Pages

Saturday, August 17, 2013

බටහිර රටවල මළගිය ගංගාවලට සිදු වූ දේ අපේ රටේ ගංගාවලටත් සිදු නොවන්නට නම්...

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ චාල්ස්‌ ගඟත් එංගලන්තයේ සුප්‍රසිද්ධ තේම්ස්‌ ගඟත් ජර්මනියේ රයින් ගඟත් ඇතුළු බටහිර රටවල ගංගා රැසක්‌ රසායනික වසවිෂවලින් දූෂණය වී ඇති හෙයින් සුන්දර ශ්‍රී ලංකාවේ අත්තනගළු ඔය පරිසරයේ සිදුවූ ඛේදවාචකයෙන් බරපතළ පාඩමක්‌ ඉගෙන ගන්නට දේශපාලන බලවතුන් මෙන්ම ලක්‌වැසි පොදු මහජනතාවද ගැඹුරු අවධානය යොමුකළ යුතුව තිබේ. ධන තණ්‌හාව මුල්කරගත් අවිචාරවත් කාර්මික කරණය නිසා අත්තනගළු ඔය දූෂණය වී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගම් රැසක ජලය විෂ වී ඇති බව මුළු රටටම කියාපෑවේ විෂ වූ වතුරෙන් පීඩනයට පත්වූ ජනතාවයි. සියලු ජීවීන්ගේ පැවැත්මට වාතය මෙන්ම ජලයද අවශ්‍ය බව නොදන්නා කුඩා පාසල් සිසුවෙක්‌වත් නැත. කුඩා දරුවන්ටත් තේරෙන මේ සත්‍යය තේරුම් ගන්නට බල කාමයෙන් හා නිල බලයෙන් අන්ධවූවන්ට නොහැකිවීමේ ප්‍රතිඵලය වූයේ හිරිමල්වියේ පසු වූ ගැටවර වියේ තරුණයකු ඇතුළු ජනහිතකාමීන් තිදෙනකුගේ ජීවිත විනාශ වී තිස්‌ ගණනක්‌ රෝහල්ගත කරන්නට තරම් බරපතළ තත්ත්වයක්‌ උදාවීමයි. දැවෙන ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට උත්සුක වනවා වෙනුවට විපක්‍ෂය දුර්වල කර බිඳ විසුරුවා හැරීමේ උපාය මාර්ගවලට මුල්තැන දෙන දේශපාලනයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් නව නුවර පාර හා නුවර ප්‍රධාන මාර්ගය අවහිර වී ජනතා උද්ඝෝෂණයෙන් ලක්‍ෂ ගණනක්‌ ජනයාට පැය ගණනක්‌ මහමග රස්‌තියාදු වෙමින් වටිනා කාලය නාස්‌තිවන තත්ත්වයක්‌ උදාවිය. රටටම බරපතළ පාඩමක්‌ කියාදුන් මේ ජනතා උද්ඝෝෂණයේ එක්‌ වැදගත් ප්‍රතිඵලයක්‌ වූයේ, අමන කතා කියමින් බොරු වීරයන් වන්නට උත්සාහ දරන දූෂිතයන් ජනතාව මත පිණුම් ගසමින් වැජඹෙන කාලය කෙටිවෙමින් පවතින බව පැහැදිලි වීමයි.

පනස්‌ හයේ ආණ්‌ඩු පෙරළියට මුල් වූ හර්තාලයේ දී දිවිපුදන්නට සිදුවූයේ අටදෙනකුට පමණක්‌ වුවත් ඒ අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ලේ තරුණයකුද වෙඩි වැදී මරණයට පත් වූ බව අත්තනගළු ඔය පරිසරයේ තිදෙනකුගේ ජීවිත විනාශ වූ වත්මන්
 ඛේදවාචකය නිසා අපේ මතකයට නැගේ. අටදෙනකුට ජීවිත අහිමි වූ හර්තාලය එ.ජා.ප. ආණ්‌ඩුව බිඳ වැටීමේ ආරම්භය සනිටුහන් කළද පනස්‌ දහසකට වැඩි තරුණ ජනකායකගේ ජීවිත විනාශ වූ ජ.වි.පෙ. කැරැල්ලෙන් ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව වෙනස්‌ කළ නොහැකි විය. එසේ වුවත් අත්තනගල්ල ප්‍රදේශයේ තරුණයකු ද ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ තිදෙනකු වෙඩි වැදී මිය ගොස්‌ තිස්‌ ගණනක්‌ රෝහල් ගත කරන්නට සිදු වූ මහා ඛේදවාචකය නිසා පරිසර දූෂණය හේතුවෙන් මරණය අබිමුව සිටින රජරට වකුගඩු රෝගීන්ද ඇතුළු දැවෙන ජීවන ප්‍රශ්නවලට මුහුණ පා සිටින රට පුරා ජනතාව අරගලකාරී ක්‍රියා මාර්ගයට යොමුවෙමින් සිටින බව රහසක්‌ නොවේ. තණ්‌හාඕඝයට යට වූ අවිචාරවත් කාර්මික කරණයට හා අවිධිමත් නාගරික කරණයට මුහුණදෙන බස්‌නාහිර, දකුණ හා මධ්‍යම පළාත් මෙන්ම ආසනික්‌ හා කැඩ්මියම් වැනි විෂ රසායනයන් වයඹ, උතුරුමැද හා නැගෙනහිර මෙන්ම උතුරේ ගොවි ජන ජීවිතයද විනාශය කරා ඇද දමන සාධකයන් බවට පත්වෙමින් පවත්නා හෙයින් ගම්පහ, රතුපස්‌වලින් ඇරඹුණු විරෝධතා ක්‍රියා මාර්ගය මුළු රටම වෙලාගන්නා අරගලකාරී තත්ත්වයකට මුල්විය හැකි බව තේරුම් ගත යුතුව තිබේ.

ඊළාම් කොටි ත්‍රස්‌තවාදය යුද බිමේදී පරාජය කරනු ලැබුවද ඊනියා ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමෙන් ඇති වූ ප්‍රශ්නය ජාතික දේශය වනසන පිළිකාවක්‌ බවට පත්වෙමින් තිබේ. ජනතා ප්‍රශ්න අවබෝධ කර නොගෙන ශ්‍රී ලංකාව ආසියාවේ කාර්මික, විද්‍යා තාක්‍ෂණ හා ගුවන්, නාවික මධ්‍යස්‌ථානය කරන්නට දරන අවිචාරවත් ප්‍රයත්නයේ ප්‍රතිඵලය ඉන්දු සයුරේ මුතු ඇටය පරිසර විකෘතියේ හා පරිසර දූෂණයේ අඳුරු දිවයිනක්‌ කර වීමයි.

අත්තනගළු ඔය පරිසරයට සිදු වූ දේ කළු, කැලණි ගංගා පරිසරයටද සිදුවුවහොත් කුමක්‌ විය හැකිද? කළුතර, කොළඹ හා ගම්පහ දිසාවල නාගරික පරිසරයන්හි වෙසෙන අති මහත් බහුතර ජනතාවට ජලය සැපයෙන ප්‍රධාන ජලසම්පාදන මාර්ගයන්ට පදනම් වී ඇත්තේ කළු, කැලණි ගංගාවන් බව එම ජලය ප්‍රයෝජනයට ගන්නා ජනතාවට රහසක්‌ නොවේ. සිරිපා සමනොල අඩවියෙන් ඇරඹෙන කළුගඟට සුවිශාල ජලකඳක්‌ එක්‌වන්නේ සිංහරාජ අඩවියෙන් එන කුකුළු ගඟෙනි. කුකුළු ගඟත් මගුරු ගඟත් පැලැන් ගඟත් යටගම්පිටි ගඟත් එක්‌වී සැදෙන කුඩා ගඟට ජලය ලැබෙන්නේද කෙළින්කන්ද, පැලෑඳ, මෝල්කාව, වතුරාණ, පරගොඩ හා පාහියන්ගල වැනි විසවිසවලින් දූෂණය නොවූ පරිසරයන්ගෙනි. එහෙයින් මුළු කළු ගඟම සැලකිය යුත්තේ පානයට සුදුසු පිරිසිදු ජලකඳක්‌ වශයෙනි. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ හා කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන වගාවන් වන්නේ තේ හා රබර් වන හෙයින් තේ වතුවලටත් රබර් වතුවලටත් යොදන්නේ එතරම් හානිකර රසායන පෝර නොවේ. තේවතුවලට පලිබෝධ නාශක භාවිත කරන්නේද ඉතාම සුළු වශයෙනි. තේ වතුවල වල් නාශක ක්‍රමය වන්නේ කම්කරුවන් මගින් කරන කරඹිගෑමකි.

කරඹිය යනු කුඩා ප්‍රමාණයේ උදැල්ලකි. තේ වගාවේදී හානිකර පලිබෝධ නාශක නොයොදන්නේ තේ පානය කරන බටහිර රටවල ජනතාව තේවල තත්ත්වය ගැන බෙහෙවින් සැලකිලිමත්වන හෙයිනි. ලංකාවේ තේ කර්මාන්ත ශාලාවල තේ රස පරීක්‍ෂාවට එන ටී ටේස්‌ටර්ලා සියල්ලම මත්පැන් තබා සිගරැට්‌වත් නොබොන අතිශය සංවේදී දිවක්‌ හා රස නහර ඇත්තෝය. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වී ගොවිතැන ද ඉතාම සුළු පරිමාණ වගාවක්‌ වන හෙයින් එමගින්ද කළු ගඟට රසායන වසවිෂ එක්‌වන්නේ ඉතාම සුළු වශයෙනි. කළු ගඟේ ජලය පානයට හා ස්‌නානයට සුදුසු බව කළුගං මෝය අසල ගඟත් මුහුදත් අතර වෙසෙන මේ ලිපිය ලියන මා අත්දැකීමෙන් ම දන්නේ කළු ගඟේ පීනා නා කළු ගඟේ වතුර බොන මගේ ජීවිත අවබෝධය මගිනි. අද දක්‌වා අවුරුදු දහයක්‌ තරම් කාලයක්‌ කළු ගඟේ පීනා නා කළු ගං ජලය පානය කළ මට කිසිම නරක ලෙඩක්‌ වැළඳී නැත.

කළු ගඟත් මුහුදත් අතර අනගාරික ආශ්‍රමයේ වෙසෙන මගේ ඇස්‌ ඉදිරියෙන් නිතිපතා මුහුදට ඇදී යන පානයට සුදුසු කළු ගං ජලකඳ ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් විසි ගුණයක ජනතාවකගේ පානීය ජල අවශ්‍යතා ඉටුකිරීමට තරම් ප්‍රමාණවත්ය. මේ මහා ජලකඳ වයඹ පළාත හා උතුරු මැද පළාත ඔස්‌සේ උතුරට ගෙනගියහොත් වකුගඩු රෝග අවසන්කර වගාවට අවශ්‍ය ජලය ද සපයා යාපනය දක්‌වා මුළු භූමියම සරුසාර කෙත් යායක්‌ බවට පත්කළ හැකිවනු නියතය. යාපනය දක්‌වා ජනතාවට ජලය සැපයුවහොත් බෙදුම්වාදී මතවාදයේ පැවැත්ම අවසන්වනු ඒකාන්තය. ලංකාවේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඉටුකර තමිල්නාඩුවටත් අඩු මිලට පානීය ජලය සැපයුවහොත් ලක්‌වැසි ජනතාවගේ ආර්ථිකයද ශක්‌තිමත් වී තමිල්නාඩුවේ දේශපාලන සතුරන් පවා මිතුරුවනු ඇත. රුහුණත් උතුරු නැගෙනහිර ඇතුළු රටේ සෑම ප්‍රදේශයක්‌ම ජලය මගින් එක්‌සේසත් කළ හැකි බව වසභ, මහසෙන්, අග්‍රබෝධි හා පැරකුම්බා සමයන්හි ඉතිහාසය මගින් ඔප්පුවී තිබේ. ජලය තම වස්‌තුව යෑයි ප්‍රකාශ කරමින් කලා, බලලු වැව් ඇතුළු වැව් පද්ධතියක්‌ කරවා ලෝක උරුමයක්‌ බවට පත්කරවූ යෝධ ඇලත් (ජය ගඟත්) තැනවූ ධාතුසේන රජතුමා ආදර්ශයට ගෙන තම බටහිර අනුකාරක තණ්‌හාභරිත ජීවිත වෙනස්‌කර ගන්නට මැති ඇමැතිවරුන් මෙන්ම නිලධාරි බලවතුන්ද පෙළඹුණහොත් කළු, කැලණි, වලවේ, ගිං, නිල්වලා, දැදුරු, මාදුරු ගංගා රටට ජනතාවට ආශිර්වාදයක්‌ වනු ඇත. එසේ නොවී තණ්‌හා ඕඝයට යටවී බටහිර අනුකාරක අවිචාරවත් කාර්මික කරණයේ මග ගතහොත් අත්තනගළු ඔයට සිදු වූ දේ ශ්‍රී ලංකාවේ අනෙක්‌ ගංගාවලටද සිදුවී ජනතාව පක්‍ෂ භේදයෙන් තොරව ජීවත්වීමේ අයිතිය උදෙසා එක්‌වී නැගී සිටිනු ඒකාන්තය.

මොරටු ගඟ මෙන්ම කැලණි ගඟට සම්බන්ධ හෝමාගමට කිට්‌ටු වක්‌ඔයද අවිචාරවත් කාර්මිකකරණයෙන් දූෂණය වී ඇති අතර බෙන්තර ගඟද ධර්ගා නගරය හා අවිධිමත් සංචාරක ව්‍යාපාරය නිසා දූෂණය වෙමින් පවතී. ගිංගඟේ ගිනිමුල්ලගහ ප්‍රදේශයෙන් පහළ කොටසත් නිල්වලා ගඟේ කද්දුව හා වැල්ලතොටින් පහළ කොටසත් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය කාර්මික, වාණිජ, නාවික හා ගුවන් මධ්‍යස්‌ථානයක්‌ කරන්නට දරන අවිචාරවත් ප්‍රයත්නය නිසා වලවේ ගඟේ පහළ කොටසත් දූෂණය වී කුමන කුරුලු පාරාදීසය හා යාල අභයභූමියද පරිසර විකෘතියට ගොදුරුවිය හැකි වනු ඇත. මහවැලි ගඟේ ජලය එහි ජල පෝෂක ප්‍රදේශවල අවිචාරවත් පලිබෝධ නාශක වස විෂ හා හානිකර රසායන පෝර භාවිතය නිසා දූෂණය වේ.

අයතුල්ලා කුමේණිගේ නායකත්වයෙන් නිරායුධව ටෙහෙරාන් අගනුවරට එක්‌රොක්‌වූ දසලක්‍ෂ සංඛ්‍යාත නිරායුධ ජනතාව හමුවේ රට හැර පලා යන්නට ඇමෙරිකන් ගැති "ෂා" රජුට සිදු වූ බව ශ්‍රී ලංකාවේ මැති, ඇමැතිවරුන් මෙන්ම නිලධාරීන්ද අමතක කළ යුතු නොවේ. ලොව සුපිරි බලවතා වූ ඇමෙරිකාවට දහස්‌ ගණන් යුද්ධ ටැංකිද අතහැර දමා වියට්‌නාමයෙන් පසුබැස යන්නට සිදුවූයේ වියට්‌නාම විමුක්‌තිකාමීන්ට ජාතික අධ්‍යාත්මික ශක්‌කිය දෙමින් දිවි පිදූ "ක්‌වාන්ඩක්‌" හිමියන් ප්‍රමුඛ දස දහස්‌ ගණන් භික්‍ෂුන් වහන්සේලාගේ කැපවීම නිසා බව ලොවම දන්නා සත්‍යයකි.

"ක්‌වාන්ඩක්‌" හිමියන් ප්‍රමුඛ විමුක්‌තිකාමී භික්‍ෂූන් වහන්සේලාගේ කැපවීම ඇමරිකා සුපිරි බලවතා පලවා හරින්නට සමත් වූ බව අවධාරණය කළ මේ ලිපිය අවසන් කිරීම සඳහා වියට්‌නාමයේ බිහිසුණු යුද සමයේ සාමය පතා ඇමෙරිකාවට ගොස්‌ ජනතාව ආකර්ෂණය කරන අන්දමින් සංහිඳියාවේ මෛත්‍රී චින්තනය පැතිර වූ "තිව් ඤතාන්" හිමියන්ගේ පොතකින් කුඩා ඡේද දෙකක්‌ ගෙනහැර දැක්‌වීම පලදායක වේ යෑයි මම සිතමි. (මේ ඡේද උපුටා ගත්තේ පූජ්‍ය මණ්‌ඩාවල ප
ඤ්ඤ්වංශ හිමියන්ගේ පරිවර්තනයෙනි).

"ගැඹුරින් දැකීම පිණිස අප වස්‌තු දෙස ගැඹුරින්ම බැලිය යුතුය. පිහිනන්නා හෝ පිහිනන්නිය ගංගාවේ පැහැදිලි ජලයෙන් සතුටට පත්වන කල ඔහුට හෝ ඇයට ගඟ බවට පත්වන්නටද හැකිවිය යුතුය. මගේ පළමු ඇමෙරිකානු සංචාරයේදී දිනක්‌ මම බොස්‌ටන් සරසවියේ හිතවතුන් පිරිසක්‌ සමඟ දිවා දානය ගන්නට සූදානම් වෙමින් සිටියෙමි. ඒ අතර මම "චාල්ස්‌ ගඟ" දෙස බැලුවෙමි. මා ඒ වන විට මගේ රටින් පිටවී කාලයක්‌ ගතවී තිබුණු බැවින් දො ගඟක්‌ දැකීම සුන්දර දසුනක්‌ විය. මගේ මිතුරන් වෙතින් ඉවත්ව මම පහළට බැස ගඟෙන් මුහුණ හා දෙඅත්, දෙපා දොවාගන්නට කල්පනා කළෙමි. මම අපේ රටවල කරන ආකාරයට මගේ දෙපා ගඟේ වතුරේ බහාලුයෙමි. මා ආපසු ආ කල එක්‌ මහාචාර්යවරයෙක්‌ මට මෙසේ කීය. එහෙම කිරීම ඉතාම අවදානම් වැඩක්‌. ඔබවහන්සේ ගඟේ වතුරෙන් කට සේදූවා නම් වහාම වෛද්‍යවරයෙක්‌ හම්බවෙල, බෙහෙත් ගන්න ඕනැයි කීය".

"මට එය මහත් විශේෂ සිද්ධියක්‌ විය. මෙහි ගංගා එතරම් දූෂණය වී ඇති බව මම දැන නොසිටියෙමි. සමහර ගංගා හඳුන්වන්නේ "මළගිය" ගංගා යනුවෙනි.
අපේ රටේ ගංඟා සමහර විට බොහෝ මඩසහිත වන්නට පුළුවන. ඒවායේ මේ ආකාරයේ විෂ සහිත ලෙස අපිරිසිදුවීමක්‌ දකින්නට නැත. ජර්මනියේ රයින් නදිය කෙතරම් දූෂණය වී ඇත්ද යත් එහි ඡායාරූප ඩෙවලොප් කරන්නට හැකි වෙතැයි කෙනෙක්‌ මා සමඟ කීය. අපට අපගේ ගංගාවන්ගෙන් තවදුරටත් ආශ්වාදය ලබන්නට අවශ්‍ය වේ නම්, ඒවා තුළ පිහිනන්නට, ගං ඉවුරේ සක්‌මන් කරන්නට හා වතුර බොන්නට අවශ්‍ය වේ නම් අපට අද්වෛත දෘෂ්ටියක්‌ ඇතිකර ගන්නට සිදුවන්නේය. අප මනසින් ගඟ බවට පත්වීමේ භාවනාව කළ යුතුය. එවිට ගඟට වන දේ අපටද දැනෙන්නට පටන් ගන්නේය. අපට ගංඟා, කඳු, වාතය, සතුන් හා වෙනත් ජනතාවන් ඔවුන්ගේ දෘෂ්ටියෙන් ඒවායේ ස්‌වභාවයෙන් නොදැනේ නම් ගංගා මිය යන්නේය".

ලෝ පතළ තිව් ඤාතාන් හිමියන් පෙන්වාදෙන ආකාරයට අපද සාමය හා සංහිඳියාව අපේක්‍ෂා කරන්නේ නම් ජීවයෙන් පිරුණු සුන්දර ගංඟා මළගිය ගංගා බවට පත්කළ අවිචාරවත් කාර්මිකකරණය හා ස්‌වාභාවික වනාන්තර විනාශ කරමින් කොන්ක්‍රීට්‌ වනාන්තර නිර්මාණය කිරීම ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය.

මහ බෝසත් බුද්ධදාස රජතුමාගේ ආදර්ශය අපේ යුගයේ පාලකයන්ගේ ගැඹුරු අවධානයට ලක්‌විය යුතුය. ජනතාවද පුංචි ලස්‌සන ගෙවල් සමඟ උයන්වතු වන් ලොකු ගෙවතු නිර්මාණය මගින් රට පුරා පරිසරය රැකගන්නට කැපවිය යුතුය. ඒ සමඟ මුළු රටම එක හදින් එක්‌වී කළු, කැලණි, වලවේ, ගිං, නිල්වලා, දැදුරු, මාදුරු, මල්වතු ගංගා සුරැකිව රැකගත යුතුය. සැමදෙන දැහැමි වේවා· සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

අනගාරික ධර්මසේකරතුමා

http://www.divaina.com/2013/08/17/feature02.html

0 comments: