Pages

Sunday, September 15, 2013

යාල්දේවි අද සිට කිලිනොච්චියට...

යාල්දේවි දුම්රිය වසර 23 කට පසුව අද (14 දා) සිට කිලිනොච්චිය බලා ගමන් ආරම්භ කරන අතර කිලිනොච්චිය ප්‍රධාන දුම්රිය ස්‌ථානය ද අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

එම දුම්රිය හෙට (15 දා) සිට කොළඹ කොටුවේ සිට පෙරවරු 5.45 ට දිනපතා ධාවනය ආරම්භ කරයි. දුම්රිය දහවල් 12.35 වන විට කිලිනොච්චියට ළඟා වෙනු ඇත.

"යාල් දේවිය" කිලිනොච්චියේ සිට කොළඹ දක්‌වා පෙරවරු 6.00 ට ගමන් ආරම්භ කරයි. කිලිනොච්චිය සහ කොළඹ අතර තුන්වෙනි පංතියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 350 කි. එහි දෙවන පංතියේ වෙන් කළ ආසනයක ප්‍රවේශ පත්‍රයක්‌ රුපියල් 550 කි. නැරඹුම් මැදිරි ආසනයක්‌ රුපියල් 900 කි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් උතුරු දුම්රිය මාර්ගය වවුනියාවෙන් ඔබ්බට විනාශ කරන ලද අතර ඉන්දීය රජයේ ණය ආධාර යටතේ "ඉර්කෝන්" සමාගම සමග ගිවිසුම් ගතව රජය 2011 වසරේ සිට ඉදිකිරීම් ආරම්භ කළේය.

ඒ අනුව එහි පළමු අදියර යටතේ ඕමන්තේ සිට කිලිනොච්චිය දක්‌වා ද දෙවැනි අදියර ලෙස කිලිනොච්චිය සිට පලෙයි දක්‌වා ද ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා වැය වූ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 185 කි.

යාල්දේවියට සමගාමීව "දැයට කිරුළ" දුම්රිය ද කිලිනොච්චිය දක්‌වා ධාවනය කරයි. උතුරු දුම්රිය මාර්ගය කිලිනොච්චියේ සිට කන්කසන්තුරය දක්‌වා ඉදිකිරීම රජයේ අපේක්‍ෂාවයි.

කිලිනොච්චිය දක්‌වා යාල්දේවිය ධාවනය කෙරෙන අවස්‌ථාවට සහ එම දුම්රිය ස්‌ථානය විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ද ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක්‌ ද සහභාගිවීමට නියමිතය.

අකිත පෙරේරා
http://www.divaina.com/2013/09/14/news06.html

සබැඳි ලිපි -
[
උතුරු දුම්රිය මාර්ගය යාපනය කන්කසන්තුරය දක්වාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9277.html
]

0 comments: