Pages

Sunday, August 18, 2013

මහ පෙරහැරේ සංස්‌කෘතික පසුබිම


මෙවර මහනුවර ඇසළ පෙරහැර මෙම මස 7 වැනි දින උදැසන කප් සිටුවීමෙන් ඇරැඹී 21 වැනි දින දිය කැපීමෙන් හා දවල් පෙරහැර පැවැත්වීමෙන් නිම කිරීමට නියමිතය. මෙම පෙරහැර මෙරට පැවැත්වෙන මහ ම සංස්‌කෘතික සංදර්ශනයයි.

සෙංකඩගල පුර පෙරහැර කිරීම ආරම්භ වූ කාලයේ මෙරට පැවැතියේ වැඩවසම් ක්‍රමයට සකස්‌ වූ සංස්‌කෘතික පසු තලයකි. වර්තමාන කාලය වන විට එම තත්ත්වයේ විශාල වෙනස්‌කම් රාශියක්‌ සිදුව තිබේ. අපරදිග ජාතීන්ගේ බලපෑම නිසා විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකාවේ ප්‍රවේනි සභ්‍යත්වය පිරිහී නැතිවී ගිය ආකාරය දැකිය හැකිය. එයට හේතුව වූයේ පැරැණි සහ වර්තමාන සමාජ රටාවන්හි ඝට්‌ඨනයයි. කෘෂිකාර්මික සහ කාර්මික, ගැමි සහ නාගරික, ප්‍රවේනි සහ නූතන වශයෙන් දැක්‌විය හැකි සංස්‌කෘතීන් දෙකෙහි ගැටීම නිසා එයට ඔරොත්තු දීමේ ශක්‌තියෙන් පිරිහුන ප්‍රවේනි දේශීය සංස්‌කෘතියේ ඇතැම් අංග විනාශ විය.

මේ සඳහා බලපෑ සාධක අතර මධ්‍යතන යුගයේ ලෝකයේ ඇතිවූ බුද්ධිවාදී සංකල්ප විසින් ගතානුගතික චින්තන ක්‍රම විනාශ කිරීමත්, ආර්ථික හා දේශපාලන දර්ශනයන් පදනම් කරගෙන මෙරටට බටහිරින් සංක්‍රමණය වූ අලුත් සංස්‌කෘතික හරයන් මෙරට ආවේණික සංස්‌කෘතිය තුළට කා වැදීමත් වැදගත් තැනක්‌ ගනී.

මෙවැනි පෙරළි රාශියක්‌ මැද පැරැණි වැඩවසම් ලෝකය තුළ ඉපදී අලුත් ලෝකයක්‌ තුළ ජීවත් වෙමින් පවතින මහනුවර මහ පෙරහැර තුළද මේ සංස්‌කෘතික පෙරළි දැකිය හැකිය. සභ්‍යත්ව දෙකක ඉපිද, සංස්‌කෘතීන් දෙකකට හැඩ ගැසුණ යුග දෙකක්‌ තුළ පෙරහැර ජීවත් වූයේය. මේ නිසා ඇසළ පෙරහැර වනාහී එම කාලයන් තුළ සිදුවූ සංස්‌කෘතික පෙරළිය පිළිබිඹු කරන ජීවමාන සංකේතයකි.

පෙරහැරේ ආරම්භය ගැන සිතන විට එය දේශපාලන අරමුණු සංස්‌කෘතික අංශයන් ඔස්‌සේ මුදුන්පත් කර ගැනීමට ගත් උත්සාහයක්‌ ලෙස හැඳින්වීමම නිවැරැදිය. සාමාන්‍යයෙන් ලෝකයේ ඇසළ උත්සව ආරම්භ වූයේ වසර දහස්‌ ගණනකට ඉහතදීය. විවිධ ස්‌වරූපයන්ගෙන් ලෝකයේ විවිධ රටවල එම උත්සව පැවැත් විණි. අස්‌වනු නෙළා ගැනීමෙන් පසු සැණකෙළි පැවැත්වූයේ සශ්‍රීකත්වය දැක්‌වීමේ අරමුණින් විය හැකිය.

ලංකාවේ ඇසළ උත්සව ගැන සලකන විට ආර්යාගමනයෙන් පෙර ආර්ය ගෝත්‍රිකයන් පවා මෙවැනි උත්සව පවත්වා ඇත. ඒවායේ අරමුණ වන්නට ඇත්තේa සශ්‍රීකත්වය දැක්‌වීම විය හැකිය. එහෙත් පෙරහැර කිරීම ආගමික මුහුණුවරක්‌ ගැනීමට හේතුවූ කරුණු අනුව විමසා බලා පෙරහැර ගැන විවරණයක්‌ කරතොත් එය රටේ ආගමික හැඩ ගැස්‌ම තේරුම්ගෙන දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට අරඹන ලද්දක්‌ බව කීමට සිදු වේ.

ලංකාවේ රජු බුද්ධාගමේ ආරක්‍ෂකයා විය. ඔහුට රටවැසියාගේ සහයෝගය ලබා ගැනීමට නම් බුද්ධාගම ආරක්‍ෂා කිරීමේ පොරොන්දුව මහජනයා වෙත දිය යුතුය. දළදා වහන්සේ ලංකාවට වැඩමවූ පසු දළදා භාරකාරත්වය ලැබීම සිහසුන උරුම වීමට ප්‍රබල හේතුවක්‌ විය.

සිංහලේ අගනුවර මහනුවරට මාරුවන අවස්‌ථාව වන විට පැවැති ප්‍රාදේශීය රාජ්‍ය කීපයෙන් වඩාත් ප්‍රබල වූයේ සෙංකඩගල රාජධානියයි. මේ නිසා රටවැසියා සිංහල රජු ලෙස සෙංකඩගල රජු පිළිගත්හ. මහනුවර රජවූ පළමුවන විමලධර්මසූරිය රජුට නීත්‍යානුකූලව සිංහල සිහසුනට උරුම කමක්‌ නොවීය. මේ නිසා දළදා වහන්සේ ලබා ගැනීමට රජු උනන්දු විය. රටේ පැවැති කලබලකාරී තත්ත්වය නිසා දෙල්ගමු විහාරයේ සඟවා සිටි දළදා වහන්සේ විමලධර්මසූරීය රජුවෙත භාර කිරීමට දළදා වහන්සේ බාරව සිටි හිමිවරු කටයුතු කළහ. මෙහිදී ප්‍රමුඛව කටයුතු කළේ දෙවනගල රතනාලංකාර හිමිපාණන්ය. මේ අනුව දළදා වහන්සේ ලබාගත් විමලධර්මසූරිය රජු රටවැසියන්ගේ පක්‍ෂපාතිත්වය ලබා ගැනීමට දළදා පුද පූජා සහ දළදා පෙරහැර ආරම්භ කරන්නට ඇත.

දළදා පෙරහැර සම්බන්ධ සියලුම කාර්යයන් කරන ලද්දේ රාජකාරි ක්‍රමය පදනම් කර ගෙනය. රාජකාරි ක්‍රමය ගොඩනැඟුනේ රජු ප්‍රමුඛ නිලධාරීන්ගේ ආඥදායකත්වය උඩය. මේ අනුව රජු පෙරහැර සම්බන්ධව යෙදූ විධිවිධාන රාජ ආඥ විය. පෙරහැර පිළිබඳව රජු පැනවූ ආඥව උඩ පෙරහැර සංවිධානය කාරියකරවන රාළ" වෙත පැවැරී තිබිණි.

කාරියකරවනරාළ (කාරිය කෝරාල) තෝරන ලද්දේ පාරම්පරිකවය. ඔහුට මේ තනතුර දැරීම සඳහා උඩිස්‌පත්තුව, දොරලියද්ද යන ගම්මානවලින් ගම්වර දී තිබේ. මෙම තනතුර කෙනෙකුගෙන් තව කෙනෙකු වෙත පැවැරුණේ කුල පදනම් අනුවය. නූතන සංස්‌කෘතික හරයන් තුළද මෙම ක්‍රමය නොනැසී පවතිමින් නොපිරිහුණු තත්ත්වයෙන් තාමත් පවතී.

පෙරහැරේ පේලි සෑදීම කාරියකරවන රාළ අතින් ඉටුවු පසු ධාතු කරඬුව වැඩමවීමේ කාර්යය දියවඩන නිලමේ අතින් ඉටුවේ. දියවඩන නිලමේ මාලිගාව සම්බන්ධ ප්‍රධාන ගිහි නිලධාරියාය. මහනුවර රජ සමයේ ඔහුගේ කාර්ය වූයේ රජුට දිය වැඩීමයි. එය මංගල කටයුත්තකි.

මුල් යුගයේ දළදා හිමිට පැන් වැඩීමේ කාර්ය ඉටුවූයේ රජු අතිනි. රාජ්‍යත්වය අහෝසිවීම නිසා එම කාර්ය දියවඩන නිලමේට පැවරුණි. එහෙත් අද එය ඒ සඳහා පත් කළ සේවාබාර කරුවන් විසින් කරනු ලබයි. අද දියවඩන නිලමේ උඩරට රජු පිළිබිඹු කරන සංකේතය බවට පත්ව ඇත.

රොබට්‌ නොක්‌ස්‌ ලංකාවේ සිරකරුවෙකුව සිටි දෙවන රාජසිංහ රජු සමයේ දියවඩන නිලමේට පෙරහැරේ විශේෂ තැනක්‌ හිමිවී නැත. ඔහුද ගමන්කොට ඇත්තේ මුහන්දිරම්වරු, කෝරාළවරු සමගය. දෙවන රාජසිංහ රජු මුලින්ම පෙරහැරේ ගමන් කළ බවත් පසුව ඔහු යැමට මැලි කළ බවත් නොක්‌ස්‌ සඳහන් කොට ඇත.

පසුව සිංහල රජවරු තමා සඳහා පැවැත්වූ උපහාරයන් දළදා හිමිට පවරා ඇත. ඉන් අනතුරුව උඩරට දේශපාලන බලතල ඉසිලූ රදළ සංවිධාන විසින් හැඩගැස්‌සූ සංස්‌කෘතික බලවේග අනුව දියවඩන නිලමේට රජුගේ තත්ත්වය ආරෝපනය කරන්නට ඇත.

පෙරහැරේ රජු ගමන් කරන විට තමා ඉදිරියට එන කවරෙකුට වුවත් ඇන මැරීමේ බලයක්‌ රජුට විය. ඒ සඳහා හෙල්ල ගත් සෙබළුන් දෙදෙනෙක්‌ රජුට ඉදිරියෙන් ගමන් කොට ඇත. පසු කලෙක දියවඩන නිළමේ ද මේ බලතල පවරාගෙන ඇත. මෙයට සෑහෙන කාලයකට ඉහතදී පෙරහැර පැවැතෙත්දී එසේ දියවවඩන නිලමේ ඉදිරියට ආ අයෙකුට හෙල්ලෙන් ඇනීමේ පුවතක්‌ ජනප්‍රවාදයේ එයි. දේශපාලන වශයෙන් මෙරට රදළ සංස්‌ථාවේ බලය පිරිහෙන විට එය ආගමික අතින් තහවුරු කිරීමට ගත් උත්සාහයක්‌ මෙයින් පෙනේ.

පෙරහැර ආරම්භ වූයේ කප් සිටුවීමෙනි. අවසන් වන්නේ දිය කැපීමෙනි. මේ සිද්ධි හින්දු ආගමික පුද පූජා හා සම්බන්ධව පවතී. එසේම දළදා මාලිගාවේ අද පවතින තේවා ක්‍රමද හින්දුකෝවිල් වල පුද පූජා ක්‍රම ඇසුරෙන් සකස්‌ වූවකි. තේවාවේදී අඳින ඇඳුම් පවා ද්‍රවිඩ බමුණන් පුද පූජා සඳහා සැරසෙන ආකාරයට සමානය.

එදා දළදා පෙරහැර මුලින් ගමන් කළේ කසකරුවන්ය. ඔවුන් කළේ පෙරුහර යැමට මාර්ගය සකස්‌ කිරීමයි. අද එය පොලිසිය විසින් කරනු ලැබුවත් චාරිත්‍රයක්‌ ලෙස කස කරුවන්ද ගමන් කරති. එදා පෙරහැර අවසානයේ අශ්වාරෝහක හමුදාව ගමන් කොට ඇත. අද ඒ වෙනුවට පොලිස්‌ රථ සහ බල ඇණියක්‌ ගමන් කරති.

පෙරහැරේ මුලින්ම හස්‌තියා පිට ගමන් කරන පෙරමුණේ රාල අත ලියෑවිල්ලක්‌ ඇත. එය හස්‌ත කඩදාසිය නම් වේ. එයින් ඉදිරිපත් වන්නේද පැරැණි රාජකාරි ක්‍රමය පිළිබඳ අදහසකි. රජු විසින් පෙරහැර පැවැත්වීමට කළ ආඥව අනුව තමන් මෙම කාර්යයෙහි යෙදෙන බව එයින් ප්‍රකාශ වේ. ඒ සඳහා තමාට ඇති බලය හස්‌ත කඩදාසියෙන් පෙන්වයි. පෙරහැර අවසන්වූ පසු එය නැවත රජුවෙත බාරදෙන ලදී. වර්තමානයේ පෙරහැර අවසාන වූ පසු දියවඩන නිලමේ හා බස්‌නායක නිලමේවරු රජගෙදරට ගොස්‌ ජනාධිපතිතුමා වෙත හස්‌ත කඩදාසිය බාරදී පෙරහැර නිසි පරිදි කළ බව දන්වා සිටිති.

විඡේරත්න අතුරුපාන
http://www.divaina.com/2013/08/18/feature12.html

0 comments: