Pages

Saturday, May 24, 2014

අභයගිරිය දාගැබේ මතභේදාත්මක සුදු හුණු පිරියම් කිරීම

මේ ලියෑවිල්ල ලියන්නේ තව නොබෝ දිනකින් මේ රටේ සකල දුර්භාග්‍යයන් දුරී භූත වී යන බවට වන සුබ ආරංචිය මේ රටේ පුරවැසියන්ට දන්වා තබන්නටය. ඒ කතාව මෙසේය. 

අපේ මිනිස්‌සුන්ගේ හැදිච්චකම නිසා කටක්‌ ඇර වචනයක්‌ නොකීවත් මේ මොහොත වන විට රටේ පරම ජනතා අභිලාශයන් පෙළ ගැසුවොත් ඉන් මුල් තැනට පැමිණෙන්නේ අනුරාධපුර පුරාණ අභයගිරි දාගැබේ හුණු කපරාරු කිරීමය. ආණ්‌ඩුව මේ ජනතා හද ගැස්‌ම හොඳින් හඳුනාගෙන තිබෙනනේය. එබැවින් මේ වනවිට අභයගිරියට හුණු කපරාරු කිරීමේ යෝජනාව අභයගිරිය විහාරාධිපති ගරුතර නායක හාමුදුරුවන් වහන්සේගේ මැදිහත් වීමෙන් යුතුව ආණ්‌ඩුවට ඉදිරිපත් කර තිබෙන්නේය. ඒ ගැන ආණ්‌ඩුව පැත්තෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස්‌ ලැබී ඇති බවත් සැලය. 

මේ හුණු කපරාරුව එසේ මෙසේ හුණු කපරාරුවක්‌ නොවන්නේය. ගෙදරක හුණු ගානවා වාගේ ඒ කෙළිය කරන්නට බැරිය. ඒ ඓතිහාසික හුණු කපරාරුව කරන්නේ මේ ආකාරයටය. 

අභයගිරිය දාගැබ තහවුරු කර නිමා කළේ අවුරුදු පහළොවක ශාස්‌ත්‍රීය ප්‍රයත්නයකින් අනතුරුවය. මුලින්ම මේ හුණු කපරාරුවට පෙර මෙතෙක්‌ අවුරුදු පහළොවක්‌ තිස්‌සේ හදපු ගර්භයේ කොටස්‌ ඉවත්කරන්නට ඕනෑය. ගර්භය අලුතින් හදන්නට ඕනෑය. පාදමත් ශක්‌තිමත් කරන්නට ඕනෑය. එතකොට දැන් තියන අවුරුදු අටසියයක්‌ පැරණි පාදමේ පේසාවන් ඉවත් කරන්නට ඕනෑය. අභයගිරියේ හතරැස්‌ කොටුවේ අලුතින් දේවතා රූප පිහිටුවන්ට ඕනෑය. දාගැබේ කොත් කැරැල්ල හැදුවේ මහා පරාක්‍රමබාහු රජතුමාය. එතුමා හැදූ සියවස්‌ අටක්‌ පැරණි කොත් කැරැල්ල කඩා ඉවත් කර අලුත් කොත් කැරැල්ලක්‌ සකසන්නට ඕනෑය. 

ඒ කොත් කැරැල්ලේ චූඩා මාණික්‍යයත් පැළ`දවීමෙන් පසු මැවෙන මොඩන් අභයගිරිය දකින්නට මිනිස්‌සු නොකා නොබී බලාගෙන ඉන්නේය. බෙදාගත් බත් පත කන්නේ නැතිව අභයගිරිය මොඩ් කරනතෙක්‌ බලාගෙන සිටිමින් දුක්‌ වි`දින ජනතා අභිලාෂය ඉටු කිරීමට අභයගිරිය නායක හාමුදුරුවන් වහන්සේගේ ඉල්ලීම් ප්‍රකාරව ආණ්‌ඩුව සූදානම් බව අපට වාර්තා වන විට අපේ හිත් ප්‍රීතියෙන් පිනා යන්නේය.

ඒ පිරී ඉතිරී යන ප්‍රීතියට සාධාරණ හේතු අප සතුව තිබනේනේය. මේ දාගැබ පරණය. එය නිර්මාණය වන්නේ මීට අවුරුදු දෙදහසකට පෙර වළගම්බා රජ දවසය. දාගැබ අවසන් වරට ප්‍රතිසංස්‌කරණය කරනු ලැබුවේ 12 සියවසේ රට කරවු මහා පරාක්‍රමබාහුය. එතුමාණන්ට පසු මෙවැනි ඓතිහාසික දාගැබකට හුණු පිරියම් කර කොත් කැරැල්ල සදා චූඩා මාණික්‍යයක්‌ පැළ`දවීම අවශේෂ කාරණාවක්‌ නොවන්නේය. ඒවා දකින්නට පුරවැසියන් ලෙස අප කළ පින් ප්‍රමාණය ගැන මේ ලියන මොහොතෙදීත් ලියුම්කරුට කල්පනා වන්නේය. අනික දැනුමෙන් පිරුණ, ආකල්ප මුහුකුරා ගිය ලෝකයක අභයගිරිය වැනි අවුරුදු දෙදහසක්‌ පැරණි, ලෝක උරුමයක්‌ ලෙස සම්භාවනාවට පාත්‍ර කරනලද, ලෝකයේ ඇති අති සම්භව්‍ය වාස්‌තු නිර්මාණයකට හුණු බදාම තවරා පෝස්‌ට්‌ මොඩන් වැඩක්‌ කරන්නට ගිරි නිඝන්ටයා සිටියත් නිර්භීත වෙතැයි නොසිතෙන වටපිටාවක මෙවැනි යෝජනාවක්‌ ක්‍රියාත්මක වන ලකුණු පෙනීම අපව කුල්මත් කරන්නේය. මෙවන් ඉතා දුලබ අත්දැකීම් ලබන්නට ජාතියක්‌ වශයෙන් අප කළ පින චිත්ත ප්‍රසාද උපදවන්නේය.

වාර්තා වන ආකාරයට අභයගිරියට හුණු කපරාරු කිරීම පිළිබ`දව ආණ්‌ඩුවේ ඉහළ තැන් වලින් ලැබෙනා උපදෙස්‌ මාලාවන් වලට පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක විසින් වාචික අනුමැතිය දී තිබෙන්නේය. එතුමා විදේශගත වන්නේ ඉන් අනතුරුවය. කතාව ඇත්තනම් මෙවැනි අනුමැතියක්‌ වාචිකව හෝ ලබාදීමෙන් පුරාවිද්‍යාවට එතුමා කළ සේවය ඉතිහාසයේ වාටියේ ලියෑවෙන බව කියන්නට ඕනෑය. මෙවැනි සම්භාවනීය උපදෙසක්‌ කිසිම ආණ්‌ඩුවකට මෙතෙක්‌ ලෝකයේ පහළ වු කිසිම පුරවිද්‍යාඥයෙකුගෙන් ලැබෙන්නේ නැති බවත් අපට සක්‌සුදක්‌ සේ විශ්වාසය. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයෙක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත් කරන්නේ මේ ආකාරයේ මගපෙන්වීමක්‌ ජාතියට ලබා ගන්නටය. සීතාම්බර පට ඇන්දවූ බව කියා එක්‌තරා ර-ජුරු කෙනෙක්‌ නිරුවතින් වීදි සංචාරය කරවනු ලැබුවේ මෙවැනි දක්‌ස පස්‌ස නිලධාරී ඇත්තන් කාණ්‌ඩයක්‌ බව මේ කතාව ඇසූ අපේ ආත්තම්මා කිව්වාය. අභයගිරියට හුණු ගෑමත් මේ සීතාම්බරපට කතාවත් අතර ඇති සම්බන්ධය ගැන මේ ලියුම්කරුට නම් මෙලෝ හසරක තේරුමක්‌ නැත. 

විද්වතුන් කියන කතාව

අභයගිරියට හුණු කපරාරු කිරීමේ යෝජනාව කාලයක්‌ තිස්‌සේ තිබුණේය. ගිය අවුරුද්දේ අභයගිරිය විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේගේ මැදිහත් වීමෙන් ඒ යෝජනාව මතුකිරීමත් සමගම ඒ ගැන රටේ විද්වතුන් එක්‌ව සාකච්ඡා කළේය. එකඟතාවයකට පැමිණියේය. ඒ නිර්දේශ රටට ඉදිරිපත් කළේය. ඒ කතාව මෙසේය. 

මේ යෝජනාව සඳහා සාකච්ඡා කිරීමට විවිධ තල ආවරණය වන පරිදි විද්වත් පිරිසක්‌ පසුගිය දෙසැම්බර් 23 දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී හමුවුණෝය. පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පුරාවිද්‍යා උපදේශක සභාවෙ සාමාජික රුවන්වැලි චෛත්‍යාධිකාරී පුරාවිද්‍යා විශේෂවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික පුජ්‍ය ඕමාරේ කස්‌සප හිමි, පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල් පුරාවිද්‍යා මහාචාර්ය ගාමිණී අධිකාරී, හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌ හා මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු පුරාවිද්‍යා මහාචාර්ය පුරාවිද්‍යාඥ ජී.එල්. ප්‍රේමතිලක, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් වාස්‌තු විද්‍යාඥ මහාචාර්ය නිමල් සිල්වා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨාධිපති ඉංජිනේරු මහාචාර්ය එම්.පී. රණවීර, ඉංජිනේරු සංස්‌ථාවේ හිටපු සභාපති ඉංජිනේරු විද්‍යා ජෝති ගැමුණු සිල්වා, දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් පිළිබඳ හිටපු ඉංජිනේරු කේ.ඒ.ඩී. නන්දසේන, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සංගමයේ හිටපු සභාපති හා අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ මහාචාර්ය ජී.ටී. කුලතුංග, ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සංගමයේ හිටපු සභාපති හා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලියු. විඡේපාල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‌ෂ මහාචාර්ය ජගත් වීරසිංහ, වාස්‌තු විද්‍යාඥ මහාචාර්ය ජී.බී. මණ්‌ඩාවල, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්‌ෂ වාස්‌තු විද්‍යාඥ චන්ද්‍රරත්න, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වාස්‌තු විද්‍යාඥ ප්‍රසන්න රත්නායක, සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මේ විද්වත් මඩුල්ලේ වූහ. මෙවන් යෝජනාවක්‌ ගැන කතා කරන්නට මීට වඩා යහපත් විද්වත් කමිටුවක්‌ ලංකාවෙන් එක්‌කරගත නොහැකි බව පෙනුනේය.

ඒ සංවාදයේදී අභයගිරිය තහවුරු කිරීමේ ශාස්‌ත්‍රීය පදනම මතු වුණේය. මහාචාර්ය රණවීර හා විද්‍යාජෝති ගැමුණු සිල්වා ලිතව සිය අදහස ඉදිරිපත් කර තිබුණේය. එවකට සිටි පුරාවිද්‍යාඥයින් මෙන්ම මල්වතු අස්‌ගිරි මහා නායක හාමුදුරුවරුන්ගේත් පූර්ණ එකඟතාවය මත අභයගිරි සංරක්‌ෂණ ප්‍රතිපත්තිය සැකසී තිබිණි. එවකට සිටි මහානායක හිමිවරු මේ දාගැබේ හුණු කපරාරුවට බරපතළ ලෙස විරුද්ධ වූහ. ගිහි පැවිදි සංරක්‌ෂණ ප්‍රතිපත්තිය සැකසුනේ දාගැබේ පෞරාණික කෞතුක වටිනාකම ඉස්‌මතු කිරීම පරමාර්ථ කොටගෙනය. එහිදී මෙම ඓතිහාසික ස්‌මාරකයට නව මැදිහත්වීම් සිදු වුයේ අවම වශයෙනි. සංරක්‌ෂණ කටයුතු ඇරඹිදා සිට මාසිකව ප්‍රගති සමාලෝචන රැස්‌වීම් පැවැත්විනි. අවුරුදු 15 ක්‌ පුරා සංරක්‌ෂණ ක්‍රමවේදය ගැන කිසිම විරෝධතාවක්‌ මතුවුණේ නැත. 

ලබාගත් තීන්දුවට අනුව සංරක්‌ෂණ කටයුතු පවත්වාගෙන ගියේ අවම මැදිහත් වීමක්‌ සහිතවය. එහිදී ස්‌ථූපයේ සම්පුර්ණ කවය ගෙන තිබුණේ නැත. බැඳ තිබුණේ අවම ගඩොල් ප්‍රමාණයකි. මහාචාර්ය රණවීරයන් හා විද්‍යාජෝති ගැමුණු සිල්වා ඉදිරිපත් කර තිබූ ලිත සංදේශයට අනුව දාගැබේ හුණු කපරාරුව කරන්නේ නම් එය මේ සංරක්‌ෂණ ක්‍රමවේදයට ගලපා ගත නොහැකිය. ඒ සඳහා ස්‌ථූපයේ ගර්භය සම්පූර්ණයෙන් ගතයුතුය. එසේ නොකර ගර්භය කපරාරු කළ හැකි නොවේ. එය සිදුකළ යුත්තේ මෙසේය. 

මුලින්ම අවුරුදු පහළොවක්‌ තිස්‌සේ දාගැබ සංරක්‌ෂණයට යෙදවු සියලුම ගඩොල් ඉවත් කර පුරාණ දාගැබ පාදා ගත යුතුය. අනතුරුව පුරාණ දාගැබේ පෞරාණික ගඩොල් අඩි 20ක්‌ ඇතුළට ගලවා දාගැබ් පාදම ශක්‌තිමත් කළ යුතුය. ඒ සඳහා පුරාණ පේසාව හා වාහල්කඩ මුළුමනින්ම ගලවා දැමිය යුතුය. අනතුරුව නැවත ගර්භය ඉදිකළ යුතුය. එසේ සිදුනොකොට ගර්භයට ගඩොල් එක්‌කර සුදුහුණු ගාන්නට ගියහොත් සිදුවනු ඇත්තේ කපරාරු කරන්නට ගොස්‌ මිරිසවැටියේ ගර්භය පුපුරා ගියාක්‌ මෙන් අභයගිරියද ගර්භයද පුපුරා කඩා හැලීම බව මේ විද්වත්හු පෙන්වා දී තිබුණහ. මේ ඉදිකිරීම් කටයුත්ත නිමා කරන්නට අවුරුදු 15 ක්‌ ගතවනු ඇති බවත් ඊට තවත් රුපියල් කෝටි පන්සීයක්‌ වැයවිය හැකි බවත් ඔවුහු කීහ. ඒ ගර්භයේ කතාවය. 

කොත් කැරැල්ලේ කතාව ඊට සමානය. සංරක්‌ෂණයේදී හතරැස්‌ කොටුව සුදු යකඩ දමා ශක්‌තිමත් කර තිබුණත් අභයගිරියේ මේ තිබෙන කොත් කැරැල්ල මහා පැරකුම්බාවන් සමයේ ඉදි කළ පෞරාණික කොත් කැරැල්ලය. එය සංරක්‌ෂණය කර ඇත්තේ අවම ගඩොල් ප්‍රමාණයක්‌ යොදවාය. දාගැබ සම්පූර්ණ කිරීමට අලුත් කොත් කැරැල්ලක්‌ අවශ්‍යය. නැත්නම් චූඩා මාණික්‍යය තියන්නට බැරිය. ඒ කොත් කැරැල්ල හැදීමට මේ පෞරාණික කොත් කැරැල්ල ශක්‌තිමත් නැත. එබැවින් එය ගලවා සම්පූර්ණයෙන් ඉවත් කරදමා අලුත් කොත් කැරැල්ලක්‌ බැඳිය යුතුය. 

දැන් කතාවේ සාරාංශය මෙසේය.

හරියටම මීට අවුරුදු 15 ට පෙර අභයගිරි සංරක්‌ෂණ ව්‍යාපෘතිය පටන් ගත්තේය. ඒ සඳහා පෞරාණික හැඩයට සමාන ගඩොල් ලබා ගැනීමට උචිත පස ගල්කඩවලින් සොයා ගත්තේ අප්‍රමාණ වෙහෙසක්‌ දරා පස්‌ පරීක්‌ෂා කිරීමෙන් පසුය. සිමෙන්ත භාවිත නොකර ගඩොල් බැඳීම සඳහා බදාමය හැදුවේ රසායනාගර පරීක්‌ෂණ ගණනාවකින් අනතුරුව මහත් වෙහෙසක්‌ දරාය. ගඩොල් පුච්චන්නට දකුණු ආසියාවේ ලොකුම ගඩොල් පෝරණුව තැනුවේය. ගල්කඩවල තැනූ ඒ ගඩොල් පෝරණුව හදන්නට තාක්‌ෂණය ගත්තේ ඉන්දියාවෙනි. ව්‍යාපෘතිය සඳහා වැයවුණ මුදල රුපියල් බිලියන ගණනකි. ඊට අමතරව මේ සඳහා මේ රටේ සිව් දෙසින් රොද බැඳගෙන පැමිණි බැතිමත්හු සාධුකාර දෙමින් ශ්‍රමය පූජා කළෝය. පුරා වසර පහළොවක්‌ තිස්‌සේ අභයගිරිය තහවුරු කෙරුණේ එසේය. එසේ තහවුරු කළ අභයගිරියට හුණු පිරියම් කිරීමට දාගැබේ සංරක්‌ෂණය කළ කොටසත් පුරාණ ඉදිකිරීම් සමූහයකුත් මුළුමනින්ම ගලවා යළි ගොඩනැගිය යුතුය.

අභයගිරිය දාගැබේ සර්වඥ ධාතු නිධන් කිරීමක්‌ ගැන සඳහන් නොවන ආකාරය විද්වත් සභාව පෙන්වා දුන්නේය. වන්දනා කිරීමට හුණු බදාම කපරාරුව අවශ්‍ය නම් සාංචියට බැතිමත්හු නොවඳිත්දැයි ඔවුහු ප්‍රශ්න කර තිබුණහ. හුණු බදාම පිරියම් කර යළි ගොඩනැන්වු පෞරාණික දාගැබ් ලෙස අටමස්‌ථානය තුළ රුවන් වැලි මහා සෑයත්, ථූපාරාමයත්, මිරිසවැටියත්, ලංකාරාමයත් ඇති බැවින්ද, හුණු බදාම දැක පහන් සංවේග උපදවා ගන්නා බැතිමතුන්ට ඉන් තෘප්තිමත් වියහැකි බැවින්ද අතීත විභූතිය වින්දනය කරමින් අවබෝධයෙන් බුදුන් වන්දනා කරනා පිරිස වෙනුවෙන් අභයගිරිය මේ තත්වයෙන් පවත්වාගැනීම ගැන ඔවුහු එකඟවූහ. දැන් ඒ මහා ව්‍යාපෘතිය ඉවරය. නිමාවු ව්‍යාපෘතියකට හුණු පිරියම් කිරීමේ යෝජනාව ප්‍රායෝගික නොවන අශාස්‌ත්‍රීය කටයුත්තක්‌ ලෙස දන්වා විද්වත් මණ්‌ඩලය විසින් ප්‍රතික්‌ෂේප කර තිබුණේය. 

අපට හිතෙන හැටි

එහෙත් මේ විද්වතුන් රටේ මිනිස්‌සුන්ගේ මානසික සුවය ගැන කල්පනා කරන්නේ නැතිය. ඔවුන් අපට නැති කරන්නට යන්නේ ලෝකයේ කිසිම රටක මිනිස්‌සුන් නොලැබෙන ආකාරයේ සොඳුරු අත්දැකීමක්‌ය. පළමු අත්දැකීම අවුරුදු පහළොවක්‌ තිස්‌සේ දුකසේ නිමාකළ ව්‍යාපෘතියක්‌ නිමා කළ වහාම යළි මිලියන පන්සියයක මුදලක්‌ වැය කර මුල සිට පටන් ගැනීමේ ආශ්චර්යය වින්දනය කරන්නට මේ රටේ මිනිස්‌සුන්ට ඇති ඉඩ හසර වැලකීමය. දෙවැන්න දාගැබක අවුරුදු අටසීයක්‌ පැරණි පෞරාණික කොත් කැරැල්ලක්‌ කඩා දමනු දැකීමෙ දුර්ලභ අවස්‌ථාව නැති කිරීමය. තෙවැන්න එපමණම පැරණි පාදම් පේසාවන් ගලවා දමනු දකින්නට ලෝකයේ කිසිම රටක මිනිස්‌සුන්ට නොලැබෙන අවස්‌ථාව අහිමි කිරීමය. මේවාට කියන්නේ ආතල් කඩනවා කියාය. එහෙත් මේ ලපයි සිපයිලාට රටේ ගමනත් ජනතා අපේක්‌ෂාවත් නවත්වන්ට ඉඩ දෙන්නට ඕනෑ නැති බව අපේ හැඟීමය. 

ඇත්තම කියනවානම් අභයගිරියේ පරණ කසිකබල් පාදම් ඉවත්කර කොත් කැරළි කඩා දමා අලුතින් ඉදිවන අභයගිරිය ස්‌ථූපයේ චුඩාමාණික්‍යය දකිනකොට මිනිස්‌සුන්ට සංතෝසය. ආණ්‌ඩුවටත් සංතෝසය. අභයගිරියේ නායක හාමුදුරුවන් වහන්සේටත් සංතෝසය. මේ ලියන අපට අප්‍රමාණ සංතෝසය. පොඩි ගැටලුවකට ඇත්තේ මේ කටයුත්තට අතගැසුවහොත් ඒ පින්වතුන් යන්නේ දිව්‍ය ලෝකයටද අපායටද යන්න තවම හිතාගන්නට බැරිවීමය.

ජානක ලියනආරච්චි
http://www.divaina.com/2014/05/25/feature01.html

0 comments: