Pages

Tuesday, July 23, 2013

අංගම්පොර ශූරයෝ පුරාවස්තු රකින්න යොදති

කොතරම් ජවසම්පන්න සතුරෙකු වුවද නිල අල්ලා තත්ත්පර කීපයක් ඇතුළත අකර්මන්‍ය කළ හැකි අන්දමේ සුවිශේෂ පුහුණුවක් ලැබූ ආරක්‍ෂක නියාමකයන් කණ්ඩායමක් සංස්කෘතික ත්‍රිකෝණයට අයත් සියලුම ඵෙතිහාසික සහ පුරා විද්‍යාත්මක ස්ථානයන්හි ආරක්ෂාව සඳහා අනුයුක්ත කිරීමට රජය තීරණය කර ඇත. එලෙස පත්කෙරෙන ආරක්‍ෂක නියාමකයන් පිරිසට ශ්‍රී ලංකාවේ ඉපැරැණි සටන් කලාවක් වූ අංගම් පොර පිළිබඳව ද න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් දැනටමත් ලබාදී ඇතැයි සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමැති ටී.බී.ඒකනායක මහතා ‘ලක්බිම’ ට පැවසීය. 

ඉබ්බාගමුව අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික පුහුණුව ලැබූ හැට දෙනෙකුගෙන් සමන්විත එම ප්‍රථම කණ්ඩායම ලබන මාසයේ සිට සංස්කෘතිතක ත්‍රිකෝණයට අයත් සීගිරිය, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, සහ යාපහුව යන පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි සේවයට අනුයුක්ත කෙරේ. 

දිවයිනේ පිහිටි ඵෙතිහාසික සහ පුරා විද්‍යාත්මක වැදගත්කමකින් යුත් ස්ථාන බොහොමයක් පසුගිය දිනවල නිදන් සොරුන් විසින් විනාශකර එහි තිබූ මිල කළ නොහැකි අගනා පුරාවස්තු පැහැර ගෙන ගොස් ති‍බීම නිසා ඒවායේ ආරක්ෂාව සඳහා මෙම නව වැඩ පිළිවෙල ඇරඹීමට පියවර ගෙන ඇතැයි කී ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ වයස අවුරුදු 35 ට අඩු හමුදා සහ පොලිස් සේවයේ පළපුරුදුකම ඇති තරුණයන් පිරිසක් ඒ සඳහා තෝරාගත් බවය. 

එම පිරිසට දිවයිනේ මුල්පෙළේ අංගම්කාර ශිල්පීන් ලවා සටන් පුහුණුවක් ලබා දුන් බවත්, එම නියාමක වැඩ පිළිවෙලේ සාර්ථකත්වය මත ඉදිරියේදී තවත් කණ්ඩායමක් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

නිහාල් ජගත්චන්ද්‍ර - 2013 ජූලි 19  03:30 p.m

0 comments: