙරුවා. ඒකට ලකුණු දාන්නැතුව ඒක තරගෙන් ඉවත් කරන්න" යෑයි පැවසීය. එම ඉල්ලීමෙන් මහත් සේ සසලවූ හදවතින් යුතු මගේ මුවින් ක්‍ෂණිකවම පිටවූවේ "ඉතින් ඒ ළමයා අස්‌කළාද? යන්නය. "නැහැ. අස්‌වීම අරගෙන යන්න කිව්වා. තවම අරගෙන ගිහින් නැහැ" යනුවෙන් ඇය පැවසීය.

"මිස්‌... මගේ වගකීම වුණේ මේ නිර්මාණ ස්‌වාධීනව ඇගයීමකට ලක්‌aකරලා මට විදුහල්පතිතුමා දීපු නිර්නායකයන්ට අනුව ලකුණු දීම. ළමයින්ගේ තරාතිරම් මට අදාළ කරගන්න බැහැ. මම මගේ වගකීම් ඉටුකරලා ලකුණු පත්‍රිකාව විදුහල්පතිතුමාට බාරදෙනවා. ඔබතුමී විදුහල්පතිතුමත් එක්‌ක පොඩ්ඩක්‌ කතා කරලා බලන්න" යනුවෙන් මම ඇයට පැවසුවෙමි. ඇය එම ස්‌ථානයෙන් ඉවත්ව යාමට සූදානම් වුවත් ඇයත් සමග සංවාදයක්‌ ගොඩනගා ගැනීමට මට අවශ්‍ය වූයෙන් "ඉතිං මිස්‌ ඒ ළමයගේ දෙමව්පියන් ඉස්‌කෝලෙට ගෙන්නලා මේ ප්‍රශ්නෙදි දෙමව්පියන්ට තියෙන වගකීමත් කියා දීලා ළමයා හදාගන්න බැලුවේ නැද්ද?" යෑයි විමසුවෙමි.

මා එසේ අසන්නට පෙළඹුණේ ඒ ළමයා පාසලෙන් අස්‌ කළේ යෑයි පැවසූ සැනින් මට දැනුණු කම්පනය විසින් ඇගෙන් ඇසිය යුතු ප්‍රශ්න 

රැසක්‌ මා මනසේ නිර්මාණය වූ බැවිනි.

"ඒ ළමයා කරලා තියෙන්නේ ඉස්‌කෝලේ තියාගන්න පුළුවන් වැරැද්දක්‌ නෙවෙයි. පාසල් වේලාවෙ ඉස්‌කෝලෙන් පැනල ගිහින් ත්‍රීවීලර් පාක්‌ එකේ ඉඳගෙන ගංජා ගහලා" යනුවෙන් තම නිගමනය නිවැරැදි බව තහවුරු කරන්නටද විය. "ඉතින් මිස්‌ ළමයි වැරැදි කරපුවාම පාසලෙන් අස්‌ කරනවා නම් මොකටද පාසල්? ළමයින්ගේ ශික්‌ෂණය හදලා විනයක්‌ අනුව වැඩ කරන්න කියලා දෙන්න නේද පාසල තියෙන්නේ? එතන ළමයි වැරැදි කරනවා කියලා අස්‌කළාම කොහෙන්ද ළමයි හැදෙන්නෙ? මිස්‌ උගත් කෙනෙක්‌ හොඳටම දන්නවනේ මේ සමාඡේ මහ නරක, නපුරු, දුරාචාරයෙන් පිරිච්ච සංකර සමාජයක්‌ බව. ළමයි ඔය විදිහට අස්‌කළාම කෙලින්ම වැටෙන්නේ ඒ සමාජෙට. ඒ නිසා ඔය ළමය, අස්‌ කරන්න එපා. ඔබතුමී ඒ ළමයගේ වගකීම අරගෙන ඒ ළමයා මේ නරක, නපුරු සමාජය වෙනස්‌ කරන්න පුළුවන් පුරවැසියෙක්‌ කරන්න.

ළමයා ගංජා බිව්ව වෙන්න පුළුවන්. ඒත් මේ ළමයාගේ නිර්මාණ හැකියාව බලපුවම ඉතාම දක්‍ෂ ළමයෙක්‌. කොතැනකින් හෝ සිදුවූ වරදකින් මේ ළමයා මේ තත්ත්වයට වැටිලා ඇත්තේ. ඒ ළමයා ගොඩනැඟීමේ ප්‍රවේශයක්‌ හැටියට ළමයාගේ නිර්මාණය අගය කරලා මේ ළමයා හරි මගට ගන්න උත්සාහ කරන්න. කරපු වරද තේරුම් කරලා දීලා හොඳ ළමයෙක්‌ කරන්න උත්සාහ කරන්න. ඒ ළමයා හරියට නිවැරැදි කළොත් මේ නපුරු සමාජයම යහපත් සමාජයක්‌ කරන්න උත්සාහක්‌ හෝ ගන්නා පුරවැසියෙක්‌ වේවි. එදාට ඔබතුමීටත් ඒ ළමය ගැන වගේම ඔබතුමී ගැනත් ලොකු ආඩම්බරයක්‌ දැනෙයි."

"ලකුණු දාන්න එපා" යෑයි ඇය පැවසූ පහන් කූඩුව නිර්මාණය කර තිබුණේ ගොක්‌කොල, ඉරටු, පොල්කටු, පොල්කොහු සහ වැල් වැනි පරිසරයෙන් අහුලාගත් දේ උපයෝගී කරගනිමිනි. සැබවින්ම එය අපූරු නිර්මාණයක්‌ විය. එවැනි දක්‍ෂතා ඇති ළමුන් මඩගොහොරුවක්‌ වී ඇති වත්මන් සමාජයේ මෙලෙස පල්වී යාමට ඉඩහැරීම කුමන ගණයේ සාධාරණයක්‌ද? සමාජයේ හෙට දවස කුමක්‌ වේවිද?

වරද කාගේද? - සී. පී. එස්‌. චක්‍රවර්ති
http://www.divaina.com/2013/07/30/feature03.html

0 comments: