Pages

Thursday, August 29, 2013

කොටි සංවිධානයේ කුරිරු බව තමා තරම් දන්නා කෙනෙකු නෑ. පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන්න - කතෝලික පූජකවරයකු හඬාවැළපෙමින් පිල්ලේට කියයි

මෙරට සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ඊයේ (28) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය. එහිදී මහ කොමසාරිස්වරිය පෙරවරුවේ නැගෙනහිර ආණ්ඩුකාර රියල් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා වරාය පාරේ පිහිටි එම කාර්යාලයේදී හමුවිය.

එම හමුවේදී මහ කොමසාරිස්වරිය නැගෙනහිර පළාතේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැයක පමණ කාලයක් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක නිරත විය. එහිදී නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් හා නැවත පදිංචි කිරීම් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය ආණ්ඩුකාරවරයාට සිය සතුට පළකර සිටි අතර, මහ කොමසාරිස්වරිය ඇතැම් කාරණා සම්බන්ධයෙන් තිබූ අනවබෝධය තුරන් කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබුණි.

ආණ්ඩුකාරවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව නවනීදන් පිල්ලේ මහත්මිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේදී ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව යන  දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ‍ලේකම්වරු හමු වූ අතර, එහිදී මහ කොමසාරිස්වරිය ප්‍රදේශයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවක නිරතවිය. නවනීදන් මහත්මිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය වෙත පැමිණෙන අවස්ථාවේ උතුරු නැගෙනහිර සිංහල සංවිධානය හා යුද්ධයෙන් මියගිය සහ අතුරුදන් වූවන්ගේ මා පිය එකමුතු සංවිධානවලට අයත් පන්සියකට පමණ පිරිසක් එම ස්ථානයේ විරෝධතා ව්‍යාපාරයක නිරත විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙබිඩි පිළිවෙතට හා පක්ෂග්‍රාහි වැඩපිළිවෙළට එරෙහිව සටන් පාඨකියමින් විරෝධතා ව්‍යාපාරයේ නිරත වූ උද්ඝෝෂකයන් යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පසුගිය කාලයේ පැහැරගෙන ගිය හා ඝාතනය කළ වුන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලකරමින් සංදේශයක් භාරදීමට කටයුතු කළ අතර, එම සංදේශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස්වරියගේ උපදේශක ක්ලෝරිමුංගවන් මහතා විසින් භාරගන්නා ලදී.

අනතුරුව නවනීදන් පිල්‍ලේ මහත්මිය ත්‍රිකුණාමලය, උප්පුවේලි, ජේකොබ් පාර්ක් හෝටලයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සාමාජිකයන් හමුවී සාකච්ඡාවක නිරත විය. එහිදී යුද්ධය පැවැති සමයේ යාපනයේ සිටි කතෝලික පූජකවරයකු   නවනීදන් පිල්‍ලේ මහත්මියට හඬා වැළපෙමින් කියා ඇත්තේ කොටි සංවිධානයේ කුරිරු බව තමන් තරම් දන්නා තවත් කෙනෙකු සිටිය නොහැකි බවයි. එබැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සාධාරණ හා අපක්ෂපාතිව සිදුකරන ලෙසත් කතෝලික  පූජකවරයා නවනීදන් පිල්ලේ මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

මෙම හමුවෙන් පසු නවනිදන් පිල්‍ලේ මහත්මිය මුතූර් කිලිවෙඩ්ඩි පිහිටි සුබසාධක කඳවුරට ගොස් ඇති අතර, මහ කොමසාරිස්වරිය එහිදී අවතැන්වූවන් සමග කෙටි කතා බහකද නිරතව සිට ඇත. අනතුරුව නවනීදන්පිල්‍ලේ මහත්මිය සාම්පුර් ප්‍රදේශයේ නැවත පදිංචිකිරීම් සිදුකර ඇති නාවල් අඩි ගම්මානය දැකබලා ගැනීමට පිටත්ව ගොස් ඇත.

මංගලනාත් ලියනාරච්චි - ත්‍රිකුණාමලය - 2013 අගෝස්තු 29 09:00 a:m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16712:2013-08-29-03-32-11&catid=34:news&Itemid=62

0 comments: