Pages

Friday, August 23, 2013

ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ චිත්‍රපටයේ මුහුරත් උළෙල..


ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම ශත සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සහ බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය එක්‌ව නිෂ්පාදනය කරන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකරයන් අධ්‍යක්‍ෂණය කරන ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ගවේෂණාත්මක චිත්‍රපටයේ මුහුරත් උළෙල ඉකුත්දා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්විණි.

ධර්මපාලතුමන්ගේ මුහුරත් උළෙලේදී අදහස්‌ දැක්‌වූ එහි නිෂ්පාදක කිරම විමලජෝති නායක ස්‌වාමින්වහන්සේ, වසර 2500 කට වඩා පැරණි බුදුදහමටත් බෞද්ධ සංස්‌කෘතියටත් සංස්‌කෘතිමය අතින් වන හානිය විශාලයි. පසුගිය කාලයේ ධර්මපාලතුමා ඉදිරිපත්වෙලා පිරිස එකතුකරලා සිංහල බෞද්ධ ජනතාව අවදි කරවන්න මහත් ඇප කැප වීමෙන් කටයුතු කළා. අද එහෙම අය ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. අද පක්‍ෂ දේශපාලනය, මනාප පස්‌සේ ගිහින් ගිහි පැවිදි දෙපක්‍ෂයම මේ දේවල්වලට කොටුවෙලා. සිංහල බෞද්ධයාට මගපෙන්වන්න නායකත්වය දෙන්න කෙනෙක්‌ නැතිවෙලා තියෙනවා.

මෙහෙම ගියොත් අපි බොහෝ දුරට සුළු ජාතියක්‌ වෙන එක වළක්‌වන්න බැහැ. ඒ නිසයි ධර්මපාලතුමන්ගේ චරිතය අදාළ කරමින් ගවේෂණාත්මක චිත්‍රපටයකට අත දීලා අපේ සිංහල බෞද්ධයාට දැනෙන දෙයක්‌ කරන්න අදහස්‌ කළේ. මහාබෝධිය කියන්නේ ධර්මපාලතුමා. මෙම චිත්‍රපටය ගමක්‌ ගමක්‌ ගානේ රැගෙන යන්නයි අපේ සූදානම.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මහා බෝධි සමාගමේ සභාපති ශාස්‌ත්‍රපති බානගල උපතිස්‌ස ස්‌වාමින් වහන්සේ, ලංකාවේ කිසිම කෙනෙක්‌ ධර්මපාලතුමා ගැන පර්යේෂණ කරලා නැහැ. මෙහි නිෂ්පාදන කටයුතු කරන කිරම විමලජෝති හාමුදුරුවෝ ඉතාම ශක්‌තිමත් කෙනෙක්‌. නමුත් අපේ මිත්‍රත්වය ඊට වඩා ප්‍රබල නිසා අපි දෙන්නා එකට අත්වැල් බැඳගෙන මේ කටයුත්තට දායක වෙනවා.

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි - ධර්මපාලතුමා මේ රට සිංහලයා අවදි කරන්නට විශාල කැපකිරීමක්‌ කළා. නමුත් අපේ රටේ කිසිම ඇගයීමක්‌ නැහැ. අපේ රටට සිංහලකමට බෞද්ධයාට මේ විපත වෙලා තියෙන්නේ ඇයිද කියලා කියන එක පිළිබඳව හිතාගන්න බැහැ. හේතුව හොයන්නේ නැතිව ඵලයට ප්‍රතිකාර කරලා වැඩක්‌ නැහැ. මේකෙන් වෙන්නේ බරපතළ අපරාධයක්‌. 

මෙහිදී අධ්‍යක්‍ෂ සනත් අබේසේකර මහතා අදහස්‌ දැක්‌වූ අතර එම අවස්‌ථාවට ධර්මපාලතුමන්ගේ චරිතය රඟන ප්‍රවීණ රංගන ශිල්පි පාලිත සිල්වා සමග ධනංජය සිරිවර්ධන, රුවංගි දසනායක ඇතුළු නළු නිළියන්ද සම නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු ද එක්‌ව සිටි අතර, කෝට්‌ටේ සාමගි්‍ර මහා සංඝ සභාවේ වැඩ බලන මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්‌වාමින්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

සටහන සහ ඡායාරූප - සුජාතා ජයරත්න
http://www.divaina.com/2013/08/23/cineart02.html

0 comments: