Pages

Wednesday, May 28, 2014

නරේන්ද්‍ර මෝදි, ජන බලය සහ පාලන බලය

අගමැති නරේන්ද්‍ර මෝදිගේ කැබිනට්‌ මණ්‌ඩලය දෙස බැලීමේදී එහි ප්‍රමාණය ඉතා කුඩා නිසා ඉන්දියාවද මාලදිවයින තරම් කුඩා රටක්‌ ලෙස අපට පෙනී ගියද ඇත්තම කතාව නම් ඉන්දියාව යනු ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය බව ය. ලංකාවේ මහ මැතිවරණය පැය 8 ක කාලයක්‌ තුළ නිමා වී ඊළඟ දවසේ උදේ වන විට සියලුම මනාප ඡන්ද ප්‍රතිඵල කියා නිම කිරීමටත්, ඊළඟ දවසේ සවස 6වන විට මනාප ප්‍රතිඵල සියල්ලම කියා නිම කිරීමටත් හැකි නමුදු ඉන්දියාවේ මහ මැතිවරණය අඩුම ගණනේ සති හයක කාලයක්‌වත් පැවැත්වෙයි. ඡන්ද ගණන් කර ප්‍රතිඵල කියා නිම වීමට තවත් දවස්‌ කිහිපයක්‌ ගතවෙයි. බිලියන එකහමාරක පමණ ජනගහනයක්‌ සිටින ඉන්දියාවට, ලංකාවේ ප්‍රමිතීන්ට සාපේක්‍ෂව නම් අඩුම ගණනේ 1000කවත් ඇමැති මණ්‌ඩලයක්‌ සිටිය යුතු ය. ලංකාවේ ජනගහනය මිලියන 21 වන අතර ඇමැති මණ්‌ඩලය සියය ඉක්‌මවයි. (එය හරියටම ගණන් කර ගැනීමට බැරි අතර මේ දැනුත් ඇමැති කෙනකු හෝ නියෝජ්‍ය ඇමැති කෙනකු පත්කළා විය හැකිය.) ඉන්දියාවේ ජනගහනය මිලියන 1500 ක්‌ වුවද එහි ඇමැති මණ්‌ඩලය 48 ඉක්‌මවන්නේ ඉතා ස්‌වල්ප වශයෙනි. නරේන්ද්‍ර මෝදිට මෙවැනි හපන්කමක්‌ කිරීමට ලැබුණේ කොහොමද? අසීමිත ජනවරමක්‌ ලැබුණ නිසා ය. ලංකාවට එවැන්නක්‌ කළ නොහැක්‌කේ මන්ද? ආණ්‌ඩුව සන්ධානයක්‌ වන නිසා ය. සන්ධානයක්‌ ගැසූ විට පක්‍ෂ කාර්යාලය සහ බෝඩ් ලෑල්ල පමණක්‌ තිබෙන ඉතාම කුඩා පක්‍ෂය පවා අවශ්‍ය ය. මන්ද, ඒ පක්‍ෂය නියෝජනය කරන කෙනෙක්‌ ජාතික ලැයිස්‌තුව හරහා හෝ ආණ්‌ඩුවට කොක්‌ක ගසාගෙන මන්ත්‍රී කෙනකු ලෙස සිටින නිසා ය. මෙවැනි විටෙක ආණ්‌ඩුවට හැම පැත්තම බලන්නට සිදු වේ. මන්ද, ඒ ඒ අය දෙස නොබැලූ විට ඒ ඒ අය තරහ වී ආණ්‌ඩුවට විරුද්ධව වෙන වෙනම ව්‍යාපාර පවත්වාගෙන යන්නට පටන් ගනී. එහෙත් මේ හැම දෙනාම තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක්‌ වන්නේ ආණ්‌ඩුවක්‌ ඇතුළේ සිටින විට ඇති බලය ආණ්‌ඩුව අත්හැර එළියට බැස්‌ස පසු නැතිවන බව ය. එවිට තමනුත් අමාරුවේය ආණ්‌ඩුවත් අමාරුවේ ය.

කෙසේ වුවද අගමැති නරේන්ද්‍ර මෝදි හැසිරෙන ආකාරය අසල්වැසියන්ට නම් ඉතා යහපත් බව පෙනෙයි. ඔහු තම දිව්රුම් දීමේ උත්සවය සඳහා අසල්වාසී සියලු රටවලට ආරාධනා කළේ ය. තමිල්නාඩුවේ මහ ඇමැති ජයලලිතා ජයරාම්ගේ විරෝධය නොතකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දිවුරුම් දීමේ උත්සවයට කැඳවා ගත්තේ ය. ඒ නිසා ජයලලිතා එම උළෙල වර්ජනය කළ ද අගමැති මෝදි විසින් ඒ විරෝධය ගැඹුරට ගණන් ගනු ලැබූ බවක්‌ නො පෙනිණ. එහෙත් මෙහිදී අගමැති මන්මෝහන් සිං සහ සෝනියා ගාන්ධිගේ ආණ්‌ඩුව තිබුණේ නම් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී අපට දුන් ආරාධනාව පවා ඉල්ලා අස්‌කර ගැනීමට කටයුතු කරනවා ඇත. උදාහරණයක්‌ වශයෙන්, පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කිරීමට ඉන්දියානු අගමැති (හිටපු) මන්මෝහන් සිං කටයුතු කළ හැටි දැක්‌විය හැකි ය. ඔහු ඒ සියල්ල කළේ මහ ඡන්දය දිනා ගැනීමට ය. එහෙත් අන්තිමේදී මන්මෝහන් සිං සහ ගාන්ධිවරුන්ගේ කොංග්‍රස්‌ පක්‍ෂය දිනාගත් ආසන ප්‍රමාණය මෙන් පස්‌ ගුණයක්‌ පමණ ආසන දිනා ගැනීමට මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයට හැකි විය.

නරේන්ද්‍ර මෝදි බලයට පත් කරන ලද්දේ එරට ජාතික බලවේග විසිනි. එම ජාතික බලවේග බිහිකරන ලද්දේ එරට ජනතාව විසිනි. අවසන් පලයේදී හැමටම වඩා බලගතු වන්නේ ජනතාව ය. වරද, දේශපාලනඥයන්ට එය ඉතා ඉක්‌මනින් අමතක වීම ය. ජන බලය ඉතා පිරිසිදු ය. පැහැදිලි ය. එය සමාන කළ හැක්‌කේ පානීය ජලයට හෙවත් බොන ජලයට ය. පිරිසිදුව තිබෙන තාක්‌කල් පානීය ජලය හොඳ ප්‍රතිඵල ගෙන දෙයි. එහෙත් එයට වස මුසු වූ වහාම මරු කැඳවයි.

http://www.divaina.com/2014/05/28/editor.html

Pic Source

1 comments:

Unknown said...

please refer www.cultureddemocracy.blogspot.com for a peaceful and cultured democracy