Pages

Sunday, August 18, 2013

ජයලලිතාගේ කච්චතිව් පිල්ලිය සහ අපේ ධීවරයෝ!

උතුරු මුහුදේ ධීවර කටයුතු යළිත් අවදානමකට ලක්‌ව ඇත. ඒ වෙනදා මෙන්ම උතුරු මුහුදට බලෙන් ඇතුළුව මාළු බාන ඉන්දීය ධීවරයන්ගේ අලුත්ම තර්ජනය නිසාය. මේ තර්ජනයට අනුව ලංකාවේ මුහුදු සීමාවට බලෙන් ඇතුළුව අපේ මත්ස්‍ය සම්පත සොරා ගැනීම නිසා මහඋළුගෙදර තපින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයන් හැටපස්‌ දෙනා ලබන 21 වැනිදාට පෙර නිදහස්‌ කළ යුතුය. ලංකා රජය එය නොකරන්නේ නම් ඔවුන් අපේ රටට බලෙන් ඇතුළුවීමට සූදානම්ය. ඒ නිකම්ම නොවේ සුදු කොඩි ඔසවාගෙන, බෝට්‌ටු හාරසියයකින් පැමිණෙමින් ශ්‍රී ලංකාවේ සරණාගත භාවය ඉල්ලන බව මේ තමිල්නාඩු ධීවරයෝ තර්ජනය කරන්නෝය.

සරණාගතභාවය යන වචනය භාවිතා කළ තිබුණද මේ වූ කලී බලහත්කාරකමකි. තමිල්නාඩු ධීවරයන් මේ නොකියා කියන්නේa බලහත්කාරකමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කර බලෙන්ම රටට ඇතුළුවන බවය. ඉන්දියාවේ හින්දු පුවත්පතකට අනුව දැන් මේ අශිෂ්ට වික්‍රමය සඳහා තමිල්නාඩුවේ නාගපට්‌ටනම් ප්‍රදේශයේ ධීවර ගම්මාන අටක පමණ ධීවරයෝ කැසපට ගසාගෙන හිඳිති. නාගපට්‌ටනම් වෙරළේ ඇති බෝට්‌ටු 400ක පමණ කළු කොඩි ඔසවා බලා සිටිති.

බැලූ බැල්මට තමිල්නාඩු ධීවරයන් මේ තර්ජනය පුදුම විහිළුවකි. වෙනත් රටක මුහුදු සීමාවකට බලෙන් ඇතුළු වන්නා අන්තර්ජාතික නීතිය අනුව වරදකරුවෙකි. ඉදින් මේ කියන තමිල්නාඩු ධීවරයෝ ඒ වරද කළොත් ඔවුන්ද කුදලාගෙනවිත් මහ උළුගෙදර ගාල් කිරීම ශ්‍රී ලංකාවේ රජයට අන්තර්ජාතිකව හිමිව ඇති ඒ නීතිමය අයිතියකි. මේ තර්ජනය විහිළුවක්‌ බව කීවේ ඔවුන් එසේ පැමිණියද ඒ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ අපට හිමිව ඇති නීතිමය අයිතියට කිසිවකුට විරුද්ධවීමට ඇති නොහැකියාව හේතුවෙනි. නමුත් ඉතිහාසයේ පටන් තමිල්නාඩුවේ දේශපාලනය ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන ආකාරය ගත්විට මෙය සිනාසිසී බලාසිටිය හැකි කාරණයක්‌ නොවේ. ධීවරයන් නොවෙතත් ක්‍රිකට්‌ තරගයකදී හෝ තමිල්නාඩුව කවදත් බැලුවේ ශ්‍රී ලංකාව සමග ගැටුමක්‌ නිර්මාණය කර සමස්‌ත භාරත දේශයම ලංකාවේ හතුරෙකු කරවීමයි. ඒ විරසකය තවත් වර්ධනය කර වළලා දමා ඇති ඊළමය යළි ගොඩගැනීමට උත්තේජනයක්‌ ලෙස යොදා ගැනීමයි. කොටින්ම ප්‍රභාකරන්ටත් කළ නොහැකි වූ ඊළාම් රාජ්‍ය උතුරේ නිර්මාණය කර ගැනීමයි.

විවිධ වූ වෙස්‌ මුහුණු ඉදිරියට දමා තමිල්නාඩුව මේ සැරසෙන්නේද කවදත් උත්සාහ ගත්තේද ඔය ටික කර ගැනීමටය. කලක පටන් පැවැති මේ ධීවර ගැටලුව අද මහා ලොකුවට ගෙන කැසකවන්නේද එයට පොටක්‌ පාදා ගැනීමටය. එය මේ තමිල්නාඩු ධීවර තර්ජනය හා බැඳුණු එක්‌ කතාවකි.

ඒ වගේම මෙහි තවත් කතාවක්‌ද තිබේ. ඒ මේ ඉන්දීය ධීවරයන්ගෙ බලත්කාරකම නිසා පීඩා විඳින යාපනය සහ මන්නාරම ධීවර ප්‍රජාවගේ කතාවය.

යාපනයේ සිටින ධීවර ප්‍රජාවගෙන් වැඩි පිරිසක්‌ සුළුපන්න ධීවරයෝය. පාරම්පරික ධීවර කර්මාන්තයේ නියෑළෙන ඔවුන් කීයක්‌ හෝ හොයාගත්තේ හක්‌බෙල්ලන්, මට්‌ටි හෝ මුහුදු කූඩැල්ලන් වැනි සතුන් අල්ලා විකිණීමෙනි. අවම වශයෙන් දවසකට මුහුදු කූඩැල්ලන් කිලෝ දහයක්‌, දොළහක්‌ අල්ලා ගන්න ඔවුන්ට එමගින් දින කීපයක්‌ම ජීවත්වීමට තරම් ප්‍රමාණවත් ආදායමක්‌ ලැබේ. නමුත් ඉන්දීය ධීවරයන්ගෙ ආක්‍රමණය නිසා දැන් යාපනය ධීවරයන්ට යන එනමන් නැතිවෙමින් තිබේ. ඉන්දිය ධිවරයන් අපේ මුහුදට පැමිණි බව දැනගත් විට මන්නාරමේ ධීවරයන් නම් මුහුද දිහා බලන්නේවත් නැත. දීර්ඝ කාලයක සිට උතුරේ ධීවර ප්‍රජාව පීඩා විඳින ඒ ගැටලුව ගැන උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක ඡේසුදාසන් කියන්නේ මෙවැනි කතාවක්‌ය.

තමිල්නාඩු ධීවරයෝ අපේ මුහුදට ඇවිත් බලහත්කාරකමින් මාළු අල්ලන් ගියේ අද ඊයෙක ඉඳන් නොවෙයි. යුද්දෙ කාලෙත් නාවික හමුදාවට හොරෙන් මෙයාලා අපේ මුහුදු සීමාවට ඇතුල් වුණා. ටිකක්‌ හරි ඒක අඩුවුණේ නාවික හමුදාව එයාලව අත්අඩංගුවට ගන්න නිසා. ඒත් මේක කවදාවත් නතර වෙනපාටක්‌ නෑ. දැන් මේ අයගෙ බෝට්‌ටු එන්නෙ හරියට සුනාමිය එනවා වගේ. එකපාරට ට්‍රොaලර් යාත්‍රා දාහක්‌ එක්‌දහස්‌ පන්සියයක්‌ විතර එනවා. එහෙම ඇවිත් දැල් දාලා ඉන්න පුංචිම මාළුවාගේ ඉඳලා ඔක්‌කොම අල්ලන් යනවා. අපේ මිනිස්‌සුන්ට සිද්ධවෙන්නේ මූදු ගිහින් හිස්‌ අතින් ගෙදර එන්න.

ඡේසුදාසන් කියන්නෙ ඉන්දීය ධීවරයන්ගෙ මේ හයියකාරකම් එපමණකින් කතා කර ඉවර කර නොහැකි බවයි. මුලින්ම ඔවුන් ලංකාවේ මුහුදු සීමාවට ඇතුල් වනවිටම සිදු කරන නොපනත්කමක්‌ තිබේ. ඒ මෙරට ධීවරයන්ගෙ දැල් කපා දමා එහි ඇති මත්ස්‍යයන් තමන්ගෙ බෝට්‌ටුවලට දමාගැනීමය. එක පෙළට ට්‍රොaලර් යාත්‍රා දාහක්‌ එක්‌දහස්‌ පන්සියයක්‌ පැමිණෙන විට ඊට එරෙහිව නැගී සිටීමටද ලංකාවේ ධීවරයන්ට නුපුළුවන. යම් හෙයකින් මේ ගැන ඉන්දීය ධීවරයන් සමඟ කතා කරන්නට යන කෙනෙකුට සිදුවන්නේ තමන් ඇල්ලූ මාළු අස්‌වැන්නත් ඔවුන්ගෙ දෝතට දී ගුටිත් ඇනගෙන ගෙදර ඒමටය.

පසුගිය ජුලි මාසයේදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් පිරිසක්‌ සමග ඉන්දීය සංචාරයක නිරතවූවේද මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමටය. එහෙත් එයින්ද උතුරේ ධීවරයන්ට අත්වූ සෙතක්‌ නම් නැත. මේ වනවිට උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන නිසා මේ ගැටලුවලට විසඳුම් සෙවීම තව තවත් ඈතට යන්නේය. ඉන්දීය ධීවර නියෝජිතයන් පිsරිසක්‌ මේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. එහෙත් උතුරේ පළාත් සභා මැතිවරණය නිසා පැන නැගී ඇති දේශපාලන වාතාවරණය මත ඔවුන් එම ගමන පසුවට කල් දැමූ බව යාපනය ධිවරයන්ට දන්වා ඇත.

ලංකාවට අයත් කච්චතිව් දූපත ද මේ ඉන්දීය ධීවර ගැටුමේදී වැදගත්කමක්‌ උසුලන දූපතකි. කච්චතිව් දූපත ලංකාවට අයත් බව ඉන්දියාව පිළිගත්තේ මෙයට බොහෝ කලකට පෙරය. එහෙත් කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මංගල්‍යයට එන ඉන්දීය බැතිමතුන් බොහෝ අවස්‌ථාවල ඉන්දීය ජාතික කොඩිය එසවීමට උත්සාහ කළ අවස්‌ථා නැතිවා නොවේ. ඒ උත්සාහයන් ඔවුන් දූපතට ගොඩබැසීමට මත්තෙන් ව්‍යර්ථ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවය. වැදගත්ම දේ නම් මේ එන ඉන්දීය බැතිමතුන්ගෙන් වැඩි පිරිසක්‌ තමිල්නාඩුවේ ධීවරයන් වීමය. මේ නිසා කච්චතිව් මංගල්‍ය පවතින දිනයේදී සෑම වසරකම ලංකාවේ ධීවරයෝ ඉන්දීය ධීවරයන් ලංකාවේ අනවසර මසුන් මැරීම ගැන සාකච්ඡා කළහ. මේ සාකච්ඡාවලට මුල්වූ එක්‌ දේශපාලනඥයෙකු වන්නේ උතුරු පළාත නියෝජනය කරන ඩග්ලස්‌ දේවානන්ද මහතාය. ඔහු බොහෝ අවස්‌ථාවල මේ සාකච්ඡාවලට මැදිව ඉන්දීය ධීවර ප්‍රශ්නයට විසඳුම් දෙන බව ධීවරයන් ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය. එහෙත් මෙතෙක්‌ ලැබුණු විසඳුමක්‌ නම් නැත. කච්චතිව් වල වාර්ෂිකව පැවැත්වෙන මේ සාකච්ඡාවල අවසන් සාකච්ඡා වටය පවත්වා ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේය. එහිදී පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු විසඳුමක්‌ නොලැබුණු තැන ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයා කියා ඇත්තේ තෙමසක්‌ තුළ මේ ප්‍රශ්නය නොවිසඳුනොත් ධීවර බෝට්‌ටු 500 කින් ඉන්දියාවට ගොස්‌ විරෝධතාවක්‌ දැක්‌වීමට තමන් මූලිකත්වය ගන්නා බවය. දැන් ඇමැතිවරයාගේ එම ප්‍රකාශය පාරාවළල්ලක්‌ වී ඇති ගානය. යාපනයේ ධීවරයන් ඉන්දියාවේ ගොස්‌ විරෝධතාව දැක්‌වීම කෙසේ වෙතත් ඇමැතිවරයාගේ පුරසාරම් ආදර්ශයට ගෙනදොa ඉන්දීය ධීවරයන් ලංකාවට පැමිණ විරෝධතා දැක්‌වීමට සූදානම්ය. තමිල්නාඩුවේ දේශපාලන බලඅධිකාරියද එය නොදැක්‌කා සේ සිටින්නේ ඉන්දීය මධ්‍යම රජය ලංකාව සමග පටලැවිල්ලකට තල්ලු කිරීමේ යටි වුවමනාව නිසාය. ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමන ලෙසින් හෝ ඒ සඳහා හේතුවක්‌ නිර්මාණය කරගැනීමය. මෙරට ඊළමක්‌ පිහිටවීමේ සිහින දකින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට පවරා ගන්නැයි ඉන්දීය මධ්‍යම රජයට බලකරන්නේද එවැනි හේතුවක්‌ නිර්මාණය කරගැනීම සඳහාය. ඇය තමිල්නාඩු වැසියන් උසිගන්වන්නේ 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් ගිවිසුම අහෝසි කළ යුතුය කියාය. මේ වසරේදී තමිල්නාඩු මන්ත්‍රණ සභාවේදී ඒ සඳහා මධ්‍යම රජයට බල කෙරෙන යෝජනාවක්‌ද සම්මත කර ගැනිණ. දැන් අපේ දේශපාලකයන් උත්සාහ කළ යුත්තේ කල් තියාම මේ අනතුර හැඳිනගෙන එය දෙරටේ විරසකය දක්‌වා වර්ධනය වීමට ඉඩ නොදී ගොඩින් බේරා ගැනීමටය.

තිස්‌ස ගුණතිලක | ඡායාරූප - දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/08/18/feature16.html

0 comments: