Pages

Sunday, August 18, 2013

පිටි කිරිත් එපා - දියර කිරිත් එපා

කිරිපිටි පිළිබඳ සංවාදයේ ප්‍රධාන මතධාරී කණ්‌ඩායම් තුනක්‌ සිටින බව පෙනී යයි. කිරිපිටි බීම ප්‍රශ්නයක්‌ නොවන බව පවසන කිරිපිටි සමාගම් ප්‍රධාන වූ පිරිස, කිරිපිටි කිසිසේත්ම සුදුසු නොවන බව පවසන නමුත් නැවුම් එළකිරි පානය කළ යුතුය යන්න පවසන පිරිස, කිසිම සත්ත්ව කිරි වර්ගයක්‌ මිනිසාට වැදගත් නැත. එසේම කිරි පානය කිරීම මිනිසාගේ සෞඛ්‍යයට හානියක්‌ බව පෙන්වා දෙන පිරිස, ලෙස මෙම කාණ්‌ඩ තුන හඳුනාගත හැකිය. කිරිපිටි ප්‍රශ්නය මතුවන සෑම අවස්‌ථාවකදීම සංවාදය පැවැත්වෙන්නේ මෙම කණ්‌ඩායම් තුන අතරය.

ඊයේ පෙරේදා ඇතිවුණු කතාව 

පිටිකිරි සම්බන්ධයෙන් මෑතකදී මතුවූ තත්ත්වයේදී මෙම කණ්‌ඩායම් තුනෙන් කිරිපිටි බීම මිනිසාට වැදගත් ය යන මතධාරීන් විශාල පරාජයක්‌ හිමිකර ගැනීමට සමත් වූහ. පිටිකිරිවල අන්තර්ගතයේ තිබෙන විෂ අවදානමක්‌ සහිත ද්‍රව්‍ය හේතුවෙන් වරින් වර කිරිපිටි සම්බන්ධයෙන් යම් සැක සහිත බවක්‌ සමාජයේ වනිත වී තිබිණි. ශ්‍රී ලංකාවට මේ සැක සංකාව මුලින්ම මතුවන්නේ අනූව දශකයේදීය. විකිරණශීලීත්වය සහිත කිරිපිටි පිළිබඳව හෙළිදරව්වක්‌ එදා ජනමාධ්‍ය විසින් කිරීමත් සමග එක්‌ කිරිපිටි වෙළෙඳ නාමයක්‌ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙන් කොන් වෙන්නට පටන් ගත්තේය.

ඉන් පසුව යළිත් විෂ කතාවක්‌ කිරිපිටි සමග මිශ්‍ර වී කරළියට එන්නේ මෙලමයින් සමගය.

යළිත් කිරිපිටිවල විෂ ගැන කතාවක්‌ පැමිණෙන්නේ පසුගිය සති දෙක තුළය. ඩයිසයනඩයමයිට්‌ හෙවත් ඩීසීඩී කෘෂි රසායන විෂ, කිරිපිටිවලට කලවම් වී ඇති බව මෙම කතාබහට හේතු විය. මාස කිහිපයක සිටම ඩී. සී. ඩී. ප්‍රශ්නය ලෝකය පුරාම කතාවට ලක්‌ වී තිබිණි. නවසීලන්තයේ හරිත පක්‌ෂය විසින් කරනු ලබන හෙළිදරව්වක්‌ හේතුවෙන් ලෝකය පුරාම ඩී. සී. ඩී. සැකය වැඩෙන්නට පටන් ගත්තේය. තෘණ බිමේදී ගව මුත්‍රා මගින් හරිතාගාර වායු විමෝචනය වීම පාලනය කිරීම සඳහා ඩී. සී. ඩී. රසායනය ඉසීමෙන් ඒවා කිරි දෙනුන්ගේ ආහාරයට එක්‌වී කිරිවලට එක්‌වීම මෙම තත්ත්වයට හේතු වූ බව කියමිනි. නවසීලන්තයේ මූලික කර්මාන්ත අමාත්‍යංශය ද ඩී.සී.ඩී. වරද පිළිගෙන තිබෙන අතර ඒ හේතුවෙන් එරට පොහොර සමාගම් ඩී.සී.ඩී. අඩංගු පොහොර වර්ග එරට වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු යෙදුවේය.

ශ්‍රී ලංකාවේ මේ හාහූව පැතිරෙන්නේ කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් මෙරට වෙළෙඳපොළේ ජනප්‍රිය ආනයනික කිරිපිටි වර්ග හතරක්‌ හා දේශීය කිරිපිටි සාම්පල දෙකක්‌ ඇසුරෙන් කරන ලද පර්යේෂණයන්හි ප්‍රතිඵලයක්‌ ලෙසය.

ඩී.සී.ඩී. රසායනිකය කිරිවලට එකතුවීම පොහොර මගින් සිදුවන බවට කතාවක්‌ තිබුණ ද එයට වඩා වෙනස්‌ මතයක්‌ මේ සම්බන්ධයෙන් මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කර තිබිණි. "දිවයින" විසින් කරන ලද විමසීමකදී ඒ ගැන ඔහු පැවසුවේ මෙසේය. "ඩී. සී. ඩී. රසායනිකය කිරිපිටිවලට ඇතුළත් වෙලා තියෙන්නේ නැවුම් කිරිවල මේදය, ප්‍රොaටීන ඇතුළු පෝෂ්‍ය කොටස්‌ ඉවත් කරගෙන ඩී. සී. ඩී. කිරිපිටිවලට එකතු කිරීම නිසයි. එසේ නොමැතිව ගවයන්ට ලබාදෙන තණකොළවලට යොදන රසායනිකයක්‌ නව කිරිවලට එකතු වීමෙන්, මේ ඩී. සී. ඩී. සෑදෙන බවට ඇතැම් පිරිස්‌ නඟන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයයි."

ඩී. සී. ඩී. කිරිපිටිවල තිබෙන බවට සාධනය වී ඇති අතරේම එය කිරිපිටිවලට එක්‌වන ආකාරය පිළිබඳව මතවාද දෙකක්‌ ද ඇති වී තිබිණි.

බොට්‍යqලිනම් හා වේ ප්‍රොaටීන කරළියට පිවිසෙයි

චීනය හා රුසියාව විසින් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන්න තීරණය කරන්නේ, මේ අතරේදීය. ඒ සඳහා බලපාන්නේ, ඩී. සී. ඩී. සාධකය නොව බොට්‍යqලිනම් සාධකයය. බොට්‍යqලිනම් බැක්‌ටීරියාව නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල අන්තර්ගතව තිබීම මීට හේතුව විය. "වේ ප්‍රොaටීන" පිළිබඳව කතාව ඇතිවන්නේ එතැනදීය. ක්‍රීඩකයන්ගේ මාංශ පේශි වර්ධනය සඳහා ප්‍රචලිත වේ ප්‍රොaටින, මගින් සිරුරේ වර්ධක හෝමෝන ස්‍රාවය වේගවත් කරනු ලබයි. ශක්‌තිජනක පාන වර්ග, ක්‍රීඩකයන් සඳහා නිපදවනු ලබනවා යෑයි කියන අතිරේක කිරිපිටි වර්ගවල මෙම වේ ප්‍රොaටීන අඩංගුව පවතී. ක්‌ලොස්‌ට්‍රීඩියම් බොට්‍යqලිනම් බැක්‌ටීරියාව සැගව තිබුණේ මෙම වේ ප්‍රොaටීන ගොනුවෙහිය. මේ නිසා ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් වේ ප්‍රොaටීන අඩංගු කිරි වර්ග වෙළෙඳපොළට නිකුත් නොකිරීමටත්, වෙළෙඳපොළ තිබෙන වේ ප්‍රොaටීන අඩංගු කිරිපිටි වර්ග ඉවත් කිරීමට නියෝග ලබා දුන්නේය. අමතර වශයෙන්, හානි කර බවට තහවුරු වූ නවසීලන්ත කිරිපිටි සඳහා දැන්වීම් පල කිරීම නවතා දැමීමට ද නියෝග දෙන ලදී.

බොට්‍යqලිනම් බැක්‌ටීරියා මගින් අංශභාගය, ස්‌නායු ආබාධ වැනි භයානක ලෙඩ රෝග ගණනාවක්‌ ඇති විය හැකි යෑයි වෛද්‍ය මතයයි. 

ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය 2011 වසරේ ශ්‍රීලංකාවේ ආනයන වලින් 1.7% ක්‌ වෙන් වී ඇත්තේ කිරි හා කිරි ආශ්‍රිත නිපැයුම් සඳහාය. එහි වටිනාකම රුපියල් මිලියන 38182 ක්‌ විය. එම වසරේදී ශ්‍රී ලංකාව විසින් නිපදවන ලද කිරි ප්‍රමාණය, ලීටර් මිලියන 253.3 ක්‌ විය. එයින් ලීටර් මිලියන 198.4 ක්‌ එළකිරි වූ අතර ඉතිරිය මී කිරිය. 2011 වසරේදී කිරිපිටි ආනයනය සඳහා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 36 ක්‌ හෙවත් රුපියල් මිලියන 36000 ක්‌ වැය කර තිබේ. එම ගණන වියදම් කරමින් කිරිපිටි මෙට්‌්‍රක්‌ ටොන් 84000 ක්‌ ශ්‍රී ලංකාව විසින් ආනයනය කර තිබේ.

මෙතරම් මුදලක්‌ ගෙවමින් එතෙරින් පෙන්වන වස පානය කිරිම ජාතියකට ගැලපේද යන ප්‍රශ්නය මෙතැනදී මතුව තිබේ. දැනට මතුවී ඇති තත්ත්වය අනුව කිරිපිටි බීම අත්හැරීම සඳහා සමාජයට ප්‍රබල පිටුබලයක්‌ ලැබී තිබෙන .අතර, ඒ වෙනුවට ආදේශකය වී තිබෙන්නේ දියර කිරි පානය කිරීමය. වත්මන් රජය විසින් ද දිරිගන්වමින් තිබෙන්නේ මෙම ආකල්පයයි.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් දෛනික ඒකපුද්ගල පරිභෝජනය සඳහා නිර්දේශ කර ඇති කිරි ප්‍රමාණය මිලි ලීටර් 100 කි. සාමාන්‍ය කෝප්පය පරිමාව මිලි ලීටර් 130 සිට 150 ක්‌ සමාන වේ. ඒ අනුව ගණන් හැදුවොත් දෛණික ඒකපුද්ගල කිරි පරිභෝජනයේ අගය මීට වඩා වැඩිවීමේ සම්භාවිතාවයක්‌ තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිර්දේශය අනුව දෛනික පුද්ගල කිරි පරිභෝජනය අනුව ගණන් හැදූ විට ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය කිරි ලීටර් ප්‍රමාණය වසරකට මිලියන 732 කි. 2011 සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව වසරකට කිරි ලීටර් මිලියන 253.3 ක්‌ නිපදවනු ලැබේ. කිරිපිටි වෙනුවට දියර කිරි පරිභෝජනය කරනවා නම් ඉතිරි ලීටර් මිලියන 500 ක පමණ ප්‍රමාණය වහ වහා ශ්‍රී ලංකාව නිපදවා ගත යුතුය.

දියර කිරි ප්‍රබෝධයක්‌ අපේක්‍ෂා කරන පිරිස අතින් ද අවසානයේ සිදුවිය හැක්‌කේ කිරිපිටි සේම අහිතකර තත්ත්වයක්‌ බව පෙනී යන්නේ මෙතැනදීය.

ළදරු වියෙන් පසුව කිරි පානය කරන හා අනුන්ගේ කිරි පානය කරන එකම සත්ත්වයා වන්නේ මිනිසාය. මිනිස්‌ ආශ්‍රය නිසා කිරි ලැබෙන නිසාම ගෘහාශ්‍රිත බල්ලන්, පූසන් වැනි සතුන්ද පසුව මේ ගණයට එකතු වී තිබේ. ළදරු කාලයේ මව්කිරි පානයෙන් පසුව, ඉතිරි ජීවිත කාලය පුරාවටම අනුන්ගේ ගත්a කිරි පානය කිරීම හා එම කිරි ආශ්‍රිත නිපැයුම් පරිභෝජනයට මේ වනවිට මිනිසා පෙළැඹී සිටියි. මෙයින් ප්‍රධාන වන්නේ එළකිරිය. එළකිරි සම්බන්ධයෙන් වන විවාදශීලී කතාබහක්‌ පසුගිය කාලයේ සිට ලෝකය පුරාම ඇතිවෙමින් තිබේ. අනුන්ගේ කිරි පානයත්, ළදරු වියෙන් පසු කිරි පානයත් මිනිසාට කිසිසේත්ම අවශ්‍ය නැත යන තර්කයට එම විවාදයේදී වැදගත්භාවයක්‌ හිමි විය. අවි ආයුධ, ඖෂධ මෙන්ම තවත් මාµsයා ජාවාරමක්‌ ලෙස මෙහිදී කිරි වෙළෙ¹මද සමහර පාර්ශ්ව විසින් නම් කරනු ලැබීය.

සිංහල සංස්‌කෘතිය තුළ අනුන්ගේ කිරි සඳහා ඉඩක්‌ නොවූ තරම් බව පෙනී යයි. කමතේ කර්තව්‍යයන් සඳහා අත්‍යවශ්‍ය වූ මී ගවයාගෙන් ලැබුණු අතුරු ඵලයක්‌ ලෙස මීකිරි සිංහලයන් විසින් ලබා ගන්නා ලදී. දේශීය වෛද්‍ය ක්‍රමය අනුව මීකිරි ඌෂ්ණාධික පානයක්‌ විය. නමුත් එය මුදවීමෙන් පසුව සිසිල් ආහාරයක්‌ විය. සිංහලයන්ගේ ආහාර රටාවේ අනුන්ගේ කිරි සඳහා තිබූ එකම තැන වූයේ මීකිරි කෑමය. වෛදික හා හින්දු සංස්‌කෘතීන් අනුව ගවයා පූජනීය සත්ත්වයකු වූ අතර ගවයාගෙන් ලැබෙන කිරි සඳහා ආහාර රටාවේ ප්‍රධාන තැනක්‌ හිමි වී තිබිණි.

භාරතයේ වැසියෝ සෞභාග්‍ය සංකේතවත් කරන ලද්දේ එළකිරි ඉතිර වීම මගිනි. ඔවුන් කිරිබත් පිසුවේ එළකිරි එක්‌කිරීමෙනි. නමුත් සිංහලයන් කිරි ඉතිරවීමට පාවිච්චි කරන ලද්දේ පොල්කිරිය. කිරි බත පිසින ලද්දේ ද පොල් කිරි මිශ්‍ර්‍ර කිරීමෙනි. කුඹුරට අවශ්‍ය වූ මී හරකාගෙන් ලැබුණු අතුරුඵලයක්‌ ලෙස මීකිරි පරිභෝජනය කළා විනා, සිංහලයන් විසින් කිරි ලබා ගැනීම සඳහා සතුන් ඇති නොකරන ලදී.

තවමත් දකුණු ආසියාවේ අඩුම කිරි පරිභෝජනය කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ අතීත සිංහලයාගේ කිරි භාවිතයේ තිබූ මෙම තත්ත්වය නිසා යෑයි සිතිය හැකිය.

නැවුම් කිරෙන් රට ස්‌වයං පෝෂිත කිරීම බැලූ බැල්මට පහසු කාර්යයක්‌සේ පෙනෙයි. ඒ පිළිබඳව "දිවයින" කළ විමසීමකදී ආරියශීල වික්‍රමනායක මහතා පවසා තිබුණේ "අපේ රටේ හරක්‌ ලක්‍ෂ 12 ක්‌ ඉන්නවා. අපි ප්‍රයෝජනයට ගන්නේ ලක්‍ෂ දෙකහමාරකගේ කිරියි. අපි බොරුවට පිටරටවලින් හරක්‌ ගෙන්වන්න ඕනේ නෑ, අපේ ඉන්න ගවයන්ගෙන් පුළුවන් රටට අවශ්‍ය කිරි ප්‍රමාණය නිපදවා ගන්න. යාපනයේ ගවයෝ 75000 ක්‌ ඉන්නවා. අනුරාධපුරය, පොළොන්නරුව, ගත්තාම කොච්චර ගවයෝ ඉන්නවාද? ඇයි ඒ ප්‍රදේශවලට කිරිපිටි යවන්නේ..." යනුවෙනි.

සිදුනොවන්නේද මේ කළමනාකරණයමය. මිල්කෝ ආයතනය පරිපාලනමය අතින් වැටී තිබෙන තැන හා එහි ප්‍රධානීන්ගේ දූෂණ අක්‍රමිකතා දෙස බැලූ විට පාරේ යන හරක්‌ කළමනාකරණය කිරීම පහසු කටයුත්තක්‌ නොවන බව පෙනේ. ඒ සමග ඊළඟට ඒ කටයුත්තට පිවිසෙන්නේ ආයෝජකයාය. නවසීලන්තයෙන් කිරිපිටි ගෙන්වන සමාගම් zකප්Z ගසා ඇත්තේ එළකිරි නිපදවීමටය. සමහරවිට නැවුම් එළකිරි රටට සැපයීමේ කොන්ත්‍රාත්තුව අතට ගෙන ඊළඟ ගුවන් යානයෙන් පැමිණෙන්ට ඉඩ ඇත්තේ පිටිකිරි සමාගමේම අලුත් පිරිසක්‌ වීමට ඉඩ තිබේ. එවැනි මහා පරිමාණ ගොවි බිම් යනු යළිත් ඩීසීඩී කෘෂිරසායන ඉසින තැන් බවට පත් විය හැකිය. පළපුරුදු එවැනි ආයෝජකයකු සමග දේශීය සමාගම්වලට දැන් තිබෙන තත්ත්වයෙන් තරග කළ හැකිද යන ප්‍රශ්නය ද තිබේ. අනෙක්‌ අතට එතෙර සමාගම් දැනටමත් දියර කිරි මිලදී ගෙන කටයුතු රාශියක්‌ කරමින් සිටියි. යෝගට්‌ නිපදවීම, බෝතල් කිරි නිපදවීම ආදියට ඔවුන් සුළු ලෙස අතගසා තිබේ. පිටිකිරි මුළුමනින්ම තහනම් වුවහොත් ඔවුන්ගේ ඊළඟ අදියරද ශ්‍රී ලංකා වෙළෙඳපළේ දියර කිරි ප්‍රමුඛයා වීම විය හැකිය.

ඒ දියර කිරෙන් ස්‌වයංපෝෂිත වීමක්‌ සිදුවුවහොත්ය. සැලසුම් සහගතව කාලාන්තරයක්‌ එසේ කළ යුතු දෙයකි.

කිරිපිටි සංවාදයේ එක්‌ කණ්‌ඩායමක්‌ වන "සත්ත්ව කිරි මිනිසාට හානිකරය" යන පිරිස පවසන අන්දමට ප්‍රශ්නය පිටිකිරි නොවෙයි. එළකිරි වීමය. ඒ ගැන විශාල දැනුවත් කිරීමක්‌ ලෝකය පුරාම මේ වන විට සිදුවෙමින් පවතී. කිරි බීම නිසාම වැළඳෙන රෝග ගණනාවක්‌ පිළිබඳව, වෛද්‍යවරු මේ වන විට කරුණු දක්‌වා තිබේ. එසේම කිරි යනු මිනිසාට අත්‍යවශ්‍ය ආහාරයක්‌ නොවන බව පොදුවේ වෛද්‍ය ලෝකයේම පිළිගැනීමය.

කිරිපිටි සංවාදයේ සැබෑවටම තිබෙන්නේ මේ දෙපිල බව පෙනේ. නැවුම් කිරි පානය කළ යුතු යෑයි කීවත් එය එන තෙක්‌ කුමක්‌ කරමුද? කිරි හෝ වෙනත් ආහාරයක හෝ රසයට ඇබ්බැහි වූ පසු එයින් සමාජයක්‌ ඈත් කිරීම පහසු නැත. නැවුම් කිරි හරහා කිරි zරසයටZ ජාතිය යළිත් හුරු කළහොත් මුළුමනින්ම දියර කිරි නැති තත්ත්වයක්‌ යටතේ නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව වෙනුවට වෙනත් රටක පිටිකිරි හෝ දියර කිරි රටට පැමිණිය හැකිය. ප්‍රශ්නය සේම විසඳුම අවසානයේ කැරකෙන්නේ එකම තැනටය.

හරක්‌ රටින් ගෙන්වීම, උන්ට ඒ සඳහා අවශ්‍ය වර්ගයේ තණ කොළ වවන්නට පොහොර රටින් ගෙන්වීම... ආදිය ගැන බැලූවිට අනවශ්‍ය කිරි පානයක්‌ මගින් යළිත් සිදුවන්නේ රටේ සල්ලි එතෙර යාමය. අවසානයේදී සිදුවන්නේ පිටිකිරි වෙනුවට නැවුම් කිරි බී ලෙඩ වුණ හා ණය වුණ ජාතියක්‌ බවට පත්වීමටය.

මනෝඡ් අබයදීර
http://www.divaina.com/2013/08/18/feature15.html

0 comments: