Pages

Monday, August 19, 2013

උගුලෙන් මිදීම සඳහා නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය සමාජයේ විවිධ අංශවලින් මේ වන විට මතු වෙමින් පවතී. ඇතැම් දේශපාලන පක්‍ෂ පෞද්ගලික මට්‌ටමින් නව ව්‍යවස්‌ථා සකස්‌ කරමින් සිටින අතර තවත් කණ්‌ඩායම් හා සංවිධාන විවිධ ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණවෙමින් සිටී. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වූ කලී රටක ප්‍රධාන නීතිය ලෙස පිළිගැනේ. ඒ මගින් රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කෙරේ. රාජ්‍යයේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂාවේ. එහෙයින් රටේ සියලු පුරවැසියන් රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පක්‍ෂපාතීවේ. එයට ගරු කරන අතරම එය ආරක්‍ෂා කිරීමට සියලු දෙනාම බැඳී සිටී.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ඉතිහාසය අනුව 1832 දි කෝල් බෲක්‌ කැමරන් විසින් පළමුවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කරන ලදී. ඉන්පසු 1931 දී ඩොනමෝර් ව්‍යවස්‌ථාවද නැවත සෝල්බරි ව්‍යවස්‌ථාවද කාලීන අවශ්‍යතා අනුව විශේෂයෙන් ආදායමට වඩා වියදම වැඩිවීම පාලනය කිරීම් සඳහා ඉදිරිපත් විය. මෙම ව්‍යවස්‌ථා මගින් යටත් විජිත පාලනයේ ස්‌ථාවරභාවය පත්වා ගැනීම මූලික අරමුණ විය. නිදහස ලබා ගැනීමෙන් පසුව වුවද අප එම ව්‍යවස්‌ථාවන්ට එකඟව කටයුතු කරන ලද අතර 1972 ව්‍යවස්‌ථාව මගින් ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන්වී ස්‌වාධීන රටක්‌ විය. 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීය ජනරජ ව්‍යවස්‌ථාව බල ගැන්වීමෙන් පසු පූර්ණබලැති ජනාධිපති ධුරයක්‌ ස්‌ථාපිත විය. පසු කාලීන අවශ්‍යතා අනුව විවිධ සංශෝධන එයට එකතු විය. මේ වනවිට එම ව්‍යවස්‌ථාව 18 වතාවක්‌ සංශෝධනය වී තිබීමෙන්ම එහි ප්‍රශ්නකාරී බවක්‌ ඇති බව පෙනේ. ඇතැම් රාජ්‍ය පාලකයෙක්‌ මෙය "බහුබූත" ව්‍යවස්‌ථාවක්‌ ලෙස අර්ථකථනය කළත් එය වෙනස්‌ කිරීමට මේ වනතුරුත් කිසිවකු පියවර ගෙන නැත. එහි ඇතැම් ප්‍රතිපාදන රටට නොගැලෙපෙන බැවින් නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව බොහෝ දෙනා පිළිගනී.

අසීමිත බලතල ඇති විධායක ජනාධිපතිවරයකු පත්වීම, මැතිවරන කාලවලදී මිනීමැරුම් පවා ඇතිකරණ මනාප ක්‍රමය ජනතාව අන්දමන්ද කරවා ඇති කොට්‌ඨාස මන්ත්‍රී ක්‍රමය, සාමාන්‍ය පුද්ගලයකුට මැතිවරණ අපේක්‍ෂකයකු වීමට ඇති බාධක, අගමැති නාම මාත්‍රිකයකු වීම, රටට බරක්‌වී ඇති පළාත් සභා ක්‍රමය, එමගින් රට බෙදීයැමේ උගුලක්‌ නිර්මාණයවී තිබීම වැනි කරුණු ප්‍රබුද්ධ ජනතා මනස අවුල් කරන තත්ත්වයකට පත්ව ඇත. මේ අතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වගන්ති ඇතත් ඒ නොතකා රට බෙදීමේ කටයුතු වල නිරත වන්නන් සිටීමද ජනතාවට ප්‍ර්‍රශ්නයකි.

තිස්‌ අවුරුදු යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාව නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස හිස ඔසොවමින් සිටී.

වඩාත් කථා බහට ලක්‌වුණ පළාත් සභා ප්‍රතිෂ්ඨාපන වී ඇති 13 වන සංශෝධනය 1987 නොවැම්බර් 14 දින සිට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සහතික වී ඇති බලයකි. එය ව්‍යවස්‌ථානුකූලව ලංකාවට ලැබුන දෙයක්‌ නොවේ. එනිසාම සුදු අලියෙක්‌වී ඇති පළාත් සභා අහෝසි කළ යුතු බවට ජනමතයක්‌ ගොඩ නැඟී ඇත.

කොටි ත්‍රස්‌තයන් රුදුරු භීෂණයක්‌ දියත් කළේ උතුර නැගෙනහිර පෙදෙස්‌වල වෙනම රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමටය. එහි ආරම්භය පොන්නම්බලම් යුගයෙන් ආරම්භවී චෙල්වනායගම් අමිර්තලිංගම් හරහා ප්‍රභාකරන් දක්‌වා වැඩෙමින් ආ එකකි. ප්‍රභාකරන් යුගයේදී එය බිහිසුණු ලෙස ක්‍රියාත්මක විය. ජීවිත දහදහස්‌ ගණනින් විනාශ විය. පොදු දේපළ විනාශ විය. ආර්ථික මර්මස්‌ථාන විනාශ විය. ඒ අතර විවිධ ක්‍රම මගින් රටට ඇඟිලි ගැසීමට විදේශ රාජ්‍යයන්ට හැකිවිය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එඩිතර තීරණවලට එළඹ රට නිදහස්‌ කරගත්තේද වටිනා ජීවිත රාශියක්‌ බිලිදීමෙනි.

ඉන්දියාව ප්‍රාන්ත 29 කින් යුතු විශාල රාජ්‍යයකි. ආසියාවේ ප්‍ර්‍රමුඛ ප්‍රජාතාන්තිS්‍රය රාජ්‍යයද ඉන්දියාවයි. කෝටි 127 පමණ ජනගහනයක්‌ ඇති එම රටේ ඇතැම් ප්‍රාන්ත ලංකාව මෙන් කිහිප ගුණයක්‌ විශාලය. එසේ වුවද පාලන පහසුව සඳහා පිහිටුවා ඇති ප්‍රාන්ත රාජ්‍ය මේ වනවිට පාලනය කිරීමට ඉන්දීය මහා ආණ්‌ඩුවට නොහැකි වන තරමට ඇතැම් ප්‍රදේශවල ගැටලු ඇතිවී ඇත. අද වනවිට තමිල්නාඩුව ඉන්දීය මහා ආණ්‌ඩුව අල්ලේ නටවන තත්ත්වයකට පත්ව ඇත. ප්‍රාදේශීය රාජ්‍ය බලවත් වීමේ තත්ත්වයන් පිළිබඳව අපද දැනුවත්ව සිටීම වැදගත්ය. අද වනවිට ඉන්දීය මහා ආණ්‌ඩුවට තමිල්නාඩුව ප්‍රධාන ඇතැම් ප්‍රාන්ත ආණ්‌ඩුවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට නොහැකිව ඇත. ආචාර්ය සුබ්‍රමනියම් සාමි පවසන පරිදි ඉන්දියානු ව්‍යස්‌ථාවේ 255 හා 256 වගන්ති අනුව කිසිදු ප්‍රාන්ත රාජ්‍යයකට වෙනත් රටවල කටයුතු සඳහා කිසිදු බලයක්‌ නැත. එහෙත් ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩුව ඉහත කී නියෝග පවා පසුගිය කාලයේ උල්ලංඝනය කළ සැටි අපට මතකය.

ලංකාවේ ජනගහනය කෝටි දෙකක්‌ පමණ වුවත් ජනගහනයෙන් 4501 දෙනකුට කවර හෝ එක්‌ මන්ත්‍රීවරයකු සිටී. මේ අතර ජනතාව විසින් නඩත්තු කරන ලබන පළාත් සභා මන්ත්‍රීවරුන්ද රාශියක්‌ වේ.

මහ බැංකු වාර්තා කවර දත්ත පෙන්නුවත් තවම ලංකාව දුප්පත් රටකි. දුප්පතුන් බොහොමයක්‌ දෙනා සිය වියදම් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක සිටී. එහෙත් සමාජයේ එක්‌තරා කොටසක්‌ සුර සැප විඳින බව සහතිකය. ඇතැම් ඇමති පුතකුගේ මාසික පෙට්‍රල් බිල ලක්‍ෂ දෙකකි. තවත් ඇමැතිවරයකුගේ මාසික විදුලි බිල ලක්‍ෂ 21/2 කි. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සඳහා වාර්ෂිකව රුපියල් පහළොස්‌ කෝටි පනස්‌ නවලක්‍ෂ අනූඑක්‌දහස්‌ හත්සිය හැටක්‌ වියදම් වෙතැයි කියෑවේ.

ගොඩනැඟිලි, වාහන, කාර්යමණ්‌ඩල, ආණ්‌ඩුකාරවරු, මැතිඇමතිවරු ආදී ලෙස පළාත් සභා ද අධික වියදම් දරන මෙන්ම වෙනත් ආයතන වලින් කරවා ගත හැකි අනවශ්‍ය කාර්යයන් හා පුද්ගලයන් සඳහා ජනතා මුදල් වියදම් කරන තත්ත්වයකට පළාත් සභා පිහිටුවීමෙන් ලබාදී ඇත.

වියදමටත් වඩා භයානක වන්නේ උතුරු නැගෙනහිර පළාත් සභා ඊළාම් වාදීන්ගේ බලයට යම් දිනක යට වුවහොත් රටේ ආරක්‍ෂාවට එමගින් බලපෑ හැකි අවිනිශ්චිත භාවයයි. ඊළම්වාදීන් රට බෙදා දීමකින් තොරව කිසිවකින් සතුටු වන්නන් නොවන බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් පෙන්වා දී ඇත.

පළාත් සභා අහෝසි කළ යුතු වුවත් නොකරන්නේ පළාත් සභා තිබීමෙන් රජයට අමතර වාසිදායක තත්ත්වයක්‌ උදාවී තිබීමය. තම ඥති හිතමිතුරන්ට ආණ්‌ඩුකාර මැති ඇමැති නිලධාරි පදවිදීම, කෑගසන්නන් නිහඬ කරවීමට, මහජන මුදල් ගසා කෑමට ඉඩ විවර කරදීම මෙන්ම අමුතු සුඛෝපභෝගී පැලැන්තියක්‌ බිහිකර ගත හැකිවීම වැනි වාසි රාශියක්‌ ඉන් ලැබෙන නිසා ඇතැමුන් පළාත් සභා තබා ගැනීමට කැමැතිය. එහෙත් ඊළාම් වාදීන්ට පළාත් සභාවක බලය යැමේ අවදානම ඔවුන්හට නොතේරේ.

සත්‍ය වශයෙන්ම රජයේ වෙනත් ආයතනවලින් කළ සේවය පළාත් සභා වලින් ඉටු නොවේ. 2007 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ මේවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සලකා බලන විට හෙළිවන කරුණක්‌ වන්නේ මෙතරම් දිගු කාලයක්‌ තිස්‌සේ පළාත් සභා ක්‍රියාත්මක වුවද එහි එක්‌ අරමුණක්‌ වන තුලිත ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කර ගැනීම ඉටුකර නොමැති බවය යනුවෙනි.

රටට කාලීන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයි. එහෙයින් රටට ගැලපෙන ලෙස වැඩි දෙනකුට පිළිගත හැකි විද්වතුන් විසින් සකස්‌ කෙරුණ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කොට පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීම මෙන්ම දැන් තිබෙන ව්‍යවස්‌ථාව අහෝසි කිරීම සිදු කිරීමද නොපමාව කළ යුත්තකි. එය කළ හැක්‌කේද දේශප්‍රේමී නායකයෙකුට පමණි.

හි. ලි. ඔස්‌ටින් සිල්වා
http://www.divaina.com/2013/08/19/feature02.html

0 comments: