Pages

Wednesday, August 28, 2013

ඉරුදින හා පෝය දින ටියුෂන් පැවැත්වුවහෝත් සබරගමුවේ භික්‍ෂුන් වහන්සේලා මාරාන්තික උපවාසයකට සූදානම්!

ඉරු දින හා පෝය දින පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳව 2010 දී සම්මත කරගත් ප්‍රඥප්තිය ක්‍රියාත්මක නොවන්නේ නම් සබරගමු පළාතේ සියලු භික්‍ෂුන් වහන්සේ මාරාන්තික උපවාසයකට සූදානම්ව සිටින බැව් ගොඩකවෙල මහින්දාරාම විහාරාධිපති රත්නපුර දිස්‌ත්‍රික්‌ ශාසනාරක්‍ෂක බල මණ්‌ඩල ලේඛකාධිකාරී කෝම්පිටියේ සුසිල මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එම ප්‍රකාශය කරනු ලැබුවේ රත්නපුර සමුදි උත්සව ශාලාවේ පළාතේ 100 නමක්‌ පමණ වන භික්‍ෂූන් වහන්සේ පළාත් සමාජ සුභ සාධන අමාත්‍ය රංජිත් බණ්‌ඩාර, රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර රාජ්‍ය නිලධාරීන් හා ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2013.08.21 දින පැවැති හමුවේදීය.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ කෝම්පිටියේ සුසිල හිමියෝ පැවසුවේ මෙම ප්‍රඥප්තිය ක්‍රියාත්මක නොකිරීම සඳහා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ මැදිහත්වීම දේශපාලන සාධකයක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඒ සඳහා පොලිස්‌ ස්‌ථානයන්ට පවා බලපෑම් සිදුකෙරෙන බැව් හෙළිවිය. පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අදහස වූයේ ඉරුදින ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ පන්ති නොපැත්වීමෙන් එම විභාගය සඳහා ඉදිරිපත් වන ග්‍රාමීය දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහළ වැටෙන බව යෑයි සභාවේදී ප්‍රකාශ විය.

එහෙත් මහා සංඝරත්නයේ අදහස වූයේ පළාතේ රජයේ පාසල්වල අධ්‍යාපන තත්ත්වය ඒ තරමටම පිරිහී ඇත්ද යන්නය. එසේ නම් එයට සමස්‌ත පළාත් අධ්‍යාපන බලධාරීන් හා ගුරු පරපුරම වගකිවයුතු බව සුසිල හිමි ප්‍රකාශ කළහ.

රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර මහතා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ වටිනාකම ඓතිහාසික හා සමාජීය කරුණු රැසක්‌ ගෙන හැර දක්‌වමින් අදහස්‌ දැක්‌වීය.

පළාත් සමාජ සුබ සාධන අමාත්‍ය රංජිත් බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් පළාත් සභාවේ පක්‍ෂ, විපක්‍ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ ඒකඡන්දයෙන් සම්මත වූ මෙම ප්‍රඥප්තිය පුද්ගලයකුගේ දෙදෙනකුගේ අවශ්‍යතාව මත වෙනස්‌ කළ නොහැකි බව පැවසීය. එළඹෙන ආසන්නම පළාත් කැබිනට්‌ මණ්‌ඩලයට මෙම ප්‍රශ්නය යොමුකොට ප්‍රඥප්තිය ඉක්‌මනින් ක්‍රියාත්මක කරවීමේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කළේය.

කේ. හෙට්‌ටිආරච්චි - රත්නපුර අතිරේක
http://www.divaina.com/2013/08/28/provin04.html

0 comments: