Pages

Thursday, May 15, 2014

දිවි මඟ සරු කරන තෙමඟුල් අසිරිය

ලොව්තුරු ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල් අසිරිය වෙසක්‌ පුන් පොහෝ දින යෙදී ඇත. සිද්ධාර්ථ කුමාර උත්පත්තිය, බුද්ධත්වය ලැබීම හා පිරිනිවන් පෑම යනු මෙම තෙමඟුලයි. මඟුල් යනු, මංගලයි. මංගල යන්නෙන් අදහස්‌ කරන්නේ දියුණුවයි. සංවර්ධනයයි. දියුණුව ඇති කරන මඟයි. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල උන්වහන්සේගේ දිවි මඟට දියුණුව උදාකළ බව සත්‍යයකි. එම තෙමඟුල සත්ත්ව වර්ගයාගේ එසේත් නැතහොත් අපගේ අභිවර්ධනයක්‌ බවට පරිවර්තනය කර ගන්නේ කෙසේ ද යන්න සලකා බැලීම මෙහි අරමුණයි.

සිද්ධාර්ථ කුමාර උත්පත්තිය මංගලයක්‌ ලෙස සත්ත්ව වර්ගයාගේ අභිවර්ධනය ඇති කරන ආකාර පැතිකඩ දෙකක්‌ ඇසුරින් අපට කතා කළ හැකි ය.

1. මනුෂ්‍ය ආත්ම භවයක්‌ ලැබීම.
2. උදාර මනුෂ්‍ය ආත්ම බවයක්‌ ලැබීම.

විශ්වීය වශයෙන් ගත් විට විවිධ ආත්ම භව පවතී. මනුෂ්‍ය හා වෙනත් තිරිසන්ගත සත්ත්ව ආත්ම භව අපට පියවි ඇසින් දැක ගත හැකි ය. සිව්පා, දෙපා, අපා සතුන්, උරග හා පක්‌ෂි සතුන්, වෙනත් කෘමි සතුන් අප පරිසරය තුළ දක්‌නට ලැබේ. පියවි ඇසට නොපෙනෙන එහෙත් නැණසින් දැකිය හැකි දේව, බ්‍රහ්ම, ප්‍රේත, නිරි ආදී සත්ත්ව යෝනීන් ඇත. මේ සියලු සත්ත්ව යෝනීන් අතර වඩාත් උසස්‌ ම සත්ත්ව යෝනිය වන්නේ මනුෂ්‍ය සත්ත්ව යෝනියයි. මනස උසස්‌ වූ සත්ත්ව යෝනි ය සේ ම භව සංසාර දුක උප සමනය කිරීමට හෝ දුක සහමුලින් නැති කිරීම තුළින් ලෝකයෙන් එතරව ලබන උදාර විමුක්‌තිය ලබාගත හැක්‌කේ මනුෂ්‍ය සත්ත්ව යෝනියෙහි උපත ලැබූවකුට පමණි.

සසර සරණ සතුන් තුළ භවයෙන් භවයට විවිධ සතුන් යෝනි කොට ගෙන මේ සැරි සැරීම සිදු කිරීම කරනුයේ සිතුවිලි පරම්පරාවකි. රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤාණ යන ස්‌කන්ධ පරම්පරාවෙන් විඤ්ඤාණ යන සිතුවිලි පරම්පරාව ඉවත් වීමෙන් මරණය සිදුවෙයි. මේ ඉවත්ව යන සිතුවිලි පරම්පරාව, චුති සිත වන අතර මෙය යළිත් යෝනියක උපත ලබන තෙක්‌ අවකාශය තුළ පවතින සිතුවිලි පරම්පරාව භවාංග සිත නම් වේ. යළිත් සත්ත්ව යෝනියක උපදින සිතුවිලි පරම්පරාව ප්‍රතිසන්ධි සිත නම් වේ. එසේනම් කවර සත්ත්ව යෝනියක උපදින්නේ සිත යි. එසේනම් මිනිස්‌ ආත්ම භවයක උත්පත්තිය ලැබුවේ මේ සිතයි. අනෙක්‌ සතුන්ට වඩා මිනිස්‌ ආත්ම භවය උසස්‌ වන්නේ මේ උසස්‌ සිත පදනම් කොට ගෙන ය. නිවැරැදි සිත තුළ නිවැරැදි සිතුවිලි උපදියි. නිවැරැදි සිතුවිලි ඇති විට කරන ක්‍රියා යහපත්, කතා කරන වචන නිවැරැදි වේ. ඒ තුළින් මරණය හා උපත යන සම්ප්‍රදායික සසර ක්‍රියාවලිය වෙනස්‌ කර ගත හැකිය. සසර ක්‍රියාවලිය නවතාලිය හැකි ය. පරම විමුක්‌තිය ලද හැකි ය. මෙය දෙවියකුට, බඹෙකුට කළ නොහැක. නිරිසතුනට, ප්‍රේතයකුට කළ නොහැක. සිද්ධාර්ථ කුමාර උපත අනුස්‌මරණීය කරන අපත් ඒ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ආත්ම භවය අර්ථවත් කර ගත යුතුයි. මනුෂ්‍ය ධර්ම සුරකිමින් මනුෂ්‍යත්වය අර්ථවත් කළ යුතුයි. මන්ද මනුෂ්‍යත්වය ලබන්නේ දුර්ලභව ය. දුල්ලභංච මනුස්‌සත්තං මිනිසත් බව ලබන්නේ කණ කැස්‌බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ ය. මෙය කෝටි ප්‍රකෝටි වාරයකට වරක්‌ වත් සිදුවන්නක්‌ නොවේ. එසේනම් මෙතරම් දුර්ලභව ලැබූ මිනිසත්බව අර්ථවත් කළ යුතුයි.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය හුදෙක්‌ මනුෂ්‍ය උපතක්‌ නොව සම්ප්‍රදාය ඉක්‌මවූ උදාර මනුෂ්‍ය උපතකි. මේ උදාර උපත ලබන්නේ ඊට අදාළ වූ පුරුෂාර්ථයන් පිරීම තුළිනි. උදාර පුරුෂාර්ථයන් වන්නේ දාන, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥව, වීර්ය, ඉවසීම, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රී සහගත බව හා උපෙක්‌ෂාවයි. බෝසත් අවධියේදී මෙම පුරුෂාර්ථයන් පාරමි, උප පාරමි, පරමත්ථ පාරමි වශයෙන් පූර්ණය කළ බැවින් උදාර මනුෂ්‍ය ආත්ම භවයක්‌ ලැබීය. අසිරිමත් උපතක්‌ සිදු විය. සත් පියුම් පිට පියවර සතක්‌ ගොස්‌ "මම ලොවට අග වෙමි, මම ලොවට දෙටු වෙමි, මම ලොවට සෙට වෙමි, මේ මාගේ අවසන් උපතයි. මම නැවත නො ඉපදෙමි." උදාන වාක්‍යයන් කීය. කොරුන්, අන්ධයන්, ගොලුවන්, කණුන්, ආදී උත්පත්ති දුර්වලතා වූ සතුන් සුවපත් විය. ප්‍රේත ලෝකය සසිරිමත් විය. නිරි සතුන් සුවපත් විය. මේ සක්‌වල පමණක්‌ නොව වෙනත් සක්‌වලවලත් සතුට ඉතිරිණි. මෙවන් අසිරිමත් වූ සිද්ධි සිදු විණි. ඒ උදාර මනුෂ්‍ය උපත නිසයි. මෙවන් උදාරයකු වීම සඳහා ගුණ ධර්ම පූර්ණය පිණිස ආකල්ප ගොඩනඟා ගැනීම මෙම අනුස්‌මරණීය උපත අර්ථවත් කිරීමයි.

බුද්ධත්වය අර්ථවත් කිරීම

මේ බුදු උපත අප ජීවන ගමනේ අභිවර්ධනය පිණිස යොදා ගත හැකි ය. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ යෑයි කියමනක්‌ වේ. ධර්මය ද එසේ මැයි. ධර්මය සර්පයකු හා සමානයි. සර්පයා මැදින් ඇල්ලුවොත් ඇල්ලූ අයට දෂ්ඨ කරයි. අගින් ඇල්ලුවොත් ඒත් එසේමැයි. සර්පයා ගත යුත්තේ හිසින් ම ය. ධර්මය ද නිවැරදිව ගතහොත් තමා සුවපත් කරයි. වැරැදි සේ ගතහොත් භව සංසාරය තුළ තමා වඩාත් අසරණ තත්ත්වයට පත් කරයි. අරටුව සොයන්නවුන් ගසේ කොළ, අතු, පොතු, ඵලය, ඉවත ලා අරටුවම ගත යුතු බව උන්වහන්සේ වදාළ හ. පා ලකුණ, පිට ඇතුල්ලූ තැන, අතු කඩා ගත් තැන දෙස බලා ඇතු යෑයි නිශ්චයට නොපැමිණ විය යුතුයි. ඇතුම දැක මේ ඇතුයෑයි නිශ්චයට එළඹිය යුතුයි. බෞද්ධයා යනු ප්‍රබුද්ධයෙකි. විමර්ශනයෙන් ප්‍රඥවෙන් සියල්ල දැක වීර්ය වඩා ලබාගත යුතු යි. ඔහු අනුගාමිකයකු නොවිය යුතුයි. නායකයකු විය යුතුයි.

ලොව ඇති එකම රහතා මම වෙමි යි. කියූ පමණින් කෙනකු රහතකු නොවේ. එවන් ප්‍රකාශ උම්මන්තකයනට කිව හැක. තම උදර පෝෂණය සඳහා බලය, පිරිස, වර්ධනය කර ගැනීම සඳහා එවන් දේ කළ හැකි ය. බුද්ධ කාලයෙහි වූ ජම්ඹුක ආජීවක, ෂඩ්ශාස්‌තෘවරු තමන් ද බුදුවරු යෑයි කී හ. එසේනම් සැබෑ බුදුවරු හැඳින ඒ බණ ගෙන ඒ මඟ යා යුතුයි. බෝධි ධර්ම සභාවේ සාමාජිකයකු වූ පමණින්, ආර්ය සමාජයෙහි සාමාජිකයකු වූ පමණින් රහතකු නොවේ. වචනයේ අර්ථ නොව වචන අර්ථය ක්‍රියාව තුළ වේනම්, වචන තුළ වේ නම්, සිතුවිලි තුළ වේ නම් ඔහු රහතෙක්‌ වෙයි. රාගාදි කෙළෙස්‌ නැත්තේ නම්, දානාදි පාරමී වෙයි නම්, ශීලාදි ගුණ ධර්ම රකී නම් රහතා ඔහුයි.

උන්වහන්සේගේ අවසාන අවවාදය කෙරෙහි සිත යොමු කොට ඉන් දිවි මඟ සකසා ගැනීම ද වැදගත් වේ. "හන්දදාමි භික්‌ඛවෙ ආමන්තයාම් වො වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ" රැස්‌කරන සියල්ල විනාශ වෙයි. ධනය, බලය ආදී දෙයින් මත්ව කරන අනිසි ක්‍රියාදාමයෙන් බැහැරව යහපතෙහි පමා නොවී කටයුතු කරන්න. පිරිනිවීම අර්ථවත් කොට ගෙන දිවි මඟට මංගලයක්‌ උදාකර ගන්නට නම් මේ ආකල්පයන්ගෙන් කටයුතු කළ යුතු වේ.

මේ අනුව ගත්විට බුදු තෙමඟුල හුදෙක්‌ වැඳුම් පිදුම් ආදී වූ ආමිෂයට පමණක්‌ නොව සසර දුක නමැති අභියෝගය ද ජය ගත හැකි මනා වූ ධර්මඥනයක්‌ ලබා දිවි මඟ සරු කර ගත හැකි ඉතා වටිනා අවස්‌ථාවකි. එහෙයින් ම මෙය සිරි තෙමඟුලක්‌ වෙයි.

විල්ඔය පඤ්ඤාතිලක හිමි, කැප්පෙටිපොල, පාලුගම ශ්‍රී සුභද්‍රරාම මහා විහාරාධිකාරි, වැලිමඩ ගුරු මධ්‍යස්‌ථානයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
http://www.divaina.com/2014/05/14/feature03.html

Pic Source

0 comments: