Pages

Wednesday, May 21, 2014

අපේ රටේ තරම් අහංකාර උද්ධච්ඡ ගති පැවතුම් ඇති වෛද්‍යවරුන් නැති තරම්

වෛද්‍යවරයකු ඉසිවරයෙක්‌ ලෙස පැරැන්නන් හඳුන්වාදී ඇත්තේ එම වෘත්තියේ ඇති සේවය සහ ගෞරවය නිසයි. නමුත් අද සමාජයේ එවැනි ඉසිවරුන් සිටින්නේ නම් ඒ අතළොස්‌සකි. අප කාටත් ජීවිතයේ කවර හෝ දිනක වෛද්‍යවරයකුගේ සේවය අවශ්‍ය වේ. එබැවින් සමාජයේ බොහෝ දෙනෙක්‌ වෛද්‍යවරුන්ගෙන් කෙතරම් වැරදි සිදුවුණත් ඔවුන් විවේචනයෙන් වැළකී සිටිති. නමුත් ඇත්තෙන්ම විවේචනය ඔවුන්ට අත්‍යවශ්‍ය දෙයකි. නැතහොත් ඔවුන්ද ඔවුන් කරන සෑම කාර්යයක්‌ම නිවැරදි යෑයි සිතා කටයුතු කරනු ඇත.

අපේ රටේ වෛද්‍යවරු සිතන්නේ තමන් සමාජයේ සුපිරි කොටසක්‌ කියාය. වරද නොපිළිගැනීම සහ විවේචනය නොඉවසීම අපේ ලාංකික වෛද්‍යවරුන්ගේ පොදු ලක්‍ෂණයකි. පසුගිය වකවානුව තුළ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය ජීවිත ගණන බොහෝය. නමුත් කිසිම වෛද්‍යවරයකු තවමත් දඬුවම් ලැබූ බවට නම් අරංචියක්‌ නැත. කිසිම වෛද්‍යවරයකු තම වරද නොපිළිගන්නා අතර අනෙකුත් වෛද්‍යවරුද තම සගයා බේරා ගැනීමට ඕනෑම බොරුවක්‌ කියනු ඇත.

අද වෛද්‍යවරයකුට රු. ලක්‍ෂයකට ආසන්න වේතනයක්‌ ලැබේ. එයට අමතරව තීරුබදු රහිත වාහන අවු. 5 න් පහට ලබාගත හැක. මීට අමතරව තවත් පහසුකම් රැසක්‌ රජයෙන් ලබාදී තිබේ. එය හොඳ දෙයකි. ඔවුන්ගේ සේවයට සරිලන වේතනයක්‌ ඔවුන්ට දිය යුතුය. එලෙසම ඔවුන්ද ඒ වේතනයට සරිලන සේවයක්‌ කළ යුතුය.

වෙනත් රටවල් සහ සංසන්දනය කරන විට අපේ රටේ තරම් අහංකාර උද්ධච්ඡ ගති පැවතුම් ඇති වෛද්‍යවරුන් නැති තරම්ය. ආසියානු රටවලටත් වඩා යුරෝපීය රටවල වෛද්‍යවරු ඉතා කාරුණිකය. සමහරවිට මෙයට හේතුව අපේ රටේ සමාජයේ වඩාත් පිළිගත් වෘත්තියක්‌ වනුයේ වෛද්‍ය වෘත්තිය නිසාය. මේ නිසාම සෑම දෙමවුපියකුටම අවශ්‍ය වන්නේ තම දරුවා වෛද්‍යවරයකු කිරීමටය. අද දිවයිනේ සෑම පළාතකින්ම සිසුහු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙති. එය ඉතා අගනේය. එහි ගෞරවය හිමිවිය යුත්තේ දිවංගත සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියටය. දිස්‌ත්‍රික්‌ක අනුව තෝරා ගැනීම් සිදු කිරීම නිසා ඈත දුෂ්කර පළාත්වල සිසුන්ටත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවීමට මග පෑදුණි.

නමුත් ප්‍රශ්නය නම් මහජන මුදලින් ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වී වසර හතරක්‌ ගත වන විට බොහෝ දෙනකුට ඒ බව අමතක වීමය. අද සමහර වෛද්‍යවරු චැනල් සේවාව මුවාවෙන් අහිංසක රෝගීන් සූරා කති. අද වනවිට සමහරු රෝගියෙක්‌ බැලීමට රු. 2500 සිට 7500 දක්‌වා මුදල් අය කරති. අනෙක අපේ රටේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ඉතා අත්තනෝමතික ලෙස වැඩකරන සංගමයක්‌ බවට පත්වී ඇත. ඔවුන් තම සේවාවේ අත්‍යවශ්‍යභාවය ආයුධයක්‌ කර ගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සෑම අංශයකටම ඇඟිලි ගසමින් සිටින අතර මෙතරම් කලක්‌ සුහදව සේවය කළ හෙදියන් වින්නඹු මාතාවන් සහ සාත්තු සේවකයන් අතර ගැටුම් ඇති කිරීමට මුල්වී ඇත්තේද මෙම වෛද්‍යවරුන්ය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දීම ප්‍රතික්‌ෂේප කිරීම මෙයට ප්‍රධාන හේතුවයි. එක්‌ අවස්‌ථාවක රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය ප්‍රකාශ කර තිබුණේ හෙදියන් නැති වුවත් තමන්ට සාත්තු සේවකයන් සමග වැඩ කළ හැකි බවයි. මෙවැනි උද්ධච්ඡ ප්‍රකාශවලින් වන්නේ නැති ප්‍රශ්න ඇති වීමයි. රෝහලක රෝගීන්ට මේ සෑම සෞඛ්‍ය සේවාවක්‌ම අත්‍යවශ්‍යය. ඔවුන් අතර ගැටුම් ඇතිවීමෙන් හානිය සිදුවන්නේ අහිංසක රෝගීන්ටය.

එලෙසම වෛද්‍ය ඉසිවරයන් ගැනද යමක්‌ කිව යුතුය. තම පඩිය පවා වියදම් කරමින් අහිංසක දුප්පත් ජනතාවට සේවය කරන වෛද්‍යවරුද සිටිති. චැනල් සේවයට නොගොස්‌ හැකි පමණ රෝගීන්ටම සේවය කරන විශේෂඥ වෛද්‍යවරුද සිටිති. මා දන්නා එක්‌තරා විශේෂඥ වෛද්‍යවරයෙක්‌ සතියකට වරක්‌ තම ගමේ රෝගීන් සඳහා නොමිලයේ සේවාව සපයයි. ජනතාව එවන් වෛද්‍යවරු හිත හොඳ දොස්‌තර ආදී විවිධ නම්වලින්ද හඳුන්වති. ඔවුන්ට මුළු ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය.

ශ්‍රියානි ද සේරම්
http://www.divaina.com/2014/05/20/feature04.html

Pic Source

0 comments: