Pages

Tuesday, May 13, 2014

ජලතලාවක්‌ ගිනිතලාවක්‌ කළ ෆයිනස්‌ සාපය

ෆයිනස්‌ වගාවට අද වන විට වසර 40 ක්‌ ගත වෙයි. මේ මාර්තු මාසයද ගත වන අද දවසේ නිල් පැහැයෙන් දිදුලන අහසේ චණ්‌ඩ හිරු කිරණ පතිත කරන්නේ පරිසරය දවාලමිනි. එදා මේ කුළුවලින් පිරුණ අහස හත්දහ වැසි දිවා රෑ පතිත වූයේ චිචිරි චිරි චිචිරි උදේ සිට ඇද හැළෙමිනි. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිටම මේ දක්‌වා දියතලාවට පමණක්‌ නොව, ඌව පළාතටම නිසි පරිදි ආවේණික වර්ෂාවක්‌ පතති නොවූ බව අත්දැකීමෙන් පවසන්නේ මහත් වගකීමකින් යුතුවයි. 

කාන්තාරයක්‌ ක්‍ෂේම භූමියක්‌ බවට පත් කළ හැක්‌කේ ගසකට පමණි" යන්න පිළිගත් න්‍යායෙකි. ක්‍ෂේම භූමියක්‌ බඳුවූ දියතලාව නම් රමණීය පුරවරය දස වසරකටත් අඩු කාල පරාසයකදී ගිනිතලාවක්‌ බවට පත් කරමින් "ක්‍ෂේම භූමියක්‌ කාන්තාරයක්‌ බවට පත් කළ හැක්‌කේ ගසකට පමණි" යනුවෙන් අලුත් න්‍යායක්‌ නිර්මාණය කරන්නට ආනයනික ෆයිනස්‌ ගස සමත්වී ඇත. ප්‍රායෝගිකව ප්‍රත්‍යක්‌ෂ කොට පෙන්වා දෙන ලද මේ යථාර්ථය දැක ගනිමින් දැනගන්නට මග පෙන්වීමක්‌ ලෙස දියතලාවේ අතීත අත්දැකීම් හා ගලපා බැලීමක්‌ පිණිස මෙම ලිපිය සම්පාදනය කරමි.

පැරැන්නන් දියතලාව හඳුන්වා ඇත්තේ ජල "උන්නාව" නමිනි, එදා අව්‍යාජ ගැමියා ඒ නාමය ව්‍යවහාර කරන්නට ඇත්තේ පතන බිම්, කුඩා කඳු ගැට, දෙණි, බෑවුම්, තෘණ පිට්‌ටනි, ආදී සෑම තන්හිම විසිරී තිබුණ ජල මුලාශ්‍රවලින් බුබුළු දමමින් පැන නගින ලද පිරිසිදු දිය දහරින් යුක්‌ත වු බැවිනි. කඳුකර ශිතාධික ප්‍රදේශයක්‌ වූ දියතලාව, එදා යුරෝපීය දේශගුණයට අතිශයින්ම සමාන පුරවරයක්‌ විය. මේ නිසා යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සෙබළුනට නිවාඩු ගත කිරීම සඳහා මෙහි කඳවුරු පිහිටුවන ලද හෙයින් පුංචි එංගලන්තය නමින් දියතලාව ලොව ප්‍රකට විය. මෙහි පතන් බිම් අතර පිහිටි තණ පිට්‌ටනි ඔවුන්ගේ ගොල්ෆ් ක්‍රීඩාවට බෙහෙවින් අත්‍යවශ්‍ය වූවකි.

ජල උන්නාව දියතලාව ලෙස පරිනාමයට පත්වීම පිළිබඳව අදහස්‌ රාශියකි. ඌවේ නම් ගම් ගැන අර්ථ දක්‌වමින් ආචාර්ය පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල සූරීන් විසින් රචිත "ඌවේ තොරතුරු" නම් ග්‍රන්ථයෙහි "ඈතට දිස්‌වන ජලතලාවක්‌ බඳු වූ හෙයින් ජලතලාව, දියතලාව නම් විය. යන ලෙසට ලියා ඇත. පණ්‌ඩිත නාඋල්ලේ ධම්මානන්ද හිමිපාණන් විසින් 1944 දී සිය පණ්‌ඩිත උපාධිය සඳහා ලියන ලද "ඌවේ ඉතිහාසය" නම් පර්යේෂණ ග්‍රන්ථයෙහි දියතලාව ගැන ලියන්නේ "සම භූමියට තලාව යයි කියති. එහෙයින් දිය පිරුණු තලාව දියතලාව නම් විය. ශීත සෘතුවේ දී උදය කාලයක මෙම දෙස බලන විට තණ මත රැඳුණු පිණි බිඳු එකම ජලතලාවක්‌ මෙන් දුරට පෙනෙයි" යන ලෙසිනි. මුළු රැය පුරාම තුෂර මෙන් ඇද හැලෙන පින්න පතන බිම් හි තණ අග රැඳි ලා හිරු රැසින් දිදුලන විට රිදී තැටියක්‌ මෙන් දිස්‌වනු ආකාරය තවමත් අප සිත් තුළින් බැහැරව ගොස්‌ නැත. සමහර දිනවල හිමිදිරි උදැසන මේ රිදී තලාව ඝන මිහිදුම් සේලයෙන් වැසී ගිය විට මැවුනා වූ අතිශය සෞන්දර්යාත්මක විචිත්‍ර දර්ශනය විශ්මය ජනක විය. එතරම්ම මනස්‌කාන්තය.

නැගෙනහිර සිට දකුණ හරහා බටහිර දක්‌වා විහිදී ගිය හපුතල කඳුවැටිය දියතලාව වටා පිහිටි ස්‌වභාවික ආරක්‍ෂක පවුරක්‌ මෙන් විය. එසේම දියතලාව ජලාශ්‍රිත කොට "ජලතලාව" නිර්මාණය කිරීමට පිටිවහලක්‌ වූයේද මේ කඳු පෙළයි. එය සදා හරිත වනගහනයෙන් යුත් ඝන නිල්ලෙන් දිදුලන්නක්‌ විය. ඒ මැදින් ඇද හැළෙන රිදී කඳන් වැනි දියදහරා නිල් පලසක ඇඳි රිදි රේඛාවන් සේ දිස්‌ වූයේ සොබාදහමේ විචිත්‍ර බව කියා පාමිනි. හපුතල හා ඉදල්ගස්‌හින්න කපොලුවලින් ශීත සෘතුවේදී ඇතුළුවන සහ මිහිදුමෙන්, මේ නිල්වන් කඳුවැටියත්, දියතලාව ප්‍රදේශයත් වැසී යන්නේ සිහින ලෝකයක දර්ශනය මවා පාමිනි.

වසර පුරාම නොසිඳී ගලා ගිය මේ දියකඳුරු කඳුගැට අතරින් ඇදහැළෙද්දී නිර්මාණය වන ලොකු කුඩා දිය ඇළි සංඛ්‍යාව අප්‍රමාණය, "ඔබ දිය ඇළි දැකීමට කැමැත්තේ නම් දියතලාවට යන්න" යනුවෙන් ලෙනාඩ් වුල්ෆ් විසින් සිය කෘතියක සඳහන් කර ඇත්තේ මේ දිය ඇළි දැක විය යුතුය. දියතලාව මෙන්ම සමස්‌ථ කඳුකරය පුරාම විහිදී ගිය මේ දිය කඳුරු හරස්‌ කර තනන ලද කුඩා අමුණු මගින් කඳු බෑවුම් හරහා දිවෙන ඇළ මාර්ග මගින් ගෙන යන ජලයෙන් කඳුකරයට අලංකාරයක්‌ වූ හෙල්මැලි කුඹුරු යල, මහ දෙකන්නයේම ගොවියා සවිමත් කළේය. හෙල්මැලි කුඹුරුවල වක්‌කඩ වලින් ඇද හැළෙන දිය දහරාවන්ගෙන් සෑදෙන කුඩා දිය ඇළි විමානයක්‌ එදා දක්‌නට ලැබුණි.

වසර පුරා නොසිඳි ගලා යන මේ දිය දහරාවන් නිල් මැණික්‌ කඳන් සේ පිරිසිදු ජලයෙන් පිරී තිබුණි. ඒවා ඊසාන දිග මෝසමේදී හය මාසයක්‌ම වට අනෝරා වැස්‌සෙන් උතුරා ගලා යන්නට විය. ඉතිරි හය මාසය තුළද කඩින් කඩ වසින සංවහන, නිරිත දිග මෝසම් හා වාසුලි වැසි නිසා වසරේ මාස දොළොස තුළම දියතලාවේ ජල තලාව වඩ වඩාත් පැතිරී යන්නට විය.

ලක්‌ දිවයිනට ආවේනික වූ දේශගුණික හා කාලගුණික රටාව අනුව, නවම් හා ඇසළ, නිකිණි මාස තුන දියතලාවටද උණුසුම් කාලගුණයක්‌ පැවැතියේය. එහෙත් රැය පුරා ඇද හැළෙන තුෂර හා උදේ පාන්දර නැගෙන මිහිදුමත්, අධික වර්ෂාව නිසා තෙත බරිත වන පොළෝ තලයත්, ඉවුරු පිසිමින් ගලන දිය කඳුරුවලින් ඇතිවන තෙතමනයක්‌ නිසා කිසි දවසක පරිසරයේ වියළි බවක්‌ එදා අත්විඳින්නට නොලැබිණි. සෑම කල්හිම වායු ගෝලය ජල වාෂ්පයෙන් පිරී පැවතුන බැවින් සූර්ය රශ්මියේ සෞම්‍ය භාවය, ගතට මෙන්ම සිතටද අපමණ සුවයක්‌ ගෙන දුනි.

සත්ත්ව හිතවාදී පරිසර පද්ධතීන් අතර ලෝකයේ තුන්වන ස්‌ථානය හිමිකරගත් ප්‍රදේශයක්‌ ලෙස, දියතලාව ප්‍රසිද්ධියට පත්ව තිබුණි. විශේෂයෙන් පරම ලාභය වන ආරෝග්‍යය, දියතලාවේ වැසියාට පමණක්‌ නොව, සියලු සත්ත්වයාට හා ගහකොළ වලටද, සොබා දහමින් උරුම වූ අමිල දායාදයක්‌ විය. ජීවයේ හට ගැන්මත් සමඟම, විෂ ද්‍රව්‍යයද හටගත් බව සාමාන්‍ය පිළිගැනීමකි. දියතලාවටද එය පොදු වූවක්‌ විය. එහෙත් සොබාදහමේ සාම්ප්‍රදායික රාජ නියෝගයක්‌ ලෙස අධික ශීත දේශගුණය හා සීත සුළංරැළි, නිසිකලට ඇදහැළෙන ගිගුරුම් සහිත අනෝරා වැසි හා අයිස්‌ වැසි දෙගොඩතලා යන ජල ධාරා, ජලජ හා ජලචර ජීවීන් හා ශාක වර්ග ආදිය සෞඛ්‍ය සේවා කටයුතු භාරකරුවන් වශයෙන් දිලීර වෛරස්‌ බැක්‌ටීරියා හා බැරලෝහ යන සියලු රෝග කාරක, සපුරා පලවා හැරීමේ මහ ජාතික මෙහෙවර නොවලහා ඉටු කරන්නට වූහ. මේ නිසා දියතලාව අවට වැසියා වකුගඩු රෝග වැනි විපත් සිහිනෙනුදු අසාවක්‌ නැති බව සත්‍යයක්‌ විය. එදා වැසි සම්පත විසින් වසරකට වරක්‌ හා වසර දහයෙන් දහයට මෙන් මහ ගංවතුර තත්ත්වයක්‌ ඇති කොට රට සෝදා පිරිසිදු කර සියලු රෝග වාහකයන් සාගරය දක්‌වා තිරසාර ලෙසම පලවා හැරීමේ වගකීම අකුරටම ඉටුකරන ලද බව අද කිසිම බලධාරියෙකු සිහි නොකිරීම සොබාදහමට කරන මහත්ම අකෘතඥතාවක්‌ බව යෝනිසෝ මනසිකාරයට ගත යුතු ඇත්තකි. වැස්‌ස පිටාර ගැලීම (ගංගා ආදිය) එදා මානවයාට හෝ ජීවියාට අහිතකර වූවක්‌ නොවීය. අන් රටවලට මෙන් ජීවයේ පදනම වන ජලය ආශ්‍රිත වර්ෂාව, ගංවතුර, ජෛව විවිධත්වය, හිරු කිරණ, හිම පතනය හෝ කුණාටු ආදී කිසිවක්‌ විපත් පිණිස නොවූ අතර ඒ සියල්ල මානවයාගේ යහ පැවැත්ම සඳහා අතිශයින්ම පිටිවහලක්‌ වීම පිණිස සැලසුම් කොට සොබා දහම විසින් දායාද කළ ඒවා විය. බුද්ධාන්තර කාලයක පටන් ජල තලාවක පිහිටි දියතලාව හැත්තෑව දශකය දක්‌වාත් සොබා උරුමයන්ගෙන් අනූනව පැවති බව අප අමතක කළ යුතු නොවේ. එසේ නම් ගතවූ වසර තිහක්‌ (30) ක්‌ වැනි කෙටි කාලපරාසයකදී සොබා දහම උඩු යටිකුරු කිරීමේ වගකීම ගෝලීයකරණයට පමණක්‌ පවරාදීම යනු යථාර්ථය නොවන බව කල්පනා කළයුතු කාලය පැමිණ ඇත.

මේ භූමියට ආගන්තුක වූ ආනයනික ෆයිනස්‌ ශාකය ව්‍යාප්ත කළේ හැත්තෑව දශකයේදීය. එහි පතන බිම් ආවරණය කරමින් ෆයිනස්‌ වනය ඉතා ශීඝ්‍රයෙන් වැඩෙන්නට විය. දවසින් දවස දියතලාවට ආවේණික වූ සොබා උරුමයන් අහෝසි වී යන සැටි තරුණ වියේ පසුවූ අපි අත්දකිමින් ප්‍රත්‍යක්‌ෂ කළෙමු. 1986 - ඔක්‌තෝබර් 15 වන දින "දිවයින" පුවත්පතේ කතෘට ලියුම් තීරයෙහි අද වැලිතලාවක්‌ බවට පත්වන දියතලාව" මැයෙන් පළවූ ලිපියක, සඳහන් මේ උධෘත යෙන් යථාර්ථය කෙරෙහි, රටේ භාරකරුවන්ගේ අවධානය යොමු වනු ඇතැයි කල්පනා කරනුයේ, මේ ස්‌වර්ණභූමියේ ජීවත්වීම සඳහා භූමිය ජලය, සෞඛ්‍යමය හිරුකිරණ හා වාතය මතු පරපුරටත් සුරක්‍ෂිත කොට තැබීම වත්මන් පරපුරේ පරම වගකීම වන හෙයිනි.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශණා කළ පරිදි මේ රන් දිවයිනේ භාරකරුවන් වූ පාලකයන් හා සියලු මාධ්‍ය ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ෆයිනස්‌ ආදී වෙනත් ආනයනික වන වගාවන් හා ඒ නිසාම ව්‍යාප්තවී රටම වසාගත් ආක්‍රමණික ශාක පිළිබඳව හැත්තෑව දශකයට පෙර අතීත අත්දැකීම් හා ගලපා බලමින් ගවේෂණාත්මක ස්‌වාධීන අධ්‍යයනයක්‌ කිරීමයි. යථාර්ථය නිවැරැදිව දැක නිවැරැදි ක්‍රියා මාර්ග ගැනීම හා දීර්ඝ කාලීන හා තිරසාර පිළියම් යෙදීමෙන් මතු පරපුරේ ජීවත්වීමේ අයිතිය සුරක්‍ෂිත කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බැවිනි.

අද දවසේ හෝ මතු පරපුරට මේ අත්දැකීම් ලබන්නට කිසිසේත් හිමිකමක්‌ නැති බව පෙනෙන්නට තිබෙන යථාර්ථය වේ. පතුලේ රැඳුන බොරදිය ස්‌වල්පයකට සීමාවූ මධ්‍යම කඳුකරයේ දිය කඳුරු වසාගෙන ඇත්තේ කිසිම ජීවියකු හෝ හරිත ශාකයකින් තොරවය. සියලු මාධ්‍යයේ අඳින දැස විවර කොට බැලිය යුතු කාලය එළැඹී ඇති බව නිර්භයව පවසා සිටිමි.

ෆයිනස්‌ වගාවට අද වන විට වසර 40 ක්‌ ගත වෙයි. මේ මාර්තු මාසයද ගත වන අද දවසේ නිල් පැහැයෙන් දිදුලන අහසේ චණ්‌ඩ හිරු කිරණ පතිත කරන්නේ පරිසරය දවාලමිනි. එදා මේ කුළුවලින් පිරුණ අහස හත්දහ වැසි දිවා රෑ පතිත වූයේ චිචිරි චිරි චිචිරි උදේ සිට ඇද හැළෙමිනි. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිටම මේ දක්‌වා දියතලාවට පමණක්‌ නොව, ඌව පළාතටම නිසි පරිදි ආවේණික වර්ෂාවක්‌ පතති නොවූ බව අත්දැකීමෙන් පවසන්නේ මහත් වගකීමකින් යුතුවයි. සාගරයෙන් ලැබෙන දත්තයන් මත කාලගුණ අනාවැකි පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, රට අභ්‍යන්තරයේ සිදුවන වෙනස්‌කම් ගැනද විමර්ශනය කිරීම කාලෝචිත වන්නකි.

එම්. බී. හේරත්
විශ්‍රාමික විදුහල්පති, දියතලාව.

උධෘතය

නිල්වන් වනයෙන් පිරුණු හපුතල කඳුවැටිය අද උඳුගොව්වාගේ ග්‍රහණයට හසුවූ හිස්‌ පෙළක්‌ සේය....... දිය පොදක්‌ වර්ෂා කාලයේදී වත්, දක්‌නට නොමැත. මහ වර්ෂාව දියතලාව ප්‍රදේශයට ලැබෙන්නේම නැත. ඔක්‌තෝබර් නොවැම්බර් මාසවල මෝසම් වැස්‌සෙන් උදේ හවස නොකඩවා වසින හත්දොහේ වැසි අද කතාවට පමණක්‌ සීමා වූවකි. බක්‌මහ අකුණු සිසාරා දිවෙන විදුලි රේඛා දැයට නුහුරුය. සියොතුන් කැළද ප්‍රදේශය හැර ගියාසේ අද අහස පාලුය. ඉතා මිහිරැති පලතුරු සම්බන්ධව ඇති පරිහානිය ඉතා ෙ€දජනකය. වර්ෂාව නැති කාල වලදී පිරී ඉතිරී ගිය සිය ගණන් ජල පාරවල් අද දිය පොදක්‌ නැතිව ගොවියා දෙස විලිස්‌සමින් බලා සිටී. ශීතල රටට තව අවුරුදු 20-30 ගතවන විට වැලිතලාවක්‌ යන්න වෙනස්‌වීම ඉබේම සිදුවිය යුත්තක්‌ බව හැඟේ.

සොබාදහම විසින් අප මව්බිමට දායාද කරන ලද අසිරිමත් දායාදයන් උරුම කරගත් පිරිස හා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ නිදහසින් පසුද සිත්සේ භුක්‌ති විඳිමින් එහි මිහිර අත් විඳින්නට වූහ. කුඩලිගම වැනි කොළඹ යුගයේ රසවතුන් තම අත්දැකීම් අතිශයෝකිත්යෙන් තොරව, චමත්කාර ජනක බව මෙසේ සටහන් කළහ.


ගස්‌වැල් තිගැස්‌සෙයි මේ කුළු ගැටෙන හඬින් - නිකලෙස්‌ හැඟීමක්‌ ඩැහැගත් වනම තුඩින්
කඳු ගැටවසා විහිදෙයි වැහිගිලිය ගොඩින් - හදවත පියාඹා යයි වෙල් කුඹුරු උඩින්..........
ඇළ දොළ ගලා බස්‌ වන්නට ඉවුරු කඩා - ගන වැහි වළා ඉගිලී එන විටදී අඬා
ගොඩ බිම නිවා සනහන්නට සියලු විඩා - මට මහ සොම්නසක්‌ ඇත මොනරකුට වඩා......."
නැති වලගොඩැලි මතු කොට ගල්කැට බේරා - දෙපසෙහි සැදි අගල් සුළි නැගි නැගි හාරා
පටු මාවතෙහි දූවිලි කොළ රොඩු හූරා - පිඹුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දහරා"
සැඟවෙමි එබෙමි නිසසල වෙමි සඝල වෙමි කවදා කොතැනකදී හෝ මහ මුහුද හිමි 
ඇඹරෙයි එහෙත් පසු නොබසිමි නොනවතිමි - හමුවුන කෙනෙහි මා සතු බර ඔහුට දෙමි.

එච්. එම්. කුඩලිගම
http://www.divaina.com/2014/05/13/feature04.html

2 comments:

sumudu indrajith said...

Rakwana - Deniyaya Road ekat me wagema thamai..

Prathi Wadhiya said...

පයිනස් වගාව අපේ රටට දීර්ඝකාලීනව පාරිසරික හානියක් කරනවා. මේ වගාව අපේ රටට ගැලපෙන්නේ නෑ. මේක අධිරාජ්‍යවාදීන් කුමන්ත්‍රණකාරීව හදපු වගාවක්. විශේෂයෙන් පයිනස් කියන්නේ පොළවේ තෙතමනය රඳවගන්න ශාකයක් නෙවෙයි ඒ වෙනුවට පොළවේ තෙතමනය වාශ්පකරදමනවා කුඩා ජල ප්‍රමාණයක් රඳවගෙන ඒ ගහට විතරක් හැදෙන්න පුලුවන් මට්ටමට.