Pages

Wednesday, September 11, 2013

57 වැනි වරටත් පැවැත්වෙන ගැටබරු ඇසළ මහා මංගල්‍යය

මාතර දිස්‌ත්‍රික්‌කයේ මොරවක්‌ කෝරළයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටි ඉපැරණි රඡ්ජුරු බණ්‌ඩාර දෙවොල හෙවත් ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ 57 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික ඇසළ මංගල්‍යය මෙවරද මෙම මස 14 වන දින අළුයම 5.52 ට යෙදෙන සුබ මොහොතින් කප්සිටුවීමෙන් ආරම්භ වීමට නියමිතය.

ගැටබරු රජමහා විහාරය ඓතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක්‌ ගන්නා පුදබිමකි. විශේෂයෙන්ම ඉපැරණි මානවයන් විසූ බවට සැලකෙන ඉපැරැණි ලෙනක්‌, ඓතිහාසික වටිනාකමකින් යුත් ඉපැරැණි රජමහා විහාරයක්‌ ලෙසත්, දක්‍ෂිණ දීපයේ ජනීජනයාගේත් ශ්‍රී ලාංකීය බොහෝ බෞද්ධ ජනතාවගේත් අචල විශ්වාසයටත් ගෞරවාදරයට පත් ගැටබරු රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් වෙනුවෙන් තැනූ දේවමන්දිරයක්‌ ලෙසත් මෙම පුදබිම බෞද්ධයන්ගේ භක්‌ත්‍යාදරයට වර්තමානය වන විට පත්වී ඇත. විශේෂයෙන්ම දකුණේ වැසියන් තුළ රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ට පවතින්නේ ගෞරවාන්විත භක්‌තියක්‌ මෙන්ම ගෞරව සම්ප්‍රයුක්‌ත බියකි. ගැටබරු රජමහා විහාරය මුහුදු මට්‌ටමින් අඩි 1500 උසින් පිහිටි ගැටබරු ශිඛකරය තුළ පිහිටා ඇති අතර, රක්‌වාන හෙල් වැටියටත්, සිංහරාජ කඳු වළල්ලටත්, මොරවක්‌ කඳු වළල්ලටත් මැදිව පිහිටා ඇත. මෙම ඓතිහාසික පුදබිමේ විද්‍යමාන වූ පෞරාණික ලක්‍ෂණ කිසිවක්‌ අද කියෑවිය නොහැකි මට්‌ටමකට නවීකරණය වී ඇත. කටාරම් කොටන ලද ලෙන අදටත් දැක ගත හැකිය. මෙහි පිහිටා තිබෙන චෛත්‍යය සහ බෝධීන් වහන්සේගේ පෞරාණිකත්වය තීරණය වන කිසිදු සාක්‍ෂියක්‌ මේ වන තෙක්‌ සොයා ගැනීමට නොහැකි වී තිබේ.

ගැටබරු රජමහා විහාරයේ ආරම්භය වළගම්භා රජුගේ රාජ පාලන කාලයේ මෙරට බෞද්ධ ජනතාව වෙනුවෙන් දායාද වූ බව සැළකේ. රුහුණේ වෙසෙන දෙවිවරුන් අතර කතරගම දෙවියන්ගේ බල පරාක්‍රමය, තේජස, කීර්තිය සම කළ හැකි දෙවියකු නොමැති බව බොහෝ ජනතාවගේ විශ්වාසයයි. තේජාන්විත මහාබල පරාක්‍රම, කතරගම දෙවිඳුන් හැරුණු විට ඊළග ප්‍රධානතම දෙවියන් ලෙස රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් ඇතමුන් සලකන අතර, කතරගම දෙවිඳුන්ගේ සමීපතම මිතුරකු ලෙසත් රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් සැලකේ.

වාර්ෂිකව දහස්‌ ගණනක්‌ ජනතාව තමන්ගේ දුක්‌ අඳෝනා, හාරහාර, අවලාද, සෙත් ශාන්ති වෙනුවෙන් පූජා පැවැත්වීමට මෙම පුදබිම වෙත පැමිණෙන්නේ මෙහි වැඩවාසය කරන රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේ ඇති බල මහිමයත්, මෙම පුදබිමේ ඇති ඓතිහාසික වටිනාකමත් නිසාය. මෙවර ගැටබරු රජ මහා විහාරස්‌ථානයේ ඇසළ මංගල්‍යයේ පළමු වැනි පේළි පෙරහැර මෙම මස 15 වැනි දින හිඟුරුපනාගල දී සවස 2.00 ට ආරම්භ වී සිට ගැටබරු රජ මහා විහාරස්‌ථානයට පැමිණෙන අතර, දෙවන පේළි පෙරහැර 16 වැනි දින වරල්ලේ සිට සවස 2.00 ට ආරම්භ වී ගැටබරු රජ මහා විහාරස්‌ථානයට පැමිණෙන අතර, තෙවැනි පේළි පෙරහැර 17 වැනි දින කොස්‌මෝදර දී ආරම්භ වී ගැටබරු රජ මහා විහාරස්‌ථානයට පැමිණෙන අතර එදිනෙන් පේළි පෙරහැරවල් අවසන් වේ. 

මෙම මස 18 වැනි දින පළමු වැනි රන්දෝලි මහා පෙරහැර රාත්‍රී 9.00 ට ගැටබරු රජ මහා විහාරස්‌ථානයෙන් ආරම්භ වී මොරවක්‌ කෝරළයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය දක්‌වා ගමන් කර නැවතත් ගැටබරු රජ මහා විහාරස්‌ථානයට ගෙවැදීමෙන් අවසන් වේ. දෙවැනි රන්දෝලි මහා පෙරහැර 19 වැනි දින රාත්‍රී 9.00 ට ආරම්භ වී ගල්දොල මංසන්දිය දක්‌වා ගමන් කොට නැවත ගැටබරු රජ මහා විහාරස්‌ථානයට ගෙවැදීමෙන් මෙවර පෙරහැර කටයුතු අවසන් වේ. මෙම 20, 21 යන දිනවලදී උඩ මළුවේදී දේව තොවිලය පැවැත්වෙන අතර, 21 වැනිදා අළුයම ගිනි පෑගීමෙන් හා දහවල් දේව දානයෙන් අනතුරුව සමස්‌ත ගැටබරු රජ මහා විහාරස්‌ථානයේ ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
http://www.divaina.com/2013/09/10/provin11.html

0 comments: