Pages

Wednesday, September 11, 2013

සිරියා ප්‍රහාරයට සැරසෙන ඇමරිකාව නේටෝව හා සියොන්වාදීන්ගේ අශුද්ධ සටනට එරෙහිව ලොව ප්‍රගතිශීලීන් වහා එක්‌විය යුතුයි - ජවිපෙ

ඇමෙරිකා එක්‌සත් ජනපදය සිරියාවට එරෙහිව ප්‍රහාරයක්‌ එල්ල කළහොත් එය මැදපෙරදිග පමණක්‌ නොව මුළුමහත් මානව වර්ගයාට එල්ල කෙරෙන දැවැන්ත ප්‍රහාරයක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ සඳහන් කරයි.

එහෙයින් එක්‌සත් ජනපදය ප්‍රමුඛ නේටෝවේ හා සියොන්වාදීන්ගේ අශුද්ධ සන්ධානයට එරෙහි ලොව පුරා වෙසෙන ප්‍රගතිශීලී සාමය අගයන ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී සංවිධානය ගොඩනඟන ලෙසත් මිනිසාගේ පරම සතුරු වූ අධිරාජ්‍යවාදයට එරෙහි සටන් වදින ලෙසත් ජනතා විමුක්‌ති පෙරමුණ ඉල්ලා සිටී.

එක්‌සත් ජනපදය ප්‍රධාන නේටෝවෙත් සියොන්වාදයේත් අශුද්ධ සන්ධානය සිරියාවටත්, සමස්‌ත අරාබිකරයටත් ප්‍රහාර එල්ල කිරීමට අර අඳිමින් සිටී.

2003 දී එක්‌සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කළේ මහා පරිමාණ ජන ඝාතක අවි සොයමින්ය. නමුත් එවැනි අවි මෙතෙක්‌ ඉරාකයෙන් සොයා ගැනීමට හැකි වූයේ නැත. නමුත් ඉරාකය විනාශ කරනු ලැබ තිබේ. ඉරාක වැසියන් දශ ලක්‍ෂ ගණනින් මරා දමා ඇත. වාර්ගික පදනම මත එරට තුනට බෙදනු ලැබ ඇත. ඉරාකය දැන් මරණයේ දේශයකි. ඒ අතර එරට සතු තෙල් සම්පත බටහිර බලවතුන් විසින් සොරාගනු ලැබේ.

යුදවාදීන් ලිබියාව ආක්‍රමණය කළේ ගඩාµs පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන්නටය. ලිබියාවේ යටිතල පහසුකම් සියල්ල විනාශ කරන ලදී. එහි ජනතාව හිඟමනට ඇද දමනු ලැබ තිබේ. එරට සතු තෙල් සම්පතද අධිරාජ්‍යවාදීන් විසින් කොල්ලකනු ලබමින් තිබේ.

එක්‌සත් ජනපදයේ යුද උපාය මාර්ගය ඉතා පැහැදිලිය. එරට අරාබි ලෝකයේ සිතියම තමන්ට වාසිදායක පරිදි බලහත්කාරයෙන් වෙනස්‌ කිරීමට කටයුතු කරමින් සිටියි. ලිබියාවට වෙනස්‌ ලෙස සිරියාවේදී එක්‌සත් ජනපදය වෙනුවෙන් සිරියානු පාලනයට එරෙහිව ප්‍රහාර එල්ල කරන ත්‍රස්‌තවාදීන්ට මෙතෙක්‌ සිරියානු පාලනය බිම දැමීමට නොහැකිව සිටිති. සිරියාවේ රසායනික අවි ඇතැයිද ඒවා සිරියා ජනාධිපතිවරයා සිය විරුද්ධවාදීන්ට එරෙහිව පාවිච්චි කරනු ඇතැයිද එක්‌සත් ජනපදය හා බටහිර රාජ්‍ය කියයි. ලෝකයේ බොහෝ රටවල් එම අනතුරු ඇඟවීමට කිසිදු තැකීමක්‌ කර නැත. එක්‌සත් ජනපදය තම සිතැඟි පරිදි සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට තීරණය කිරීමටද බොහෝ රටවල විරෝධයට හේතුවී තිබේ. මැදපෙරදිග පිළිබඳ විදේශ ප්‍රතිපත්තියේදී එක්‌සත් ජනපදය මුළුමනින්ම වරද්දාගෙන ඇත. එක්‌සත් ජනපද පුරවැසියෝ පවා දැන් වැඩි වැඩියෙන් ඔබාමාට විරෝධය ප්‍රකාශ කරති. තම තරුණ දූ පුතුන්ගේ මළ සිරුරු රටට ගෙනෙනු දැකීමට ඔවුන් කිසිසේත් කැමති නැත.

ඉරාකයට හා ලිබියාවට එක්‌සත් ජනපදය ප්‍රහාර එල්ල කරද්දී ඒ රටවල්වලට උදව් කිරීමට මිතුරන් සිටියේ නැත. නමුත් සිරියාව තනිවී නැත. මැදපෙරදිග මුළුමනින්ම යටත් කර ගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර එක්‌සත් ජනපදයට හා එහි මිතුරන්ට පහසු නොවනු ඇත. සිරියාවට එරෙහිව එක්‌සත් ජනපදයටත් එහි හොඳම මිතුරන්ටත් ප්‍රහාර එල්ල කරන්නට සිදුවන්නේ ඉරානයේ ලෙබනනයේ හා වෙනත් රටවල සිරියානු මිතුරන්ගේ ප්‍රහාර මැද්දේ බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. එසේම සිරියාවට එරෙහි එක්‌සත් ජනපද ප්‍රහාරය නිසැක ලෙස මැදපෙරදිග පමණක්‌ නොව මුළු මහත් මානව වර්ගයාට දැවැන්ත තර්ජනයක්‌ ඉස්‌මතු කරනු ඇත.

ඒ අනුව ජනතා විමුක්‌ති පෙරමුණ, එක්‌සත් ජනපදය ප්‍රමුඛ නේටෝවේ හා සියොන්වාදීන්ගේ අශුද්ධ සන්ධානයට එරෙහිව ලොව පුරා වෙසෙන ප්‍රගතිශීලී, සාමය අගයන ජනතාවන්ගේ අධිරාජ්‍ය විරෝධී සංවිධානය ගොඩනඟන ලෙසත්, මිනිසාගේ සතුරා වූ අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වදින ලෙසත් ඉල්ලා සිටී.

http://www.divaina.com/2013/09/11/news24.html

0 comments: