Pages

Friday, September 6, 2013

ද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායක

ද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණ දෙසට ඔවුන් ගමන් කරමින් සිටින බව යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05 දා) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩි දුරටත් අදහස්‌ දැක්‌වූ දිසානායක මහතා මෙසේද කීය.

යුද්ධයෙන් පසු ජාතික ප්‍රශ්නය විසඳන්න හොඳ අවස්‌ථාවක්‌ උදාවුණා. නමුත් ආණ්‌ඩුව එම අවස්‌ථාව මගහැරියා. යුද්ධයෙන් අවතැන් වූවන්ගේ ප්‍රශ්න, එම පළාත්වල ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නවලට විසඳුම් හදනවා වෙනුවට ආණ්‌ඩුව එම පළාත්වල අර්ධ මිලිටරි පාලනයක්‌ දිගින් දිගටම ගෙන ගියා. උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය නොවිස» වටපිටාවක්‌ තුළ හම්බන්තොටින්, අනුරාධපුරයෙන් ජනතාව උතුරට ගෙනවිත් පදිංචි කළා. තව තවත් ඒ ප්‍රශ්නය තීව්‍ර කළා. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්න, විසඳන්න කටයුතු කළේ නැහැ. අත්අඩංගුවට පත්වූවන්ගේ ගැටලු විසඳනවා වෙනුවට ආණ්‌ඩුව තව තවත් අත්අඩංගුවට ගැනීම්, පැහැරගැනීම් වර්ධනය කළා. උතුරේ මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට පහර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය තහවුරු කරනවා වෙනුවට ඒවා අහිමි කළා. ආණ්‌ඩුව ක්‍රියා කළේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව අතර ජාතික සමගිය ගොඩනැගීම ජාතික වගකීමක්‌ ලෙස සලකා නොවේ. ආණ්‌ඩුව ජාතික ආරක්‍ෂාව කියන බයිනේත්තුව උඩ නැගලා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස මුළුමනින්ම අවුරමින් කටයුතු කළා. එහි ප්‍රතිඵලය වුණේ කුමක්‌ද? ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරන්න විශාල සන්නද්ධ කණ්‌ඩායමක්‌ නිර්මාණය කරන්න හේතු වුණේ දකුණේ සිංහල ආණ්‌ඩුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක්‌ නොදෙනවාය කියන මතයයි. ඒ මොහොතේ එම මතය සමහර දෙමළ ජනතාව පිළිගත් අතර සමහරු පිළිගත්තේ නැහැ. නමුත් පහුගිය වසර හතර ඇතුළත ආණ්‌ඩුව දෙමළ ජනතාවට ඔප්පු කර පෙන්නුවේ ප්‍රභාකරන්ගේ මතය නිවැරදි බවයි. තමන්ගේ ආණ්‌ඩුව හැදිය යුතුයි කියන දෙමළ ජාතිවාදය දෙසට දෙමළ ජනතාව තල්ලු කළා. එම පරිසරය දෙමළ දේශපාලන ව්‍යාපාරවලට තෝතැන්නක්‌ නිර්මාණය කළා.

උතුරේ ජනතාව විශ්වාස කරන්න පටන් ගත්තේ ආණ්‌ඩුවෙන් වැඩක්‌ කරගන්න බටහිර රාජ්‍යය හා ඉන්දියාව සිටිය යුතු බවයි. ඒ වගේම තමයි පසුගියදා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය එය මැතිවරණ ලියවිල්ලකට එහා ගිය ඔවුන් මෙතෙක්‌ ගමන් කළ බෙදුම්වාද දිශාව තවදුරටත් පෝෂණය කරන ලියවිල්ලක්‌ ලෙස තමයි අපි දකින්නේ ඔවුන් දේශපාලන යෝජනා ඉදිරිපත් කිරීමේදී අවධානය යොමුකර තිබෙන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැඟීමේ අරමුණ දෙසටයි.

ඒ වගේම තමයි උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳ අධිකරණ තීන්දුවක්‌ තිබෙනවා. එයින් මුස්‌ලිම් ජනතාවට අසාධාරණයක්‌ සිදුවෙනවා. සමන්තුරේ, කල්මුණේ, පොතුවිල් ඒකාබද්ධ කිරීම පිළිබඳ මුස්‌ලිම් ජනතාවගේ ඉල්ලීමක්‌ තිබෙනවා. ඒ වගේම කඳුකර දෙමළ ජනතාව මළයනාඩුවක්‌ ඉල්ලනවා. සිංහල, දෙමළ, මුස්‌ලිම්, වතුකර ජනතාවට කෑලි වශයෙන් බෙදීම තව තවත් ගැටුම් ඇවිළවීමට ඉවහල් වනවා. 1947 එවකට මහා භාරතය කෑලිවලට කඩා මුස්‌ලිම් පකිස්‌ථානයක්‌ හැදුවා. අවුරුදු 60 ක්‌ තුළ ගැටුම්වලින් විශාල මිනී කඳු ගොඩගසා තිබෙනවා. ක්‍රිකට්‌ මැච් එකක්‌ ගහන්න බැරි තත්ත්වයට පත්වෙලා. ඉන්දියාවේ හා පකිස්‌ථානයේ ජනතාව විශාල පීඩාවක්‌ භුක්‌ති විඳිමින් ඉන්නවා.

දෙමළ ජාතික සන්ධානය අද වපුරවන මේ ජාතිවාදය ඔවුන්ටම පාලනය කරගන්න බැරි වෙනවා. ඔවුන්ට පාලනය කරගත නොහැකි විවිධ ව්‍යාපාර බිහිවෙන්න පුළුවන්. 

ජනතා විමුක්‌ති පෙරමුණේ අපි ඔවුන්ගේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා. ඒ වගේම මෙරට ජනතාවට අපි කියනවා එම පළාත්වල සිදුවන මෙම ජාතිවාදී ඝෝරණාඩුව ප්‍රතික්‍ෂේප කරන්න කියලා. ඕනෑම පක්‍ෂයකට මැතිවරණ සඳහා තමන් කැමති අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. ආණ්‌ඩුවට වගේම ජනතා විමුක්‌ති පෙරමුණට වගේම දෙමළ ජාතික සන්ධානයටත් ඔවුන් කැමති අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නය තිබෙන්නේ ඉදිරිපත් වෙන පුද්ගලයා ගැන නොවෙයි. දෙමළ ජාතික සන්ධානයටත් ඔවුන් කැමති අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නය තිබෙන්නේ ඉදිරිපත් වන පුද්ගලයා ගැන නොවෙයි. දෙමළ ජාතික සන්ධානය ඉලක්‌ක කරන අරමුණු ගැනයි ප්‍රශ්නය තිබෙන්නේ. ඔවුන්ගේ මතය දෙමළ ජාතිවාදය පෝෂණය කිරීම ගැනයි අපේ විරෝධය තිබෙන්නේ. පුද්ගලයන් පිළිබඳව සංවාදය පහත් දේශපාලන භාවිතාවක්‌ තිබෙන අයගේ ප්‍රකාශයක්‌ පමණයි.

පළාත් සභා තිබ්බත් නැතත් දෙමළ ජාතික සන්ධානය දිනුවත් නැතත් දෙමළ ජාතිවාදයට හිතකර තත්ත්වයක්‌ උදාවෙලා තිබෙනවා. මේ මන්සන්ධියෙන් දකුණට හැරුණත් කෙළින් ගමන් කළත් දෙමළ ජාතිවාදයට හිතකර මාර්ගයක්‌ පෑදිලා තිබෙනවා. ඔවුන් ජයග්‍රහණය කළොත් ඔවුන්ගේ ජාතිවාදී වැඩපිළිවෙළට ජනවරමක්‌ ලැබෙනවා. පරාජය වුණොත් වෙන්නේ සාධාරණ මැතිවරණයකින් නොවේ. ආණ්‌ඩුව දිනුවොත් දිනන්නේ සාධාරණ ඡන්දයකින් නොවේ. එවිට දෙමළ ජාතික සන්ධානයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ 1977, 1985 දී තිබුණ ස්‌ථාවරය කිසිදු වෙනසක්‌ නැහැ.

මේ උද්ගත වී තිබෙන තත්ත්වයට ජනතා විමුක්‌ති පෙරමුණේ අපි විසඳුම් යෝජනාවලියක්‌ ඉදිරිපත් කළා. භාෂා ප්‍රශ්නයට ඔවුන්ගේ සංස්‌කෘතික නිදහස ආරක්‍ෂා කිරීමට, ජාතිකත්ව පීඩනයට විසඳුම් ඉදිරිපත් කොට තිබෙනවා. සමාජ සුබසාධනය, බෙදීම වෙනුවට එක්‌වීම ආදී කරුණු පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා. යුද්ධය අවසන් වූ මොහොතේ අපි ආණ්‌ඩුවට මෙවැනිම යෝජනා 14 ක්‌ ඉදිරිපත් කළා. ඒ ගැන අවධානය යොමු නොකර රාජ්‍යත්වය පිළිබඳ ගී ගයමින්, රාජ්‍යත්වයට ආරූඪ වෙමින් විකාර සහගත ස්‌වරූපයක්‌ ආණ්‌ඩුව පෙන්නුම් කළා.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/09/06/news21.html

සබැඳි ලිපි -
[
ඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: