Pages

Tuesday, July 2, 2013

ත්‍රස්‌තවාදී පෙරමුණුවලට බලය ගියොත්, පළාත් සභා වගන්ති කාලබෝම්බ කර ගනීවි - රතන හිමි

දෙමළ ජාතික සන්ධානය වසර 30 ක්‌ තිස්‌සේ කොටින්ගේ දේශපාලන පෙරමුණු ලෙස ක්‍රියා කළා. දැන් ත්‍රස්‌තවාදය පරාජය කරලා තියන වෙලාවක ඒ ත්‍රස්‌තවාදීන්ගේ දේශපාලන පෙරමුණුවලට බලය ලැබුණහොත් මේ පළාත් සභා වගන්ති ඔවුන් දේශපාලන කාල බෝම්බ ලෙස භාවිත කරන්න පුළුවනි. එය ප්‍රභාකරන්ගේ තුවක්‌කු බෝම්බ ප්‍රහාරවලට වඩා භයානක විය හැකියි.

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ඔබ වහන්සේලාගේ ස්‌ථාවරය පැහැදිලි කරන්න?

අපේ පක්‍ෂයේ පැහැදිලි ස්‌ථාවරය තමයි 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි යන ස්‌ථාවරය. ඇත්තෙන්ම මේක අහෝසි කරලා රටේ සමස්‌ත ජනතාවගේම සිංහල, දෙමළ, මුස්‌ලිම් සැමගේම අයිතිවාසිකම් ආරක්‌ෂා වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසිය යුතුයි කියලයි අපේ ස්‌ථාවරය. දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා ඇති කර ඒ හරහා පරිපාලනය විමධ්‍යගත කිරීම හොඳ විසඳුමකි. මේ පළාත් සභාවලට කිසිම ප්‍රායෝගික පදනමක්‌ නැහැ. එම නිසා තමයි එය සුදු අලියෙක්‌ වෙලා තියෙන්නේ. 

ඇත්තෙන්ම 13 වැනි සංශෝධනය පිළිබඳව අද ආණ්‌ඩුවේ පැහැදිලි බෙදීමක්‌ තියෙනවා නේද?

කොමියුනිස්‌ට්‌ සමසමාජ යන පක්‌ෂ එදා සිට 13 වැනි සංශෝධනයට පක්‌ෂව සිටියා. අපි ඒ පක්‌ෂ සමගත් පුළුල් සාකච්ඡාවකට සූදානම්.. රාජිත සේනාරත්න ඇමැතිවරයා ශ්‍රිලනිප සාමාජිකයෙක්‌. රාජිත ඇමැතිවරයාගේ ස්‌ථාවරයයි, ශ්‍රිලනිපයේ ස්‌ථාවරයයි එකද යන්න අප දන්නේ නැහැ. මොකද මේ ගැන ශ්‍රිලනිපය අදහස්‌ දක්‌වා නැහැ. ඇත්තෙන්ම අප කියන්නේ 13 වැනි සංශෝධනය මුළුමනින්ම අහෝසි කරන්න බැරි වුණත් ඉක්‌මනින්ම මේ වගන්තිවල තියන නරක අංග ඉවත් කළ යුතුයි කියලයි. විශේෂයෙන්ම ඉඩම්, පොලිස්‌ බලතල, පළාතකින් පළාතක්‌ එක්‌වීමේ නිර්දේශය, එමෙන්ම පළාත් සභාවක්‌ විසුරුවා හැරීමේ කොන්දේසි වහා සංශෝධනය කළ යුතු බවයි අප කියන්නේ.

13 වැනි සංශෝධනය අහෝසි නොකළ යුතු බවට ඉන්දීය රජය දැඩි ලෙස බලපෑම් කිරීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්‌ වෙලා නේද?

ඇත්තෙන්ම මේ රජයේ සමහර කණ්‌ඩායම්වලට ඉන්දීය ඔත්තු සේවා මගින් අරමුදල් ලබාදීලා තියනවා පළාත් සභා වෙනුවෙන් කතා කරන්න කියලා. ඔවුන් තමයි මේ මහා විවාද ඇති කරන්නෙ. අපි කියන්නේ මේ ගැන රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යාංශය වහාම පරීක්‌ෂණයක්‌ කළ යුතු බවයි. 

13 වැනි සංශෝධනය අහෝසි කළහොත් නැවතත් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රටට එරෙහිව තවත් යෝජනා සම්මත වීමට ඉඩ තිබෙනවා නේද?

අපිට මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න ගේන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයයි. පළාත් සභාව පිළිබඳව ප්‍රශ්න කරන්නේ ඉන්දියාවයි. මානව හිමිකම් ප්‍රශ්නයට අපි වෙනමම පිළිතුරු දිය යුතුයි. එයට පළාත් සභාව අදාළ වෙන්නේ නැහැ. ඉන්දියාව දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන නිසා තමයි මේ ප්‍රශ්නය උග්‍ර වන්නේ. ඉන්දියාවත්, බටහිරත් එකම න්‍යාය පත්‍රයකට වැඩ කරන බව පෙනෙනවා. 

කොහොම නමුත් සැප්තැම්බර්Êමාසයේ දී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රකාශ වෙනවා. 

එය බරපතළ ගැටලුවක්‌. ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනවා. 

උතුරු පළාත් සභාවේ බලය දෙමළ සන්ධානය විසින් දිනා ගතහොත් ඔවුන් එදා වර්ධරාජා පෙරුමාල් ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කරයි යන සැකය සමාජය තුළ පවතිනවා. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

ඇත්තෙන්ම මෙය බරපතළ ප්‍රශ්නයක්‌. දෙමළ ජාතික සන්ධානය වසර 30 ක්‌ තිස්‌සේ කොටින්ගේ දේශපාලන පෙරමුණු ලෙස ක්‍රියා කළා. දැන් ත්‍රස්‌තවාදය පරාජය කරලා තියන වෙලාවක ඒ ත්‍රස්‌තවාදීන්ගේ දේශපාලන පෙරමුණුවලට බලය ලැබුණහොත් මේ පළාත් සභා වගන්ති ඔවුන් දේශපාලන කාල බෝම්බ ලෙස භාවිත කරන්න පුළුවනි. එය ප්‍රභාකරන්ගේ තුවක්‌කු බෝම්බ ප්‍රහාරවලට වඩා භයානක විය හැකියි.

සාකච්ඡා කළේ -  චතුර පමුණුව
http://www.divaina.com/2013/07/02/feature02.html

0 comments: