එදා ප්‍රභාකරන්ටත් එල්.ටී.ටී.ඊ. යටත් එරෙහිව හඬ නැඟූ ඇයට ඇගේ සැමියා අහිමි විය. ඇගේ හා දරුවන්ගේ ජීවිත බේරුනේ අනූ නවයෙන් ය. භීෂණයක හඬ තවමත් ඇගේ සවන් තුළ දෝංකාර දෙයි. ඇය මෙවර ඇගේ සහෝදර ජනතාව අතරට එන්නී, ඒ බිහිසුණු අත්දැකීම්වලින් ලද පන්නරය ද සමග ය. මේ ඇගේ හෘදය සාක්‍ෂියයි.
- ශ්‍රීලනිපයේ කිලිනොච්චි ආසන සංවිධායිකා
ගීතාංජලි නගුලේෂ්වරන්
ප්‍රශ්නය - එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය පරාජය වීමෙන් පසු උතුරු පළාතේ තබන ලද සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරන්න ටී. එන්. ඒ. සමත් වුණා. පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය එයින් වෙනස් වේවි කියා ඔබ සිතනවාද?
පිළිතුර - තිස් වසරක් තිස්‌සේ දෙමළ ජනතාව උතුරේ ජීවත් වුණේ එක්‌තරා විදිහකට වහලුන් වගේ. ඒ ජනතාවට එක්‌තරා පිරිසක් කියන විදිහටම කටයුතු කරන්න සිද්ධ වුණා. ඊට පටහැනි දෙයක් කතා කරන්න බැරි තත්ත්වයකින් තමයි ඒ ජනතාව ජීවත් වුණේ. තිස් වසරක ඒ යුගය අවසන් කරලා මේ ජනතාව අද නිදහස් වෙලා තිබෙනවා. මේ ජනතාව මෝඩ පිරිසක් නෙමෙයි. මේ ජනතාව කල්පනා කරලා බුද්ධිමත් ලෙස මෙවර ඡන්දය දෙයි. පසුගිය තිස්‌වසරේ හෝ මෑත කාලයේ මේ ජනතාව ගත් තීරණවලට වඩා දැන් තත්ත්වය වෙනස් බව මම කියන්න කැමතියි.
ප්‍රශ්නය - ඔබගේ උපකල්පනය එය වුවත් ප්‍රභාකරන් මිය යැමෙන් පසුව උතුරේ පැවැත්වූ සෑම මැතිවරණයකදීම ජය ගත්තේ දෙමළ සන්ධානය. එයින් පෙනෙනවා උතුරේ ජනතාවගේ කැමැත්ත බැඳී තිබෙන්නේ දෙමළ සන්ධානය සමග බව.
පිළිතුර - 2010 ඡන්දය තියෙන කොට යුද්ධයත් ඉවර වුණා විතරයි. බහුතරයක් හිටියේ කඳවුරුවල නැවත පදිංචි කිරීම් තිබුණේ නැහැ. මොනවා වෙයිද කියලා බයෙන් තමයි ඒ ජනතාව හිටියේ. ඒ කාලයේ දෙමළ සන්ධානයෙන් රුපියල් දාහ බැගින් ඒ මිනිස්‌සුන්ට බෙදලා දුන්නා. එහෙම දීලා තමයි සරත් ෙµdන්සේකාට ඡන්දය දැම්මෙව්වේ. මීට ඉස්‌සෙල්ලා, ප්‍රභාකරන් ඉන්න කාලේ එයා ඡන්දය දෙන්න ඕනේ කාටද කියලා කියනවා. ඒ කෙනාට තමයි උතුරේ ජනතාව ඡන්දය දුන්නේ. ඒකයි මම කිව්වේ වහල්ලු වගේ කියලා. 2010 දීත් ඒකමයි වුණේ. ටී. එන්. ඒ. එක කළේ, බලහත්කාරය වෙනුවට සල්ලි දුන්නා. ඊට පස්‌සේ ප්‍රාදේශීය සභාව. ප්‍රාදේශීය සභාවේදී අපි 40% ට වඩා ඡන්දය ගත්තා. මේ සැරේ ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. මෙච්චර කාලයක් උතුරේ 60% ක් ඡන්දය දාන්නේ නැතුවයි හිටියේ. ඉස්‌සර යාපනේ ජනතාව ගත්තොත් ඉඩම් තිබ්බා, රැකියා තිබ්බා. පිටරට ඉඳලා සල්ලි එනවා. මේනිසා මේ අයට කවුරු ආවත් කමක් නැහැ කියන තත්ත්වයකයි හිටියේ. අද වන්නියේ තත්ත්වය ගත්තොත් ඒ අයගේ අවශ්‍යතාවය තියෙන්නේ ජාතිවාදය නෙමෙයි. විශේෂයෙන්ම යුද්ධයෙන් වැඩිම බලපෑම තිබ්බ මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවය වෙනස්. අද අපේ ගෙදර උයන්න ඕනේ. මොකද හැත්තෑ දහසක් පවුල් තියෙන්නේ ස්‌ත්‍රී මූලික ගෙවල්. හැම කාන්තාවක්‌ම හිතන්නේ මගේ ළමයා පාසලට යවන්න ඕනේ. මට දැන් බලාපොරොත්තුවක් තියෙනවා. දැන් පාසල් හැදිලා තියෙනවා. රෝහල් ඉදිවෙලා තියෙනවා. රජයේ කාර්යයන් හරියටම ඉටුවෙනවා. සංවර්ධන කාර්යයන් රටේ කිසිම පැත්තක මේ විදිහට වෙන්නේ නැහැ. පාරවල්, පාලම් වගේ දේවල් ඉදිවෙලා තියෙනවා. මේ සැප්තැම්බර් වෙන කොට කෝච්චි මාර්ගය කිලිනොච්චියට එනවා. 2015 වෙනකොට යාපනයටත් යනවා. ව්‍යාපාරිකයන්ටත් දැන් හොඳ තත්ත්වයක් ඇතිවෙමින් තියෙනවා. ගොවියන්ටත් එහෙමයි. ධීවරයන්ට සහනාධාර දෙනවා. ගෙයක් කියන එක හීනයක් වෙලා තිබ්බ අයට ගෙවල් හම්බවෙලා තියෙනවා. රැකියා ගොඩක් හම්බුවෙලා තියෙනවා. සමෘද්ධි ලැබෙනවා. උපාධිධාරීන්ට රැකියා ලැබුණා. මේ වගේ වේගවත් සංවර්ධනයක් කිසිම කාලෙක උතුරේ වෙලා නැහැ. පළාත් නවයම ගත්තොත් රටෙන් 23% ක සංවර්ධනය ලැබිලා තියෙන්නේ උතුරට.
මෙච්චර කාලයක් අපි රැවටිලා හිටියේ කියලා දෙමළ ජනතාවට තේරෙන්න පටන් අරන් තියෙන්නේ දැන්. එදා හොඳ අධ්‍යාපනයක් තිබ්බා. ත්‍රස්‌තවාදීන් දෙමළ ජනතාවගෙන් ඒක උදුරා ගත්තා. ඒ නිසා අද දෙමළ ජනතාව කුලී වැඩ කරන පිරිසක් බවට පත්වෙලා. ඒ අයට දැන් අවස්‌ථාව උදාවෙලා තියෙනවා එතැනින් ගැලවෙන්න. ඒ අරමුණු දැන් මේ අයට ඇවිල්ලා තියෙනවා.
මමත් ගමින් ගමට ගිහිල්ලා දෙමළ ජනතාවට කියන්නේ, රජය මේ කරන්නේ ඔබ වෙනුවෙන්. මීට වඩා දේවල් අපිට ආණ්‌ඩුවෙන් කරගන්න පුළුවන්. හැබැයි ඒකට ඔබත් ආණ්‌ඩුවත් එක්‌ක ඉන්න කියලා. ජනතාව ඒ ගැන අනුමැතිය පලකරලා තියෙනවා. ඒ නිසා දැන් ටී. එන්. එකට තැනක් නෑ.
උතුරු පළාතේ ආසන 39 ක් තියෙනවා. එයින් විස්‌සක් අරගෙන අපි තමයි මේ පාර උතුරේ මහ ඇමැතිකම අරගන්නේ.
ප්‍රශ්නය - ටී එන්. එකෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රබල අපේක්‍ෂකයෙක්. විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. එවැනි චරිතයකට උතුරු පළාතේ ජනතාව වඩාත් ආකර්ෂණය වෙයි, කියා සමහරු ප්‍රකාශ කරනවා.
පිළිතුර - විග්නේශ්වරන් විනිශ්චයකාරවරයෙක් විදිහට දෙමළ තරුණයන් කීදෙනෙක් සිරගත කරන්න ඇද්ද? අද දෙමළ තරුණයන් ගැන අනුකම්පාවෙන් කතා කරනවා. මේවා අවස්‌ථාවාදී දේවල්. දෙමළ සන්ධානයෙන් කිලිනොච්චියට ඉදිරිපත් කරන්නේ එදා ශ්‍රීලනිපයෙන් ඇමැති කෙනෙක් වූ කුමාර් සූරියර්ගෙන් රස්‌සා ගත්ත අය. මිනිස්‌සු මේ අය ගැන දන්නවා. ටී. එන්. ඒ. එකෙන් ඉල්ලන්න හදන තව එක්‌කෙනෙක්, අමු තල් පිත්තෙන් ගහල... ගහලා... දෙමළ ළමයිව එල්. ටී. ටී. ඊ. යට බලෙන් බඳවා ගත්ත කෙනෙක්. තමුන්ගේ දරුවෝ පිටරට ආරක්‍ෂාකාරීව සැපට තියලා දෙමළ දරුවන්ව අනාථ කරපු ඒ අය ගැන දෙමළ ජනතාව දැන් දන්නවා. මේ මිනිස්‌සුන්ව විකුණලා අපි පුටුවල වාඩිවෙන්නේ කොහොමද කියලා තමයි ටී. එන්. ඒ. කල්පනා කරන්නේ. ඒ ජනතාව ඒක දන්නවා. අනිත් එක ටී. එන්. ඒ. එකේ කට්‌ටිය මහ ඇමැතිකමට මතබේද ඇතිකරගෙන තිබෙනවා. මහ ඇමැති අපේක්‍ෂකයා පරද්දන්න වැඩ කරන අයත් ටී. එන්. ඒ. එක තුළම ඉන්නවා.
ප්‍රශ්නය - විග්නේශ්වරන් මහත්තයා හා ටී. එන්. ඒ. එක කියන්නේ 13 ප්ලස් අවශ්‍යයි කියලා. නමුත් ආණ්‌ඩුවේ මතය වී තිබෙන්නේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවත් කරන්න ඕනේ කියලා. උතුරේ ජනතාවට මේ දෙකෙන් අවශ්‍ය මොකක්‌ද?
පිළිතුර - අනිත් පළාත්වලට නැති දේවල් අපිට ඕනේ නැහැ. අපි හිතන්න ඕනේ රටක් විදිහට. එහෙම නැතුව පළාතක් විදිහට නෙමෙයි. 13 මගින් විශේෂ දේවල් මේ පළාතට අවශ්‍ය නැහැ. 13 සංශෝධනය ගැන වාද විවාද, ප්‍රශ්න උතුරේ ජනතාවට නැහැ. ඒවා තියෙන්නේ දේශපාලනඥයන්ට විතරයි.
ගමේ ඉන්න මනුෂ්‍යයාට ඒ ගැන අවශ්‍යතාවයකුත් නැහැ. ඒ ගැන දන්නෙත් නැහැ.
පොලිස් බලතල වෙනම දෙමළ අයට හෝ උතුරට දුන්නොත් මේ රටේ ඉන්න හැම ජාතියකටම, පළාතකටම එහෙම දෙන්න ඕනේ. එතකොට මේක රටක් නෙමෙයි ප්‍රයිවට් කම්පැණියක් වගේනේ. රටක් තුළ තියෙන්න ඕනේ එක පොලිසියයි. නැත්නම් පොලිසිය එක එක්‌කෙනාගේ හමුදාව බවට පත්වෙයි.
අනිත් එක ඉඩම්, ඉඩම් තියෙන්න ඕනේ ආණ්‌ඩුවට. ආණ්‌ඩුවට ඉඩම් තිබ්බයි කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැ. ආණ්‌ඩුව ඒ ඉඩම් දෙන්නේ සංවර්ධන වැඩවලට. නැත්නම් සමාගමකට බදු දෙයි. පුද්ගලික ඉඩම් ඕනේ නම් ආණ්‌ඩුව ඒවා වන්දි දීලායි ගන්නේ. හමුදාව අරගෙන තිබ්බ ඉඩම් ඔක්‌කොම දැන් භාරදීලා තියෙන්නේ. එල්. ටී. ටී. ඊ. ඉඩම් තමයි තාම හමුදාව බාරයේ තියෙන්නේ. රජයෙන් දෙමළ ජනතාවට ඉඩම් බෙදලා දෙන කොට ටී. එන්. ඒ. අයම ඒකට විරුද්ධව නඩු දැම්මා. ඒ නිසා ගෙයක් හදාගන්න අක්‌කර භාගයකුත් වගා කරන්න අක්‌කරයකුත් ආණ්‌ඩුව දුන්නා. ඒත් මේ නඩුව නිසා ඒ අයට හිමිකම් පත්‍රයක් දෙන්න ආණ්‌ඩුවට බැරි වුණා. මේ නිසා ගෙවල් හදාගන්න දෙන ඉන්දියන් සහනාධාර ණය මේ ජනතාවට අද ගන්න බැරි වෙලා තියෙනවා. මේකයි ජනතාවට තියෙන ඉඩම් ප්‍රශ්නය.
යාපනේ රාමනාදන් කාන්තා විදුහලේ ඉඩමක්, ටී. එන්. ඒ. එකේ මන්ත්‍රී කෙනෙක්‌ගේ බිරිඳගේ නමට අරගෙන ඒක මාරු කරගන්න හදනවා. ඒක පොදු ඉඩමක්. ඒවා කරගන්න තමයි ඉඩම් බලතල ඉල්ලන්නේ. ත්‍රිකුණාමලේ මේ අය ඉඩම් අල්ලගෙන තියෙනවා. ටී. එන්. ඒ. එකේ අයට ඉඩම් අල්ලගන්න තමයි මේ ඉඩම් බලතල ඉල්ලන්නේ. මිනිස්‌සු වෙනුවෙන් දේශපාලනය කරනවා නම් ඉඩම් බලතල පළාත් සභාවට ඉල්ලන්න ඕනේ නෑ. මිනිස්‌සුන්ට ඉඩම් බෙදලා දෙන්න කියලයි ආණ්‌ඩුවෙන් ඉල්ලනන ඕනේa.
ටී. එන්. ඒ. අයට තමන්ගේ පුද්ගලික ඉඩම් අවශ්‍යතා ඉටුකරගන්නයි ඉඩම් බලතල ඉල්ලන්නේ. එහෙම නැතුව දෙමළ ජනතාවට ඉඩම් බලයක් අවශ්‍ය නැහැ. පොලිසියට දෙමළ අයට බැඳෙන්න පුළුවන් නම් තව මොකටද බලතලයක්...? ඒ අයට සමාන විදිහට සලකනවා නම් මොකටද අපි බලතල ඉල්ලන්නේ.
13 වැනි සංශෝධනය කියන්නේ එක කාලයක, එක කට්‌ටියකගේ උවමනාවට කරපු දෙයක්. ඒක හදපු ප්‍රභාකරන්, ඡේ. ආර්., රජිව් දැන් මැරිලා. ඒ යුගයත් දැන් මැරිලා. ඒ වෙලාවේ ඒක කළේ කල්ලි විස්‌සක් ආයුධ තියාගෙන, උතුරේ හිටපු කාලේ. දැන් ඒ තත්ත්වය සම්පූර්ණ වෙනස්. අපි මොකටද දැන් ඒක අරගෙන යන්නේ.
සමහර සිංහල අයත් දහතුන ප්ලස් ඕනේ, ඉඩම් බලතල ඕනේ කියලා කතා කරනවා. අහිංසක දෙමළ මිනිසුන්ගේ වුවමනාව මේක නෙමෙයි. ඒක තේරුම් අරගන්න. මේ වෙලාවේ ජාතිබේද අවුස්‌සලා දෙමළ මිනිස්‌සුන්ට කරදර කරන්න එපා කියලා මම දැඩිලෙස ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නය - ඔබ නිතරම චෝදනා කරනවා එල්.ටී.ටී.ඊ. එකට ළමයි බලෙන් බඳවා ගත්ත අය ටී. එන්. ඒ. එකෙන් මැතිවරණයට ඉල්ලන්න හදනවා කියලා. එල්.ටී.ටී.ඊ.යේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්‌ටර් ආණ්‌ඩුවෙන් උතුරු පළාත් අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා. කේ. පී., තමලිනී වැනි හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් ඔහුට සහාය ලබා දෙනවා. ආණ්‌ඩුව වැඩ ගන්නේත් ඒ වගේම පිරිසකගෙන්....
පිළිතුර - නිදහස මිනිසුන්ට ලැබී තියෙනවා. දැන් අපිට බල කරන්න කවුරුත් නැහැ. අපි දැන් වහල්ලු නොවෙයි. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දොළොස් දාහක් නිදහස් වුණා. ඒ අය දැන් සමාජයට ආවා. රැකියා කරනවා. පවුල්වල අයත් එක්‌ක ඉන්නවා. ණය දීලා තියෙනවා. ඒ වගේම දේශපාලනය කරන්න, මැතිවරණවලට ඉදිරිපත් වෙන්නත් නිදහස දීලා තිබෙනවා. ඒ අයට එපා කියලා ආණ්‌ඩුව කිව්වොත් ඒකත් වැරදියි. ඒ නිසා ඒ නිදහස ඒ අයට දීලා තියෙනවා. ඒ අය තෝරා ගැනීමේ නිදහස ජනතාවට දීලා තිබෙනවා. ඒක ආණ්‌ඩුව විවෘත හදවතින් කරලා තියෙනවා. ටී. එන්. ඒ. අය කියන විදිහට ජාතිබේදයක්‌වත්, දෙමළ අයට පීඩනයක්‌වත් නැහැ කියලා ඒකෙන්ම පේනවා.
ප්‍රශ්නය - උතුරේ මැතිවරණය පවත්වන දිනයට හමුදාව බැරැක්‌කවලට යවන්න. නැත්නම් ඡන්දයට බලපෑම් එල්ල වෙයි කියලා ටී.එන්.ඒ. සංවිධානය පවසා තිබෙනවා. උතුරු මැතිවරණයට හමුදාව මැදිහත් වීමක් කරයි යන බිය ඇතිවී තිබෙනවා.
පිළිතුර - හමුදාව කොහොමටත් දේශපාලනය සමග සම්බන්ධ වුණේම නැහැ. පොලිසියනම් දේශපාලනඥයන් සමග කටයුතු කරන වෙලාවල් තියෙනවා. හමුදාව උතුරු පළාතේ කරන්නේ, ලොකු සමාජ සේවයක්. හමුදා සොල්දාදුවන් දෙමළ ගැහැනු ළමයිව කසාද බැන්දා. එතකොට ටී.එන්.ඒ. එක කිව්වා ඒවා බලෙන් කරන්නේ කියලා. එහෙම බැලුවොත් මහ ඇමැති විදිහට ටී.එන්.ඒ. එකෙන් තරග කරන්න හදන විග්නේෂ්වරන්ගේ පවුලේ අයත් සිංහල අය බැඳලා තියෙනවා. ලොකු මිනිස්‌සු හරි, තමන්ගේ අය හරි කරන කොට ඒකේ වැරැද්දක් නැහැ. පොඩි අය හරි වෙනත් අය හරි කළොත් තමයි වැරදි.
හමුදාවට ගැහැනු ළමයි සියයක් බඳවා ගත්තා. එහෙම කරනකොට කිව්වා මේ හමුදාවට පාවිච්චි කරන්න ගැහැනු ළමයි අරගත්තේ කියලා. එහෙම කිසි දෙයක් වුණේ නැහැ. ඒ අය හොඳින් කටයුතු කරගෙන යනවා. ඒ අයට හොඳම විදියේ ගෙවල් හදලා දුන්නා. ඒ ගෙයකට ලක්‍ෂ 10 ක් පමණ වියදම් කළා. ඒ වුණාට හැදුවට පස්‌සේ ඒ ගෙයක් ලක්‍ෂ විසි පහ විතර වෙන තරම් හොඳට හැදුවා. මිදුලේ වගා කරලත් දුන්නා. හමුදාවට දෙමළ අය ගන්නේ නැහැ කියලා කලින් කෑගැහුවා. දැන් ගන්නකොට ඒකටත් කෑගහනවා.
කිලිනොච්චි නගරය පිරිසිදුව තියාගෙන ඉන්නේ හමුදාව විසිනුයි. ටී.එන්.ඒ. කට්‌ටිය ප්‍රාදේශීය සභාව දින්නට කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒ වැඩ ඔක්‌කොම කරන්නේ හමුදාව. ජෙනරල් උදය පෙරේරා මූලික වෙලා ශිෂ්‍යයන් තුන් දහසකට ශිෂ්‍යත්ව දුන්නා. උතුරේ අය දකින්නේ යුද්aධයෙන් වෙච්ච හැම පාඩුවක්‌ම ඒ අයට විතරයි කියලා. දකුණෙත් ඒක වුණා. බස්‌වල, කෝච්චිවල, බෝම්බ පිපිරුණා. ආමි එක මැරුණා. දකුණත් එහෙමයි. මම උතුරේ අයට ඒක තේරුම් කරලා දීලා තියෙනවා. දෙපැත්තටම වෙච්ච පාඩුව සමානයි.
එහෙම තියෙද්දීත් හමුදාව උතුරට ලොකු සේවයක් කරනවා. ඒ ගිය හමුදාව ගැන උතුරේ ජනතාවට දැන් සැකයක් නැහැ. ඡන්දෙ දවසට මිනිස්‌සු තමයි ඒ වැඩ කරන්නේ. ඒක තියෙද්දී මොකටද එදාට හමුදාව බංකර්වලට දාන්නෙ කියලයි, මම අහන්නේ.
ප්‍රශ්නය - ඔබ කාන්තාවක්. දෙමළ සමාජය සලකන්නේ, මාතෘ මූලික සමාජයක් විදිහට. යුද්ධයෙන්a වැඩියෙන්ම හානි වෙලා තියෙන්නේ කාන්තාවන්ට. ඒ කාන්තාවන් වෙනුවෙන් ඔබ හඬක් නගන්නේ නැද්ද?
පිළිතුර - ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රතිශතය 53% යි. උතුරේ ගත්තොත් ඒක 60% යි. අපිට ජාතියක් විදියට හැසිරෙන විදියක් තියෙනවා. අපි ගැහැනු දරුවෙක් අතින් වරදක් වුණොත් අපි ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ඒ ළමයෙක් පිරිමි ළමයෙක් එක්‌ක යාලු වුණොත් අපි ඒක හැමතැනම කිය කිය යන්නේ නැහැ. අපි ඒක ගෙදරදී විස¹ ගන්නවා. අපේ කාන්තාව ජාත්‍යන්තර මේසයේදී විකුණන එක තමයි අද කරන්නේ.
ආමි එක ගම්මානවලට ඇවිල්ලා කාන්තාවන් දූෂණය කළා කියනවා. ගිය අවුරුද්දේ කාන්තා දූෂණ වැඩියෙන්ම වුණේ උතුරේ. මේවා කළේ හමුදාව නෙවෙයි. ඒ පළාත්වල ඉන්න අයයි මේවා කළේ. ටී.එන්.ඒ. අය ලෝකයටම කියන්නේ මේවා කරන්නේ හමුදාව කියලයි. හමුදාව හා සාමාන්‍ය ජනතාව අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. එහෙම තියෙද්දී තමයි මේ වගේ බොරු කතා ටී.එන්.ඒ. එක ලෝකයට කියන්නේ. මේක නිසා ලෝකයේම අය, අද දෙමළ කාන්තාවෝ දිහා බලන්නේ නරක විදිහට. මම කාන්තාවක් විදිහට ටී.එන්.ඒ. එකට අවවාද කරනවා. ඒ ජරා වැඩ කරන්න එපා කියලා. කාන්තාවෝ ළඟට ඇවිල්ලා ඡන්දේ ඉල්ලනවා. අපි ගැන ලෝකයටම නරක චිත්‍රයක් දීලා.
ගිය සැරේ ඉන්දියානු නියෝජිතයන් ආපු වෙලාවේ එතැන මමත් හිටියා. සුමන්තිරන් මන්ත්‍රීවරයා එතැනදී කිව්වා" ආමි එකේ ඉන්න, දෙමළ ගැහැනු ළමයි දූෂණය වෙනවා. සිවිල් ආරක්‍ෂකයට අරගෙන ඉන්න දෙමළ ළමයි, ආබාධිත හමුදා අයට වැඩ කරන්නයි අරගෙන තියෙන්නේ. ඒ අයව ගණිකා සේවයේ යොදවනවා" කියලා මම එතැනදී කිව්වා ඔයාට මේ ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ කියලා. කැනඩාවේ ඉන්න වයසක මනුස්‌සයෙක් වව්නියාවේ ගැහැනු ළමයකුට ඉගෙන ගන්න උදව් කළා. එයා ළඟදී ඇවිල්ලා වව්නියාවේ හෝටලයකදී මේ අවුරුදු දහසයේ ගැහැනු ළමයාව දූෂණය කරන්න ගියාම අහුවුණා. එතැනදී, සුමන්තිරන් උසාවියේදී පෙනී සිටියේ අර වයසක මනුස්‌සයාව බේරා ගන්නයි. එහෙම අයට මොකක්‌ද තියෙන අයිතිය අපේ කාන්තාවෝ ලෝකයට විකුණන්න. එයා දෙමළ ළමයා වෙනුවෙන් කතා කළේ නැහැ. අද දෙමළ කාන්තාවෝ දේශපාලනයට එන්න බයයි. දූෂණය වුණා කියලා මුළු උතුරේම කාන්තාවෝ ගැන වැරැදි චිත්‍රයක් මේ අය ලෝකයට පෙන්වලා තියෙන නිසා. අපිට ඕනේ නැහැ, අපිව විකුණලා තමුන්ගේ ආසන දිනාගන්න, ලෝකේ සවාරි යන අය. අපි වෙනුවෙන් අපි කතා කරනවා.
ප්‍රශ්නය - හඬ ඔබේ වුවත්, අත කාගෙද යන ප්‍රශ්නය ඔබගේ ප්‍රකාශනය දිහා බලනකොට මතු වෙනවා. ඔබ කතා කරන්නේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක විදියටමයි. මේ නිසා ඔබගේ ප්‍රකාශය අවංකද කියන ප්‍රශ්නය මතුවෙනවා.
පිළිතුර - මම කැමැත්තෙන්ම ආණ්‌ඩුවට ආපු කෙනෙක්. මම දෙමළ කාන්තාවක්. මම දරුවෝ දෙන්නෙක්‌ගේ මවක්. මගේ සැමියා මට අහිමි වුණේ යුද්ධයෙන්. මම මේ ප්‍රශ්නය දිහා බලන විදිහට, අපි මුලින්ම හිතන්න ඕනේ පවුලක් විදිහට. ඊළඟට රටක් විදිහට. දෙමළ මිනිස්‌සුන්ගේ අයිතිවාසිකම් කියලා අපි ඉල්ලන්න ගිය සෑම වෙලේම අපිට වුණේ අයිතිවාසිකම් නැතිවීම විතරයි.
සන්නද්ධ කණ්‌ඩායම් 22 ක් ඉස්‌සරම හිටියා. ඒ අයට දෙමළ මිනිස්‌සු රත්රන් ගෙනහල්ල දුන්නා. කන්න දුන්නා. අපේ කොල්ලෝ... අපේ කොල්ලෝ.. කිය කියා ගියා. ඒ අය කරන හැමදේ ගැනම අපි සතුටු වුණා. ඒගොල්ලන්ගේ ගමනට ධෛර්යය දුන්නා. අන්තිමට මොකද වුණේ. අපිව රැකගන්න... කියලා නැගී හිටපු අය, අපිව කන්න ගත්තා. අපෙන් කප්පම් ඉල්ලුවා. අපේ දරුවෝ යන්තම් ලොකුවෙන කොට බලෙන් අරන් ගියා. දුන්නේ නැත්නම් ගෙදර අය මැරුවා. දෙමව්පියන්ගේ ඇස් ඉස්‌සරහාමයි මැරුවේ.
සුනාමියෙන් හතළිස් දාහක් පනස් දාහක් මිනිස්‌සු මැරුණා. මේ අය කියනවා වෙල්ලිමුල්ලි වයික්‌කාල්වල හතළිස් දාහකට වඩා මැරුණා කියලා. දෙමළ සංවිධානවල ගැටුම නිසා අඩුම තරමෙන් ලක්‍ෂයකට වැඩිය දෙමළ අය මැරෙන්න ඇති.
ඒ වගේ යුගයක් අපිට ආයෙත් අවශ්‍ය නැහැ. මම ඒක බරපතළ ලෙස කියන්න කැමතියි.
හමුදාව යුද්ධ කළේ ත්‍රස්‌තවාදය නැති කරන්න. මේ අය මරා ගත්තේ, අපේ අයිතිවාසිකම් රැකදෙන්න කියලයි. මේ මිනිස්‌සුමනේ ආයෙත් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ අයමනේ ආයෙත් පරණ කතාව කියන්නේ. මේ අය බලයට ආවොත් අවුරුදු තිහක් මේ අය කරපු දේමයි ආයිත් කරන්නේ. උතුරු පළාත බැරි වෙලාවත් මේ අයගේ අතට ගියොත්.... අපිට ආයෙත් වෙන්නේ කප්පම් දෙන්න... දරුවෝ දෙන්න... ඒක දෙමළ මිනිස්‌සු දන්නවා. අපිට ඕනේ එක රජයක්. එක පොලිසියක්.. යටතේ අනිත් මිනිස්‌සු වගේ ජීවත් වෙන්න. අපිට රට බෙදන්න ඕනේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාවට පාවිච්චි වෙන්න අපිට ඕනි නැහැ. තමුන්ගේ ළමයි බිරිඳ රට යවලා ඉන්ටර්නෙට් එකෙන් යුද්දෙ බල බල හිටිය ටී.එන්.ඒ. අය ගැන දෙමළ ජනතාව හොඳට දන්නවා.
මේ යුද්ධයෙන් ටී.එන්.ඒ. එකේ කාගේවත් දරුවෝ, පවුල්වල අය මැරුණාද? ඒගොල්ලන්ගේ පවුල්වල කවුරු හරි අතුරුදන් වුණාද? ඒ පවුල්වල කවුරුහරි මහා විරු කෙනෙක් වුණාද? ඔච්චර කැක්‌කුමක් දෙමළ මිනිස්‌සු ගැන තියෙනවා නම් යුද්ධය යනකොට මැරෙනකම් උපවාස කරලා විරෝධතා කරන්න තිබුණානේ.... එහෙම නම් මේ අය නායකයෝ කියලා පිළිගන්න තිබ්බා. කනකරත්නම් කියන කෙනා විතරයි යුද්දේදී දෙමළ මිනිස්‌සු වෙනුවෙන් ටිකක් හරි හිටියේa. ටී.එන්.ඒ. එකේ අයට මේවා කතා කරන්න අයිතියක් නැහැ. ආනන්ද සංගරි, වව්නියාවේ ඉඳලා ආමර්ඩ් කාර් එකෙන් හමුදා ආරක්‍ෂාව ඇතුව කොළඹ යනවා, මම ඇස්‌දෙකෙන් දැක්‌කා.
ඒ අයද අපි වෙනුවෙන් කතා කරන්න හදන්නේ. මේවා උතුරේ ජනතාව දන්නවා. ඒවාට ජනතාව මේ ඡන්දයේදී සලකයි.
http://www.divaina.com/2013/07/28/politics01.html
0 comments:
Post a Comment