Pages

Sunday, September 15, 2013

වසර 17කට පෙර ඇල්ලු ලොරියේ 120ක බෝම්බ අහම්බෙන් හමුවේ











කොළඹ කොටහේන පොලිසියට නුදුරු ඉඩමක අවුරුදු 17 ක්‌ (දාහතක්‌) තිස්‌සේ රඳවා තිබුණු ලොරියක බඳ කොටසේ (ලොරි බොඩියේ) රහසේ ගබඩා කර තිබූ ටී. එන්. ටී වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120 ක්‌ දමා තිබූ යකඩ පෙට්‌ටි 12 ක්‌ පෙරේදා (12 දා) සවස අහම්බෙන් මෙන් හමු වී තිබේ.

යම්කිසි අන්දමකින් මෙම ලොරිය පුපුරා ගියේ නම් ඉතා බරපතළ විනාශයක්‌ සිදුවී ජීවිත හානි රාශියක්‌ වීමට ඉඩ තිබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.


කොළඹ නගරයේ ආර්ථික මර්මස්‌ථාන විනාශ කරමින් දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා ඒ සමයේ කොටි ත්‍රස්‌තවාදීන් විසින් මෙම භයානක පුපුරණ ද්‍රව්‍ය සැඟවූ ලොරිය කොළඹට ගෙනැවිත් තිබේ.

අදින් වසර 17 කට උඩදී අත්අඩංගුවට ගෙන කොටහේන පොලිසිය භාරයේ රඳවා තිබුණු මෙම ලොරියේ ගබඩා කර තිබූ ටී. එන්. ටී. වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 120 පොලිසියට හමුවී ඇත්තේ අධිකරණ නියෝගයක්‌ මත එම ලොරිය වෙන්දේසි කිරීමට ගෙනයැමට සූදානම් වූ අවස්‌ථාවේදීය.

මේ වන විට එම ලොරිය දරුණු ලෙස දිරාපත් වෙමින් තිබී ඇත.

1996 වර්ෂයේදී මෙම ලොරිය අත්අඩංගුවට පත්වීමෙන් පසු යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් දැඩි පරීක්‍ෂාවට භාජන කළ ද පුපුරන ද්‍රව්‍ය සහිත පෙට්‌ටි තොගය සොයා ගැනීමට හැකි වී නැති බව පොලිසිය පවසයි.

මෙම ලොරියේ වෙනත් ස්‌ථානයක සඟවා තිබූ බෝම්බ කීපයක්‌ පමණක්‌ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් එදා සොයාගෙන තිබිණි.

ලොරියේ හිමිකරුවන් අත්අඩංගුවට පත්වීම නිසා එය නඩු භාණ්‌ඩයක්‌ පමණක්‌ ලෙසින් කොටහේන පොලිසිය භාරයේ තිබී ඇත.

මෙම ලොරිය දිරාපත්වෙමින් පැවතීම නිසා එය කොටහේන පොලිසිය භාරයෙන් ඉවත් කර ගැනීමට අධිකරණය වෙත ඉල්ලීමක්‌ කර ඇත්තේ කොටහේන පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති කෝසල නවරත්න මහතා විසිනි.

ලොරිය වෙන්දේසි කිරීම සඳහා අධිකරණයෙන් අවසරය ලැබීමෙන් පසු බැකෝ යන්ත්‍රයක්‌ ගෙනැවිත් එය වෙනත් ලොරියකට පැටවීමට කොටහේන පොලිසිය පෙරේදා (12 දා) සවස කටයුතු කර තිබේ.

ඒ අවස්‌ථාවේ ලොරියේ බඳ කොටසේ රහසිගතව ගබඩා කර තිබූ ටී. එන්. ටී. අඩංගු යකඩ පෙට්‌ටි 12 හමුවී ඇත.

පසුව මේ පිළිබඳව බෝම්බ නිෂ්ක්‍රීය අංශය වෙත දැනුම් දීමට කොටහේන පොලිසිය පියවර ගෙන තිබේ.

අධිබල පුපුරන ද්‍රව්‍යවලට අමතරව බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් සහ වයර් රැසක්‌ ද එම පුපුරන ද්‍රව්‍ය සහිත පෙට්‌ටි සමඟ තිබී සොයාගැනීමට හැකිවී තිබේ.

කොටි ත්‍රස්‌තවාදීන් විසින් කොළඹ නගරයේ වැදගත් ස්‌ථානයකට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා මෙම බෝම්බ සහිත ලොරිය ගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

කොටහේන සාම විහාරය ආසන්නයේ සැකකටයුතු අන්දමින් මෙම ලොරිය නවතා තිබියදී එම විහාරස්‌ථානය මගින් ලබාදුන් තොරතුරක්‌ මත එය කොටහේන පොලිසිය මගින් මීට වසර 17 කට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

කොටහේන පොලිස්‌ ස්‌ථානාධිපති හේමන්ත ඕවිටිගම මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.

හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා
http://www.divaina.com/2013/09/14/news01.html

1 comments:

Anonymous said...

Lanka e news face book balanna