Pages

Saturday, August 24, 2013

ෆොන්ටෙරා වසා දමා ගෙදර යැමට තීරණය කරයි

සමාගමේ දේපළ සහ කාර්ය මණ්‌ඩලයේ ආරක්‍ෂාව පතා ෆොන්ටෙරා වසා දමා ගෙදර යැමට තීරණය කරයි

එහි සේවය කරන ශ්‍රී ලාංකික 750ට අසාධාරණයක්‌ කරන්නේ නෑ - අධ්‍යක්‍ෂ

ෆොන්ටෙරා ශ්‍රී ලංකා සමාගම වසාදමා සිය රටට යැමට එම සමාගමේ නවසීලන්ත බලධාරීහු ඊයේ (23 දා) තීරණය කළහ.

ඒ අනුව ඊයේ සිට ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගම වසාදැමුණු අතර ඒ පිළිබඳ සේවකයන් දැනුවත් කිරීමටද අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජිකයෝ කටයුතු කළහ.

සමාගම වසා නොදමන ලෙසට ශ්‍රී ලාංකික සේවකයන් නවසීලන්ත නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියද පවතින තත්ත්වය හමුවේ තමන්ට මෙරට ව්‍යාපාරික කටයුතු කිරීම අපහසු බව සේවකයන්ට පැවසූවේ යෑයි ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් හා ආයතනික පොදු කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ රොෂාන් කුලසූරිය මහතා "දිවයින" ට පැවසුවේය.

සමාගම වසා දැමීමට මූලික හේතුව එහි දේපළ සහ කාර්ය මණ්‌ඩලයේ ආරක්‌ෂාව තහවුරු කිරීම යෑයිද රොෂාන් කුලසූරිය මහතා කීවේය.

කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී ආණ්‌ඩුවට සම්බන්ධ එක්‌තරා දේශපාලන පක්‍ෂයක්‌ පෙරේදා (22 දා) උද්ඝෝෂණ පැවැත්වූ බවද මෙවැනි උද්ඝෝෂණ දිගින් දිගට පැවතියහොත් කර්මාන්ත ශාලාවේ දේපළ සහ කාර්ය මණ්‌ඩලයේ ආරක්‌ෂාවට බරපතළ තර්ජනයක්‌ වනු ඇතැයිද හෙතෙම කීවේය. 

ආණ්‌ඩුවට සම්බන්ධ පාර්ශ්ව විසින් මෙවැනි උද්ඝෝෂණ සංවිධානය කිරීම නිසා වඩාත් භයානක තත්ත්වයක්‌ උද්ගත වන බවද කී ඔහු යම් හෙයකින් උද්ඝෝෂකයන් විසින් කර්මාන්ත ශාලාවේ ඇති ඇමෝනියා රසායනිකය අඩංගු යන්ත්‍රයට හානියක්‌ සිදු කළොත් දැඩි අනතුරුදායක තත්aත්වයක්‌ ඇතිවනු ඇතැයිද පැවසුවේය. 

මෙරට වෙළෙඳපොළේ කිරිපිටි සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳ කරුණු සෙවීම සඳහා පැමිණ සිටින නවසීලන්ත නියෝජිත කණ්‌ඩායම්ද මෙම උද්ඝෝෂණ පිළිබඳ කළකිරී දිවයිනෙන් බැහැරව යැමට තීරණය කළ බව කී රොෂාන් කුලසූරිය මහතා ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගම වසා දැමීමෙන් බොහෝ පිරිසකගේ ආර්ථික තත්ත්වය කඩාවැටෙන බවද පැවසීය. 

මෙරට කිරි ගොවීන් හාරදහසකගෙන් පමණ ෆොන්ටේරා ශ්‍රී ලංකා සමාගම දිනකට කිරි ලීටර් තිස්‌පන්දහසක්‌ පමණ මිලදී ගන්නා බවද ශ්‍රී ලාංකිකයන් හත්සිය පනස්‌දෙනකු සමාගමේ සේවය කරන බවද කුලසූරිය මහතා ප්‍රකාශ කළේය. 

සමාගමේ සේවකයන්ගෙන් සියයට අනූනවයක රැකියා අවදානම් තත්ත්වයක පවතින නමුත් කිසිදු සේවකයකුට අසාධාරණයක්‌ සිදු නොකරන බවද හෙතෙම කීවේය. 

සමාගම වසා දැමීම නිසා වක්‍රාකාරව විශාල පිරිසකගේ ජීවන වෘත්තියට බලපෑම් සිදුවනු ඇතැයිද පැවසුවේය.

අජිත් අලහකෝන් - ප්‍රභාත් විතාන
http://www.divaina.com/2013/08/24/news01.html

0 comments: