Pages

Monday, September 2, 2013

පිල්ලේගේ මාධ්‍ය හමුව

කොටි සංවිධානය විවිධ අපරාධ රැසක්‌ සිදුකළ මිලේච්ඡ සංවිධානයක්‌ බවත් එහි ප්‍රතිරූපය ඉහළ නැංවීමට දෙමළ ඩයස්‌පෝරාව ක්‍රියාකළත් ඒ සඳහා කිසිදු ඉඩක්‌ නොලැබෙන බවත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ කරුණු ප්‍රකාශ කළේ පෙරේදා (31දා) එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින කොටි දෙන තමා බවත් කොටින්ගේ අරමුදල් මත තමා යෑපෙන බවත් දක්‌වමින් ශ්‍රී ලංකාවේ ඇතැම් ඇමැතිවරුන් ප්‍රචාරයක්‌ කරමින් අවලාද නගන අතර එය එදිරිවාදිකම් ලෙස තමා දකින්නේ යෑයිද මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ පෙරේදා (31දා) දහවල් කොළඹදී පැවැසුවාය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට බාහිරව නවනීදන් පිල්ලේ මහත්මිය බී. බී. සී. සහ අල්ජසීරා විදෙස්‌ මාධ්‍ය ආයතන වෙනුවෙන් වෙනම සාකච්ඡාවක්‌ කළාය.

"මම දකුණු අප්‍රිකානු කාන්තාවක්‌. ඒ ගැන මා ආඩම්බර වෙනවා. කොටි සංවිධානය විවිධ අපරාධ සිදුකළ අපරාධකාරී සංවිධානයක්‌. කොටි සංවිධානය සිහිපත් කිරීමට ඩයස්‌පෝරාවේ පිරිස්‌ ක්‍රියාකරනවා. නමුත් එවැනි ම්ලේච්ඡ සංවිධානයක ප්‍රතිරූපය නැංවීමට කිසිදු ඉඩක්‌ ලැබෙන්නේ නැහැ යෑයිද ඇය කීවාය. කොටි සංවිධානයත් ශ්‍රී ලංකා රජයත් ක්‍රියාකළ ආකාරය සම්බන්ධව ස්‌වාධීන අපක්‍ෂපාතී විමර්ශනයක්‌ අවශ්‍ය බවද සහජීවනය නිසිලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් තුවාල සනීප කළ නොහැකි බවද ඇය කීවාය.

ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිලා - නීතිය විනාශ වෙනවා යෑයි පැවසූ නවිපිල්ලේ රට ආඥදායක මාර්ගයකට පිවිසෙන ලකුණු වැඩියෙන් දක්‌නට ලැබෙන බව කියා සිටියාය.

මෙහිදී මාධ්‍ය ඇගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.

"ඔබ ශ්‍රී ලංකාවට පමණක්‌ යුද අපරාධ චෝදනා නගනවා. එසේනම් කොටි සංවිධානයේ එකම නියෝජිතයා ලෙස ක්‍රියාකළේ ද්‍රවිඩ සන්ධානයයි. ළමයින්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලුවේ ඇඩෙලා බාලසිංහම්. කොටි සංවිධානයට සම්බන්ධ රුද්‍රකුමාරන් අන්තර්වාර ඊළම් ආණ්‌ඩුව නමින් සංවිධානයක්‌ ඇමරිකාවේ පිහිටුවාගෙන සිටිනවා. මේ අය සම්බන්ධව මානව හිමිකම් කවුන්සල පූර්ණ ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කළයුතු යෑයි නොකියන්නේ මන්ද?

නවි පිල්ලේ මහත්මිය ඊට ප්‍රතිචාර දක්‌වමින් එවැනි පාර්ශ්වයන් ගැන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා මත ක්‍රියාකළ යුතු බව කීවාය. එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළයුතු යෑයි ශ්‍රී ලංකාවට කියා සිටින නවි පිල්ලේ මහත්මියගෙන් ලොව වෙනත් රටවල් එවැනි විමර්ශනවලට එකඟවී ඇත්දැයි විමසූවිට ඇය පැවසුවේ නැගෙනහිර ටිමෝරය සහ කුර්ගිස්‌ථානය එවැනි විමර්ශනවලට එකඟවී ඇති බවය.

මානව හිමිකම් කොමසාරිස්‌වරිය තවදුරටත් මෙලෙස කීවාය.

"විරෝධතාවන් පාලනය කිරීම සඳහා පොලිසියේ සහායට හමුදාව යෑවීමෙන් රතුපස්‌වල තිදෙනකු මියගියා. එය ප්‍රජාව කම්පනයට පත්කළ සිද්ධියක්‌. මෙකී සිද්ධිය ගැන නිසි විමර්ශනයක්‌ පවත්වා වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කළ යුතු යෑයි මා ආරක්‍ෂක ලේකම්වරයාට කියා සිටියා.

ත්‍රිකුණාමලයේ මුතූර්හි සහන සේවකයන් හා සිසු ඝාතනය ගැන සිදුකෙරෙන විමර්ශන ගැන තමා නිරීක්‍ෂණය කරන බව පළකළ නවිපිල්ලේ මහත්මිය යුද හමුදාවට එල්ලවී ඇති චෝදනා ගැන විමර්ශනය කිරීමට නිසි ජාතික යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කරනතුරු අන්තර්ජාතික පරීක්‍ෂණයක්‌ ඉල්ලීම තවදුරටත් සිදුවන බවද කීවාය.

උතුර හා නැගෙනහිරදී තමා ඇතැම් පාර්ශ්වයන් සමඟ රහස්‌ සාකච්ඡා පැවැත්වූ බව පිළිගත් නවි පිල්ලේ මහත්මිය එකී සාකච්ඡා මාධ්‍යයට හෙළිකළ නොහැකි බවද කියා සිටියාය.

උතුරේ රාජ්‍ය නොවන සංවිධාන කටයුතුවලට සීමා පනවා ඇති බවට තමා වෙත තොරතුරු ලැබුණු බව කී නවි පිල්ලේ මහත්මිය එකී සීමාවන් ඉවත්කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද සඳහන් කළාය.

උතුරේදී හා නැගෙනහිරදී ලැබුණු පැමිණිලිවල සත්‍ය අසත්‍ය බව දැනගන්නේ කෙසේදැයි මානව හිමිකම් කොමසාරිස්‌වරියගෙන් විමසූ අවස්‌ථාවේ ඇය ඊට ප්‍රතිචාර දක්‌වමින් සත්‍යය දැනගැනීමට ජාත්‍යන්තර විමර්ශනයක්‌ කිරීමෙන් හැකිවන බවද කීවාය.

නවි පිල්ලේ මහත්මිය විනාඩි පහළොවක්‌ තිස්‌සේ සිය පිටු හයක වාර්තාව ගැන විස්‌තරාත්මක විග්‍රහයක යෙදුණාය.

ඇය මෙම වාර්තාවෙන් ශ්‍රී ලංකා රජයට හා හමුදාවට චෝදනා කළාය.

තමා රාජ්‍ය නොවන සංවිධාන සමඟ අට වතාවක්‌ සාකච්ඡා කළ බවද ඇය පිළිගත්තාය.

වසර 27 ක්‌ තිස්‌සේ පැවැති යුද්ධය සමයේ ක්‍රියාදාමයන් හා අවසාන සමයේ සිදුවූ දේ ගැන තමා නිරීක්‍ෂණය කරන බවද ඇය කීවාය.

කීර්ති වර්ණකුලසූරිය

0 comments: