Pages

Thursday, May 22, 2014

ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් රටවල් අස්‌ථාවර කිරීමට උත්සාහ ගන්නා බලවේග ගැන ආසියාව අවධානය යොමු කළ යුතුයි - ජනපති මහින්ද ශැංහයි නුවරදී

ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් රටවල අභ්‍යන්තර ක්‍රියාදාමයන්ට මැදිහත් වී ජාතීන් සහ කලාපීය රටවල් අස්‌ථාවර කිරීමට උත්සාහ ගන්නා දේශපාලන බලවේග පිළිබඳව අවධානය යොමු කිරීමට ලොව ශීඝ්‍රයෙන් නැගී එන ආසියානු කලාපයේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි සමුළුව අමතමිනි.

චීනයේ ශැංහයි නුවරදී ඊයේ (21 වැනිදා) පැවැති මෙම සමුළුව අමතා ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ සාමාජික රටවල සහ නිරීක්‍ෂණ රාජ්‍යයන්ගේ ගෞරවනීය නායකයිනි,

මූලෝපායික වශයෙන් වැදගත් මෙම කලාපීය සංවිධානයේ සභාපතිත්වය චීනය විසින් භාර ගැනීම පිළිබඳව ෂී ජින් පින්ග් මැතිඳුන්ට සුබ පතමි. මේ සුන්දර ශැංහයි නගරයට පැමිණි දා සිට දැක්‌වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් හා ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ 4 වැනි සමුළුව පැවැත්වීම වෙනුවෙන් කර ඇති අති විශිෂ්ට සංවිධානය වෙනුවෙන් මාගේ දූත කණ්‌ඩායම සමගින් මම චීන මහජන සමූහාණ්‌ඩුවට මාගේ හෘදයාංගම ප්‍රසාදය පළ කරමි.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවක්‌ ඇරඹීමට පුරෝගාමී වීම වෙනුවෙන් කසකස්‌ථාන් ජනාධිපති නූසුල්තාන් නසර්බයෙව් මැතිඳුන්ගේ දූරදර්ශී පියවර පිළිබඳව ගෞරවය පුද කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මේ සමුළුවේ හිටපු සභාපති තුර්කි ජනාධිපති අතිගරු අබ්දුල්ලා ගුල් මැතිඳුන් මෙහි නොසිටිය ද එතුමාගේ අප්‍රතිහත ධෛර්යය වෙනුවෙන් මාගේ ප්‍රශංසාව පිරිනමමි. පසුගිය වසරේ මැයි මාසයේ දී ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ නිරීක්‍ෂකයකු ලෙස ශ්‍රී ලංකාව පත්වූයේ එතුමාගේ ධූර කාලයේදී ය.

"විශ්වාසය සහ සහයෝගිතාව ශක්‌තිමත් කිරීම හා සාමකාමී හා ස්‌ථාවර නව ආසියාවක්‌ ගොඩනැගීම" යන මේ වසරේ සමුළු තේමාව අපි සැමටම කාලෝචිත හා අදාළ වේ. එහෙයින් සියලු පාර්ශ්වයන් අතර අෙන්‍යාන්‍ය විශ්වාසය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම මට සතුටකි.

ජනාධිපති ෂී ජින් පින්ග් මැතිතුමා කළ දේශනයේ ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළු කලාපීය සහයෝගීතාව උදෙසා අවධානය යොමු කළ යුතු යෝජනා රැසක්‌ තිබෙන අතර එයට නව ආසියානු සුරක්‍ෂිතතාවය පිළිබඳ සංකල්පය බෙහෙවින් වැදගත් වේ. ආසියාවේ අර්බුදයක්‌ විසඳීම සඳහා මුල් වී කටයුතු කළ යුත්තේ මෙම මහද්වීපයේ රටවල්ය. චීන ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් යෝජනා කළ පරිදි ආසියාවේ සුරක්‍ෂිතභාවය උදෙසා බහු පාර්ශ්වික යාන්ත්‍රණයක්‌ ඇති කර ගැනීම මෙම සමුළුවේ සාමාජික ජාතීන්ට හිමි වැදගත් කාර්යභාරයකි. ආසියාව ශීඝ්‍රයෙන් නැගී එන උද්දීප්ත වූ ද බලගතු වූ ද කලාපය යි. නැගී එන ගෝලීය බලවතා ලෙස ආසියාව කෙරෙහි වන අන්තර් ජාතික අවධානය දිනෙන් දින ඉහළ යයි. මෙම උනන්දුව මත කලාපය තුළින් මෙන්ම බාහිරව ද බොහෝ අවස්‌ථා හා අභියෝග බිහි වේ.

කලාපයක සාමය හා ස්‌ථාවරත්වය ගොඩනැගීමේ දී අප ජාතීන්ගේ ස්‌වෛරීභාවය හා භෞමික අඛණ්‌ඩතාවය සුරක්‍ෂිත වීම අත්‍යවශ්‍ය වේ. කනගාටුවට රාජ්‍යයන්ගේ මේ මූලික අයිතිය ලොව පුරා උල්ලංඝනය වන ආකාරය අපි දැක ඇත්තෙමු.

ස්‌වාර්ථයම මුල්කර ගත් ඇතැම් බාහිර කොටස්‌ ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් රටවල අභ්‍යන්තර ක්‍රියාදාමයන්ට මැදිහත්වීමට උත්සාහ දරයි. මෙවන් ව්‍යායාමයන් මේ ජාතීන්ද, එමගින් එම කලාපයන් ද අස්‌ථාවර කිරීමට හේතු වී ඇත. ගෝලීය වශයෙන් වෙළෙඳ හා මූලෝපායික ලාභය නිසා නොව දේශීය වශයෙන් දේශපාලන බලය තහවුරු කර ගැනීමේ අභිලාශයෙන් පොළඹවනු ලැබූ සිය අවශ්‍යතාවන් හඹා යන මෙම බාහිර බලවේගයන්ගේ බලාපොරොත්තුව වන්නේ අස්‌ථාවරත්වය ඇති කිරීම දැයි යමෙකුට සැක සංකා පහළ විය හැකිය.

අභ්‍යන්තර අසමගිය ඇති කිරීම ඔවුන්ගේ මුල් පියවරයි. අභ්‍යන්තර නොසන්සුන් බව ඇති කිරීමට හා සයිබර් අපරාධ කිරීමට අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් දූෂිත ලෙස භාවිත කිරීම අපි දැක ඇත්තෙමු. ඉලක්‌කය තරුණයන් ය. ඔවුන් බාහිර කණ්‌ඩායම්වල වැරදි න්‍යාය පත්‍රයන්ගේ ඉත්තන් බවට පත්ව සිටිති. මෙම සමුළුව තුළින් ඵලදායී ලෙස ග්‍රහණය කර ගත යුතු හා ආමන්ත්‍රණය කළ යුතු භයානක උපනතීන් මේවාය.

සාමාජික රටවල අදාළ අධිකාරීන් අතර තොරතුරු හුවමාරුව හා සබඳතා සහයෝගීතාව ශක්‌තිමත් කිරීම අවශ්‍ය වේ. සිය අනන්‍ය වූ සංස්‌කෘතීන් අනුව නිවැරැදි හර පද්ධතීන් ඉගැන්වීම උදෙසා සහ ඔවුන්ගේ අවශ්‍යතා පුළුල් කිරීම සඳහා තරුණයන් අපගේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන්හි වැදගත් තැනක්‌ තැබිය යුතුයි. මෑතකදී ශ්‍රී ලංකාවේ දී නිමාව දුටු ලෝක තරුණ සමුළුවේ ප්‍රතිඵල මේ සඳහා මඟ පෑදූ බව මාගේ විශ්වාසයයි.

රාජ්‍යයන්ගේ ස්‌වෛරීත්වයට තර්ජන එල්ල කරමින් ජාතික දේශසීමාවන් ඉක්‌මවා යන බහුජාතික සංවිධානාත්මක අපරාධ, ත්‍රස්‌තවාදය සහ එහි මූල්‍ය යෙදවීම, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස්‌ ජාවාරම සහ නීති විරෝධී මුදල් ගනුදෙනු හරහා එල්ල කෙරෙන තර්ජනයන් පවතින බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. බාහිර බලවේග විසින් එකිනෙකාගේ දේශ සීමාවන්ගේ භෞමික අඛණ්‌ඩතාවට එල්ල කෙරෙන තර්ජනවලින් ආරක්‍ෂා වීම සඳහා ශක්‌තිමත් සහයෝගීතාවක්‌ ඇති කර ගැනීමට ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ සාමාජිකයන්ට ක්‍රියා කළ හැකි බව මට විශ්වාසයි.

ආසියාවේ බොහෝ රටවල බලගතු තර්ජනයක්‌ වන ත්‍රස්‌තවාදය සාධනීය ලෙස මගේ රටෙන් තුරන් කිරීමේ අත්දැකීම ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමැත්තෙමි. දශක තුනක්‌ පුරා පෙළුණු ත්‍රස්‌තවාදයේ කෲරත්වයෙන් ශ්‍රී ලංකාව මින් පස්‌ වසරකට පෙර මිදුණි. අපගේ මිතුරන්ගේ සහයෝගය හා උපකාරය නොමැති වූයේ නම් මගේ රටට මේ අභියෝගය ජය ගත නොහැකි වනු ඇත.

සිය භූමිය තුළ බෙදුම්වාදී හා අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් වැළැක්‌වීම සඳහා ගත යුතු පියවර ද ඇතුළුව සාමාජික රටවල ත්‍රස්‌තවාදයට එරෙහිව ක්‍රියාකාරකම් සහ සිය අත්දැකීම් බෙදා ගැනීමට හා වැදගත් පාඩම් ඉගෙනීමට ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියා මාර්ග පිළිබඳ සමුළුව එහි සාමාජිකයන්ට නිවැරදි වේදිකාවක්‌ වනු ඇති බව මාගේ අදහසයි.

එමෙන්ම ආර්ථික විෂමතා හා දිළිඳුකම ද ජාතීන් අස්‌ථාවර කරයි. එබැවින් සාමාජික රාජ්‍යයන් විසින් වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව සඳහා සහ මූල්‍ය ක්‍ෂේත්‍ර අතර සහයෝගීතාව සඳහා ශක්‍යතා මාර්ග ගවේෂණය කිරීම අවශ්‍ය වේ.

තවදුරටත්, බලශක්‌ති ප්‍රවාහන මාර්ගවල කාර්යක්‍ෂමතාව හා සුරක්‍ෂිතතාව ඉහළ නැංවීමෙන් සහ බලශක්‌ති සැපයීමේ ආරක්‍ෂාව වැඩි කිරීමෙන් ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියා මාර්ග පිළිබඳ සමුළු සාමාජිකයන් අතර බලශක්‌ති සුරැකුම් සහයෝගීතාව සහතික කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ සාමාජිකයන්ගෙන් සමන්විත කලාපය බලශක්‌ති සම්පත්වලින් පොහොසත් වන අතර එය එල්ල විය හැකි බාහිර අභියෝගයන්ගෙන් ආරක්‍ෂා විය යුතුය.

සිය ආසියානු සාමාජිකයන්ගේ විවිධත්වය අතර න්‍යාන්‍ය විශ්වාසය වර්ධනය කිරීම සහ විශ්වාසයේ හා සහයෝගීතාවයේ වාතාවරණයක්‌ නිර්මාණය කිරීම ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ මූලික අරමුණු අතර ප්‍රමුඛත්වයක්‌ ගනී.

ත්‍රස්‌තවාදය තුරන් කළදා සිට ශ්‍රී ලංකාව විසින් පෙන්නුම් කර ඇති පරිදි ජාතියක හෝ කලාපයෙහි ප්‍රගතියට හා ආර්ථික සංවර්ධනයට සාමය, ආරක්‍ෂාව හා ස්‌ථාවරත්වය ඉතා වැදගත් වේ. එබැවින් සාමකාමී හා ස්‌ථාවර නව ආසියාවක්‌ බිහි කිරීම සඳහා අප එක්‌ව ක්‍රියා කිරීම නිසැකවම අත්‍යවශ්‍යයි. සාමාජික රාජ්‍යයන් අතර ආර්ථික, පරිසර, මානව, ආරක්‍ෂක හා දේශපාලන ක්‍ෂේත්‍රයන්හි අෙන්‍යාන්‍ය විශ්වාසය වැඩි කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කිරීම සඳහා ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියා මාර්ග පිළිබඳ සමුළු රාමුව තුළ රටවල් 12 ක්‌ විසින් දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අප බලාපොරොත්තු වන සාමකාමී හා ස්‌ථාවර නව ආසියාවක්‌ ගොඩනැංවීමට අනාගතයේදී මං පාදනු ඇති බවට මට විශ්වාසයි.

මෙම සමුළුවේ නිරීක්‍ෂක රාජ්‍යයක්‌ ලෙස සහභාගී වීමට ලැබීම ශ්‍රී ලංකාවට ඇත්ත වශයෙන්ම ගෞරවයකි. ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැඟීමේ ක්‍රියා මාර්ග පිළිබඳ සමුළුවේ පදනම් ප්‍රතිපත්තීන් කෙරෙහි බැඳී සිටින ශ්‍රී ලංකාව මෙම වැදගත් සංවිධානයේ සියලුම සාකච්ඡාවන්ට සක්‍රීය ලෙස දායක වීමට බලාපොරොත්තුවේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!
http://www.divaina.com/2014/05/22/news35.html

0 comments: