Pages

Thursday, July 18, 2013

13 වැනි සංශෝධනය නීත්‍යනුකූලව ව්‍යවස්ථාවට එක්වී නැතැයි පෙත්සමක්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 13 වැනි සංශෝධනය නීතියට අනුකූලව ව්‍යවස්ථාවට එක්වී නැති නිසා එය නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශයට පත් කරන්න යැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ඊයේ (17දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මීගමුවේ ප්‍රධාන වීදියේ අංක 349/18 දරන ස්ථානයේ පදිංචි එස්.එම්. පද්මප්‍රියා සිරිවර්ධන මහත්මිය වෙනුවෙන් නීතිඥ සෝමරත්න විතානගේ මහතා ගොනු කළ මෙම පෙත්සමෙන් නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්‍ෂ, පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ඒ.අයි.ඇම්. අතාවුල්ලා මහත්වරු වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත. දහතුන් වැනි සංශෝධනය සම්මත කරගැනීමට පෙර එය ජනමත විචාරණයකින් සම්මත කරගැනීම ශේ‍ර්ෂඨාධිකරණය උපදෙස් දී ඇතත් එවැනි ජනමත විචාරණයක් ඒ සඳහා පැවැත්වීමට පියවර නොගෙන පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත කර තිබෙන බව පෙත්සමෙන් පෙන්වා දෙයි.

දහතුන් වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබූ අවධියේ එවකට පැවැති රජය දෙස්, විදෙස් තර්ජනයන්ට ගොදුරු වී තිබූ බවද දේශීය වශයෙන් ත්‍රස්තවාදී පීඩනයටද විදේශීය වශයෙන් ඉන්දීය රජයේ බලපෑමට යටත් වීමට සිදුවූ බවද පෙත්සමෙන් පෙන්වා දෙයි. ඉන්දීය රජයේ බලපෑම් නිසා ඉන්දු - ලංකා ගිවිසුමට අස්සන් කිරීමටත් රජයට සිදුවූ බව පෙත්සමේ සඳහන් වේ. මේ පිළිබඳ අධිකරණය නිගමනයකට එළැඹීමේදී නීති මඟින් මෙන්ම ආවේණික වූ බලයද යොදන ලෙස පෙත්සම්කාරිය පෙත්සමෙන් ඉල්ලා සිටියි. දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට තාවකාලික හෝ ස්ථිර නියෝගයක් ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත. නීතිඥ ජී. ගුණරත්න මහතා සමඟ නීතිඥ සෑම් සමරසිංහ මහත්වරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටිති. පෙත්සම යළිත් ඔක්තෝබර් 1 වැනි දින යළිත් කැඳවීමට නියම කෙරිණි.

ස්ටැන්ලි සමරසිංහ
http://www.mawbima.lk/86-30087-news-detail.html

0 comments: