කලාව යනු විවිධ වූ ඉසව් කරා ගලායන සෞන්දර්යාත්මක වු විෂය පථයකි. ඡායාරූපකරණයත් මේ තුළ දොලනය වන කලාවකි. මේ විෂය තුළ දීර්ඝ ගමනක් ගොස් ඒ පිළිබඳ මනා අවබෝධයක් ලැබූ ප්‍රද්ගලයෙක් ලෙසට ඉන්ද්‍රනාථ තේනුවරයන් හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම සම්මානනීය ඡායාරූප ශිල්පියෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ සහ දෘශ්‍ය කලා අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරයි.
ඒ ප්‍රතිරාමුවෙන් මිදුනු කල ඡායාරූප ශිල්ප ගුරුවරයෙක්, ලේඛකයෙක්, දේශකයෙක් වන ඔහු අතින් මේ වන විට ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් ලියවුණු ග්‍රන්ථ ගණන දහයකි.
මෙවර ඔහුගේ මේ වෑයම හතරවන ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය සහ පොත එළිදැක්‌වීමටයි. එළඹෙන ජුනි මස 13 වැනි දින සවස 4.30 සිට ජුනි මස 16 වන දින සවස 6.00 දක්‌වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ, ඡේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන ඉන්ද්‍රනාථ තේනුවරයන්ගේ සිව්වන ඒක පුද්ගල ප්‍රදර්ශන පිළිබඳ කතා බහකි මේ.
කලාව ඔබේ ජීවිතයේ කොටසක් වන්නේ කොයි කාල වකවානුව තුළද?
මගේ පියා තේනුවර ගුණතිලක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්. ඒ නිසා කුඩා කල සිටම කලාව මූලික වුණු සමාජ වටපිටාවක් වටා තමයි මම ජීවත්වුණේ. මේ දේවල් නිසා මම වගේම මගේ සහෝදරයින් දෙදෙනාත් කුඩා අවධියේ පටන් චිත්‍ර ඇඳීමට සහජ දක්‍ෂතාවන් දැක්‌වූවා.
කුඩා අවධියේ පටන් චිත්‍ර ඇඳීමට දක්‍ෂයෙක් වුවත්, චිත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලබන්නේ ඔබවත් නොසිතන මොහොතක?
ඇත්තටම ඔව්, එතකොට මට වයස අවුරුදු හතරක් විතර ඇති. ඒ කියන්නේ 1965 දී විතර. "සත්සමුදුර" චිත්‍රපටය බලන්න අවස්‌ථාවක් උදා වුණා. එදා තමයි චිත්‍රය පිළිබඳ අවබෝධයක් වගේම වයසින් කුඩා දරුවෙක් වුණත් චිත්‍රපටයක් කරනවා කියන හැගීම මගේ හිතේ ඇතිවුණේ. ඒ වනතෙක් මගේ හිතේ ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න. නමුත් පන්තිකාමරය තුළ කා අතරත් මම ජනප්‍රිය වුණේ රචනා රචකයෙක් හැටියට.
රචනා රචකයා ඡායාරූපකරණයට පිවිසෙන්නේ?
1977 දී විතර. ඒ වෙද්දි මට වයස අවුරුදු 16ක් විතර ඇති. වෙළෙඳ සැලක නාම පුවරුවක් ඇඳලා ඒකෙන් ලැබුණු සල්ලිවලින් මුලින්ම කැමරාවක් ගත්තේ. ඒ කැමරාවේ සුවඳ මට තාම මතකයි. කැමරාවෙන් මුලින්ම ගත්ත පින්තූර මමම තනියෙම ඩිවෙලෙප් කරලා එන්ලාඡ් කරලා ප්‍රින්ට් කරගත්තා.
පාසලේ අධ්‍යාපන කටයුතුවලට මේවා බාධාවක් වුණේ නැද්ද?
නැහැ. මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක් වගේම විදුහල්පතිවරයෙක්. ඒ නිසා කුඩා අවධියේ පටන් රටේ විවිධ ප්‍රදේශවල අපි ජීවත් වුණා. ගම අම්බලන්ගොඩ වුණාට මගේ මුල්ම පාසල වුණේ අම්පාරේ උහන මහා විද්‍යාලය. එතනින් පස්‌සේ අම්පාර කනිෂ්ඨ විද්‍යාලයත් අම්පාර සද්ධාතිස්‌ස විද්‍යාලයටත් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වුණ නිසා කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයටත් ඇතුල්ව අධ්‍යාපන කටයුතු හොඳින් කළා. ඒ අතරේ මිල්ටන් හේවා පතිරණ මහතාගේ ජායාරූපකරණය පිළිබඳ පාඨමාලාව හැදැරුවා. එහි දී විෂය පිළිබඳ ජයග්‍රහණ රැසක් ලැබුවා. ඒ අතරේ ලාල් හෑගොඩයන් විසින් ලියූ ඡායාරූපකරණය පිළිබඳ පුවත් පතක පළවුණු ලිපි පෙළක් තුළිනුත් මම දැනුම එකතුකරගත්තා.
ගුරුවරයෙක් ලෙසට කටයුතු කරන අතරේ ඔබ මාධ්‍ය ආයතන කිහිපයක ඡායාරූප ශිල්පියෙක් ලෙසට කටයුතු කළා.
ඔව්, 1979 දී තමයි මට ගුරු පත්වීම ලැබුණේ. ටික කාලයක් විජය ප්‍රකාශන ආයතනයට සම්බන්ධව එහි රූ රටා සංස්‌කාරක ධුරයත් වගේම තවත් සඟරා කිහිපයකම ටික කාලයක් ප්‍රධාන රූ රටා සංස්‌කාරක වගේම ප්‍රධාන ඡායාරූප ශිල්පී තනතුරු දැරුවා.
ඡායාරූපකරණය තුළ වර්තමානය දක්‌වා දුර ගමනක් පැමිණීමට හේතු පාදක වුණේ?
අලුතෙන් දෙයක් කරනවා කියන හැඟීම තමයි මගේ හිත හැමදාම දිරිමත් කළේ. ඒ හරහා තමයි අද පවතින කීර්ති නාමය හදාගත්තේ.
මේ වන විට ඔබ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශන තුනක් පවත්වා තිබෙනවා.
1992 දී ඡායාරූප, චිත්‍ර සහ පොත් කවර නිර්මාණ සහිතව "සොබා රූ" නමින්, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වූ ප්‍රදර්ශනය, 1997 දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ම පවත්වන ලද "මංගල්‍ය උත්සව ඡායාරූප" ප්‍රදර්ශනය, 2010 වසරේ දී, කොළඹ, ජාතික කලාභවනේදී පවත්වන ලද "පැනෝරාමා" ඡායාරූප ප්‍රදර්ශනය එය මෙතෙක් ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු විසින්, ශ්‍රී ලංකාව තුළ පවත්වන ලද ප්‍රථම පැනෝරාමා ඡායාරූප ප්‍රදර්ශනයයි.
මෙවර සූදානම් වන ඡායාරූප ප්‍රදර්ශනය නම් කර තිබෙන්නේ?
මේ මගේ සිව්වන ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයයි. මෙය ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, පෞරාණික සහ ඓතිහාසික ස්‌ථාන කිහිපයක ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙසටයි නම් කර තිබෙන්නේ.
මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වය වන්නේ?
මෙම සියලුම ස්‌ථාන, ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, දැනට ලෝකයේ ඇති එකම සහ ප්‍රථම ඡායාරූප එකතුව මෙම ප්‍රදර්ශනයේ ඇති ඡායාරූප පමණක් වීමයි. තව දුරටත් පැහැදිලි කළොත් හිස් අවකාශය තුළ විදුලි පන්දම් (ටෝච්) එළිය පාදක කරගනිමින් පින්තාරු කළ ඡායාරූප කොටසින් කොටස ගෙන එකට එකතු කර ඡායාරූපය නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු විසින්, ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන ප්‍රථම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය මෙය වීමයි.
නවීන තාක්‍ෂණය හමුවේ ඡායාරූපකරණයට පහරක් එල්ලවෙලා කිව්වොත්?
ඩිජිටල් හාරහා ෆොටෝග්‍රැෆි නැති වුණා කියලා සමහරු දොස් කියනවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ෆිල්ම් කැමරාවට පස්‌සේ සම්පූර්ණ ස්‌වයංක්‍රීය කැමරාවේ ආගමනය. ඒකේ ප්‍රතිඵලය තමයි පින්තූර ගොඩක් තියෙනවා. නමුත් ඡායාරූප තියෙන්නේ ටිකයි. ඒ තත්ත්වයට හේතු පාදක වෙලා තියෙන්නේ ඩිජිටල්වල තියෙන ගැජට් හොයනවා ඇරෙන්න ඒකෙන් කරන්න පුළුවන් දේ හොයන්නේ නැහැ.
ලක්‌මිණි අතුකෝරල
http://www.divaina.com/2014/05/30/cineart01.html
0 comments:
Post a Comment