Pages

Wednesday, July 31, 2013

ඉඩම් පොලිස්‌ බලතල පළාත් සභාවලට දෙන්නේ නැහැ - ජනපති

උතුරු පළාතේ මහ ඇමැති ලෙස කවුරු පත්වුණත් ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවට ලබා නොදෙන නිසා රටට අනතුරක්‌ වීමට ඉඩ නැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (30 දා) අරලියගහ මන්දිරයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පුවත්පත් කතුවරුන්ගේ හමුවේදී සඳහන් කළේය.

දෙමළ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක විග්නේශ්වරන් මහතා උතුරු පළාත් සභාවේ ජයග්‍රහණය ලබාගතහොත් පොලිස්‌ හා ඉඩම් බලතල ලබා ගන්නා බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් පැවසුවේ 'කලබල වෙන්න එපා, රටට අහිතකර දෙයක්‌ මා අතින් සිදුවන්නේ නැහැ තවම පළාත් සභාවලට බලතල ලබා නොදී තිබියදී එවැනි බියක්‌ ඇති කරගත යුතු නැහැ' යනුවෙනි.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවකාශ ලැබීම, රටක්‌ වශයෙන් අප ලද ගෞරවයක්‌ හා අභිමානයක්‌ බවත් එමගින් අපේ රට පිළිබඳව ජගත් ප්‍රජාවට පැහැදිලි හා යහපත් චිත්‍රයක්‌ ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම සමුළුව පිළිබඳව විපක්‍ෂය මෙන්ම මාධ්‍යවලින් ද වැඩිපුරම පළවන්නේ එයින් රටට කිසිදු ප්‍රතිලාභයක්‌ නොලැබෙන බව සඳහන් පුවත් පමණක්‌ බව ද ජනාධිපතිවරයා කීවේය. එය ඉතා ප්‍රතිගාමී අදහසක්‌ බව සඳහන් කළ ජනාධිපතිවරයා මාධ්‍යවලින් විශේෂ ඉල්ලීමක්‌ කරමින් පෙන්වා දුන්නේ එය රජයට නොව මේ මව්බිමට ලැබෙන ගෞරවයක්‌ බවය. තිස්‌ වසරක දීර්ඝ යුද්ධයක නිරත වී එයින් විජයග්‍රහණය ලද රටක්‌ යළි පිබිදෙමින් සිටින ආකාරය ලෝක ජන නායකයන්ට දැකබලා ගැනීමට එමගින් සුවිශේෂ අවස්‌ථාවක්‌ ලද බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එනිසා මාධ්‍යකරුවන් ලෙස ඔබ මේ පිළිබඳව සාධනීය ආකල්පයකින් විමර්ශනශීලීව බැලීම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් වූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, මෙම සමුළුව පිළිබඳ අපට ලැබෙන තොරතුරුත් ප්‍රමාණවත් නෑ. ඒ වගේම අප දන්නා පරිදි මේ සඳහා විශාල මුදලක්‌ වැය කළ යුතු වෙනවා. වාහන, නවාතැන් ආදියට යන මුදල් සම්භාරය අධිකයි.

ජනාධිපතිවරයා - එය වැරදි අදහසක්‌. රටක රාජ්‍ය නායක සමුළුවක්‌ පැවැත්වීම යනු ඒ රටට ලැබෙන ගෞරවයක්‌. 

මෙහිදී රාජ්‍ය නායකයා ඇතුළු තිදෙනෙක්‌ සඳහා පමණයි ශ්‍රී ලංකා රජය විය හියදම් දරන්නේ. අනෙක්‌ නියෝජිතයන්, ඒ වගේම වෙළෙඳ ප්‍රජාව, ආයෝජකයන් වගේ විවිධ පිරිස්‌ ඔවුන්ගේ වියදමින් තමා මේ රටට එන්නේත්, මෙහි රැඳී සිටින්නේත්. ඇත්තටම අපට දැනට තිබෙන සංචාරක හෝටල් ප්‍රමාණයේ වුණත් කාමර මදි.

අනික ඔබ විමසූ වාහන පහසුකම් අප දෙන්නේ ලෝකයේ රාජ්‍ය නායකයන්ට. ඒ අයට අඩු පහසුකම් දීම හරිද? එයින් හෑල්ලු වන්නේ මේ රට. මාධ්‍යවේදීන් විදිහට ඔබටත් වගකීමක්‌ තිබෙනවා මේවා ධනාත්මකව දකින්න. තවම සමහරු හිතන්නේ මේ රට කලබලකාරී ගැටුම් සහිත රටක්‌ කියල. ඉතින් ඒ අය ඇස්‌ දෙකින්ම දකිනවා අපේ රට දැන් කොතනද තියෙන්නේ කියලා.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, වයඹ මහ ඇමැති ගැන ප්‍රශ්නයක්‌ තියෙනවා වගෙයි. හිටපු මහ ඇමැති කියනවා එයා තමා මහ ඇමැති බව. දයාසිරි කියන්නේ එයා මහ ඇමැති බවයි.

ජනාධිපතිවරයා (සිනාසෙමින්) - ඒව සාමාන්‍ය දේවල් නෙ. මේ අය කරන්නෙ දේශපාලනයක්‌. දැන් පහුගිය ප්‍රාදේශීය ඡන්දවලදී ඔක්‌කොම කිව්වෙ තමන් සභාපති බවනෙ. එක්‌කෙනාට නේ ඒ පදවිය හිමිවන්නේ. අපි ඡන්දෙ දිනුවට පස්‌සෙ බලමු. මහ ඇමැති කවුද කියල කියන්න දැන් වේලාසන වැඩියි.

මාධ්‍යවේදියෙක්‌ - මොකක්‌ද ජනාධිපතිතුමනි මහ ඇමැති තෝරන ක්‍රමවේදය. වැඩිම මනාපයට ද දෙන්නෙ.

ජනාධිපති - එහෙමත් පුළුවන්. නැත්නම් පක්‍ෂයට තීරණය කරන්න පුළුවන් සුදුසුකම්, හැකියාව එහෙම බලල කාටද දෙන්නේ කියල.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, එතුමාත් වයඹ ඡන්දදායකයෙක්‌. ඒකයි ඔච්චර හාර හාර අහන්නේ?

ජනාධිපතිවරයා (සිනාසෙමින්) - ඔයා මට හෙමින් සැරේ කියන්නකො ඔයාගෙ මනාපෙ කාටද කියල. එතකොට මං කියන්නම් කවුද මහ ඇමැති කියල.

මාධ්‍යවේදියෙක්‌ - මේ පාර දයා මාස්‌ටර් උතුරෙන් සන්ධානෙන් තරග කරනව කියල කතාවක්‌ තිබුණා. ඒ වුණාට එයාට zනොමිනේෂන්Z හම්බුවෙලා නැහැ නේද?

ජනාධිපතිවරයා (ඩලස්‌ ඇමැතිවරයා පෙන්වමින්) - මේ වැඩේට මං මැදිහත් වුණේ නෑ. හැබැයි දෙන්න තමයි තිබුණෙ. ඒත් දීල නෑ. අපි අහමු ඇමැතිතුමාගෙන්ම.

ඩලස්‌ ඇමැතිවරයා - ඇත්තටම ශ්‍රීලනිපයෙන් විශාල අයෑදුම්කරුවන් සංඛ්‍යාවක්‌ හිටියා. 12 ක්‌ තෝරන්න හැට ගණනක්‌ ඉදිරිපත් වුණා. ඒ අනුව ඉහළම සුදුසු අය අප තේරුවේ. ඒ ප්‍රශ්නය හැමතැනම තිබුණ. හැබැයි දයා මාස්‌ටර් අපට උදව් කරනවා.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, තවත් ආණ්‌ඩුවට එන කට්‌ටිය එහෙම ඉන්නවද?

ජනාධිපතිවරයා - දැනට තාවකාලිකව දොර වහල තියෙන්නෙ. හැබැයි උතුරෙ ටී එන් ඒ එකේ හිටපු අය නම් කීපදෙනෙක්‌ එනව.

මාධ්‍යවේදියෙක්‌ - පළාත් සභාවලට පොලිස්‌ බලතල හා ඉඩම් ලබාදීම පිළිබඳව දැනටමත් විවාදයක්‌ තියෙනවා. උතුරේ ජයග්‍රහණය කළොත් දෙමළ සන්ධානය ඒ බලතල ලබාගන්නා බවට රජයේම සමහරුන් කියා තිබෙනවා.

ජනාධිපතිවරයා - කලබල වෙන්න එපා. ව්‍යවස්‌ථාව අනුව ක්‍රියා කිරීමනෙ කවුරුත් කරන්නෙ. මේ පිළිබඳව මා දරන ස්‌ථාවරයේ කිසිම වෙනසක්‌ නෑ. රටට නරක දෙයක්‌ මා අතින් සිදුවෙන්නේත් නෑ. ඔය බලය අප ලබා දී නැහැනෙ. ඉතින් කොහොමද ඒව කරන්නෙ?

මාධ්‍යවේදියෙක්‌ - කෝප් වාර්තාව පෙන්වා දී තිබෙනවා මේ රටේ ආයතන ගණනාවක්‌ පාඩු පිට පවත්වාගෙන යන බව. රජයක්‌ විදිහට මේවා ගැන මොකද කියන්නේ?

ජනාධිපතිවරයා - ඔය කෝප් කමිටුව එදා ඉඳලම ඔය කරුණු ගැන සොයා බැලුවා. මට මතකයි බර්නාඩ් සොයිසා මහතා ඒ කාලේ විවිධ නිර්දේශ කළා. අදත් අපට නිර්දේශ කළ කරුණු ගැන අප සැලකිලිමත් වෙනවා. ඒවට පිළියම් යොදනවා.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, දැන් ඉන්දියාව අපට තදින් බලපෑම් කරනව නේද? මේ 13 සංශෝධනය ගැන?

ජනාධිපතිවරයා - බලපෑම් කියන දේ කවුද නොකරන්නෙ. දැන් බලන්න ඔය ජාත්‍යන්තරයෙ සමහරුන්ගේ එකම දේ අපට බලපෑම් කරන එකනෙ. අපි ඒ කාටවත් යට වෙන්නෙ නෑ. මා මෙතනදි රටවල නම් කියන්න යන්නෙ නෑ. හැබැයි මාව බලපෑම් කරල නවත්වන්න නං කාටවත් බෑ.

මාධ්‍යවේදියෙක්‌ - තවමත් අපේ උතුර නැගෙනහිර ධීවරයන්ට හරිම ප්‍රශ්න තියෙනවා. රස්‌සාවට යන්න බෑ. ඉන්දීය ධීවරයො ආක්‍රමණය කරනවා. ඒ අය අපේ මුහුදු සීමාවෙනුත් ඇතුළට එනව.

ජනාධිපතිවරයා - මං ධීවර ඇමැති විදිහට ඉන්නකොටත් ඒ ප්‍රශ්නය තිබුණා. හැබැයි කොටි මුහුද අල්ලගෙන සිටිනකොට ඒ තත්ත්වය උග්‍ර වුණා. දැන් ප්‍රශ්නය අඩුයි. අනික මෙහෙමනෙ ධීවරයන් ඔය මුහුqදු සීමාව දන්නව වුණාට මාළු ඒක දන්නෙ නෑනෙ. (සිනාසෙයි) ඉතින් මාළු එලව ගෙන දන්නෙම නැතුව එනවා. අපි රාජ්‍ය තාන්ත්‍රිකව ඒ ගැන නිතරම විමසා ගැටලු ලිහනවා.

මාධ්‍යවේදියෙක්‌ - අතුරුදන් වූ අය පිළිබඳ සෙවීමට කමිටුවක්‌ පත්කළාද? ඒ ගැන ජාත්‍යන්තරවත් අවධානය යොමුවී තිබෙනවා.

ජනාධිපතිවරයා - මා තමා මේ රටේ අතුරුදන් වූ අය ගැන සෙව්ව, ක්‍රියා කළ දේශපාලනඥයා. අසූ ගණන්වල ඒ නිසා මට ප්‍රශ්නත් ආව. දැනුත් එහෙම නෙ. ඔය ජාත්‍යන්තරය හැමදාම මං කරන දේවල් දිහා බලාගෙන ඉන්නවනෙ. ඒගොල්ල මගෙ වැඩ ගැන හරිම උනන්දුයි. නමුත් මා කරන්නේ මගේ රට වෙනුවෙන් වගකීමක්‌ ඉටුකිරීමක්‌. මං ඔය ජාත්‍යන්තරවල රූකඩයක්‌ නෙවෙයි.

මෙම කතු හමුවට කෙහෙළිය රඹුක්‌වැල්ල, ඩලස්‌ අලහප්පෙරුම යන ඇමැතිවරු ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනමාධ්‍ය ලේකම් චරිත හේරත් හා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරු ද එක්‌ව සිටියහ.

දිවයින ප්‍රවෘත්ති අංශය
http://www.divaina.com/2013/07/31/news01.html

0 comments: