Pages

Thursday, May 15, 2014

දිවියට බොදු මඟ - පන්සිල් පද පහ ප්‍රායෝගික කිරීමෙන් ජීවිතය ඔපවත් කරයි

මෙයට පෙර අපට අසන්නට නොලැබුණු ඉතාමත් අවාසනාවන්ත සිද්ධි සමුදායයක්‌ දැන් අසන්නට ලැබෙන්නේ කුමක්‌ හේතු කොටගෙනද යන්න අපට නම් නොතේරේ.

එදිනෙදා අපට කියවන්නට ලැබෙන පුවත්පත් වාර්තා වලින්ද අසන්නට ලැබෙන සිද්ධි අනුව ඉතාම ඛේදනීය සිද්ධි මනුෂ්‍යත්වයට නිගා දෙන්නකි. මනුෂ්‍යත්වයක්‌ ලැබුවද එම තත්ත්වය යථාර්ථවාදීව අවබෝධ කොටගෙන ඇත්තේ සමාජයේ කීයෙන් කීදෙනාද.

මානුෂික ගුණාංග ගැන මනා අවබෝධයක්‌ ඇත්නම් අප අතින් ඉතාම ඛේදනීය සිද්ධි සිදුනොවන්නේ මැයි.

පන්සිල් කෙරෙහි මිනිසා අවධානය යොමු කරන්නේ නම් මෙබඳු අපරාධ සමාජයේ සිදුනොවන්නේමැයි. 1. පානාතිපාතා වේරමණී 2. අදින්නාදානා වේරමණී 3. කාමේසු ම්ච්චාචාරා වේරමණී 4. මුසාවාදා වේරමණී 5. සුරාමේරය මඡ්ජපමාදට්‌ඨානා වශයෙන් පංචශීල ප්‍රතිපත්ති අප අනුගමනය කරන්නේ නම් මිනිසාගෙන් මනුෂ්‍යත්වය මතුවන්නේ නිතැතිනි.

මේ ප්‍රතිපත්ති න්‍යායාත්මක වශයෙන් නොව ප්‍රායෝගික විය යුතුයි. බොහෝ මිනිසුන් කෙරෙහි ඇත්තේ න්‍යාය පමණි. ප්‍රායෝගික තත්ත්වයක්‌ නොමැත. මිනිස්‌ ජීවිතය සරුවන්නේ, ඔපවත්වන්නේ පංචශීල ප්‍රතිපත්ති නිසි අයුරින් පිළිපදින පුද්ගලයා කෙරෙහිය.

ආවේගශීලී හැඟීම් ඉක්‌මවා ගිය තැන සිදුවන්නේ බරපතළ අපරාධයකි. පුතා පියාගෙන් සල්ලි ඉල්ලුවායයි පුතාට පිහියෙන් ඇන්න පියවරු ගැන අපට අසන්නට ලැබිණි. දරුවා පියාගෙන් මිසක්‌ සල්ලි ඉල්ලන්නේ වෙන කාගෙන්ද. පුතාට පිහියෙන් අනින්න තරම් දරුණු සිතක්‌ ඇතිවූයේ පන්සිල් ගැන අංශුමාත්‍රයකවත් හැඟීමක්‌ නොමැති නිසා නොවේද. එසේ තිබුණේ නම් පුතාට මේ පිහි පහර කන්නට සිදුනොවන්නේමැයි.

දුර නොබලා කටයුතු කිරීම අනුව පියා පුතාගෙන් දුරස්‌ත වී හිරබත් කන්නට සිදුවීම, පියා කෙරෙහි පුතාට වෛරයක්‌ ඇතිවීම කොතරම් සෝචනීය තත්ත්වයක්‌ද.

ගුරුවරයාගෙන් සිසුන්ට ප්‍රහාර

ගුරුවරයකු විසින් තම පන්තියේ සිසුන් දෙදෙනකුට යකඩ පොල්ලකින් පහර දී බරපතළ ලෙස තුවාල කර රෝහල්ගත කළ පුවතක්‌ද අපට කියවන්නට ලැබුණි. බාල පරපුර යහමඟ යවන්නට වෙරදරන, වැඩදායක පිරිසක්‌ බිහිකරන්නට අරඅඳින මෙබඳු ගුරුවරුන්ට මානව ශක්‌තියක්‌ නැති ආකාරය නොවේද මෙයින් ගම්‍යවන්නේ.

ගුරුවරුන්ගෙන් මෙබඳු බරපතළ අපරාධ සිදුවන්නේ නම් සාමාන්‍ය මිනිසකුගෙන් සිදුවන අපරාධ ගැන කවර කතාද? ගුරුවරයා යනු සෙසු අයට වඩා සංවේදී පුද්ගලයෙකි. 

පරමාදර්ශී දිවි පෙවෙතක්‌ ගතකරන ගුරුවරයා අමානුෂික අයුරින් හැසිරෙන්නේ නම් එම තැනැත්තා ගුරුකමට කිසිසේත්ම උචිත නැත. යකඩ පොලුවලින් තම සිසුන්ට පහරදීම ගැන ගුරුවරයා අතිශයින්ම ලඡ්ජාවට පත්විය යුතුය.

සිසුන් ගුරුවරුන්ට පහර දෙන යුගයක, පහරදුන් යුගයක එහි අනෙක්‌ පැත්ත අද පිළිබිඹු වේ. මෙහි වරද කා අතද? මානුෂිකත්වය ඉක්‌මවා යාමේ ඵලයක්‌ නෙවේද. මිනිසා කෙරෙහි ශික්‌ෂණය, විනය, සංවේදී බව අනවරතයෙන්ම පිළිබිඹු විය යුතුය. ජීවිතය ඔපවත් වන්නට නම් මේ ත්‍රිකය අනිවාර්යයෙන්ම ඉස්‌මතු විය යුතුය.

යහපතට මඟ පෙන්වීම

මිනිසා කුමන දහමක්‌ ඇදහුවත් ඒ හැම දහමකින්ම කියාපාන්නේ යහපත් ජීවිතයකට මිනිසා අවතීර්ණ කිරීමය. ස්‌වකීය විඥනය මෙහෙයවා තමන්ගේ ජීවිතයත්, සෙසු ජීවිතත් යහමඟට යොමුවීම හා යොමුකිරීමය. අප මේ ලෝකය හැරදා යන විට ගෙනයන්නේ හොඳ හා නරක පමණි. සමාජයේ බොහෝ අය ජීවත්වන්නේ නොමැරෙන අය ලෙසය. සැමදා ජීවත්වීමේ මුළාවේ වැටී සිටින අයගෙන් තමයි සමාජයට බොහෝ කරදර සිදුවන්නේ.

අන්සතු ධනය සොරාගැනීම, අන් අයගේ ඉඩම් කොල්ලකෑම, තමන් පමණක්‌ ජීවත් විය යුතුය යන ආකල්පයේ පිහිටීම සෙසු අය යටපත් කොට, තමන් පමණක්‌ ඉස්‌මතු වීමට වෙරදරන අය සමාජයේ එමටය. මෙය මෝහය නිසා ඇතිවන්නකි. මෙබඳු අය කෙරෙහි අප අනුකම්පා කළ යුතු විනා වෙන දෙයක්‌ කළ නොහැකිය. වැරදි හඳුනාගැනීම තමන්ගේ වැරැද්ද පුන පුනා කිරීමත් මෝඩකමකි. වැරැදි අප අතින් සිදු වේ. එහෙත් ඒ වැරැදි අප හදාගත යුතුය. යළිත් වැරැදි නොකිරීමට වග බලා ගත යුතුය.

ලඡ්ජාව හා බය

ජීවිතයට ල-ජාව හා බය අනිවාර්යයෙන්ම තිබිය යුතුය. 

මේ දෙක නැති පුද්ගලයාගේ ආත්ම ශක්‌තිය හීන වේ. ආත්මයක්‌ නැති තරම්ය. ජීවිතය යනු කුමක්‌ද යන්න අප තේරුම් ගත යුතුය. පුද්ගලයා දුර බලන්නේ නැත. ළඟ විතරයි බලන්නේ. ළඟ බැලීම හේතුකොට ගෙන අත්වන විපාක අති ප්‍රබලය.

තමන් සෙස්‌සන්ට ආදර්ශයක්‌ වන අන්දමට ජීවත් විය යුතුය. එසේ නොමැතිව ජීවිතය කුණු බක්‌කියට ගියොත් එම ජීවිතයෙන් ඵලක්‌ නැත. නිරන්තරයෙන්ම පරමාදර්ශී ජීවිතයක්‌ බවට අප පත්විය යුතුය.

උදව් කිරීමේ ඇල්ම

යහපත් පුද්ගලයා, අන් අයට උදවු කරන්නට දක්‌වන්නේ දැඩි ඇල්මකි. මිල මුදලින් බැරිනම් වචනයෙන් හෝ සෙස්‌සන්ට උදව් කරන්න. සමාජයේ බොහෝ අය ආත්මාර්ථකාමීව ජීවත්වීමට වග බලා ගනිති. එහෙත් පන්සිල් නියමාකාරයෙන් රකින, පිළිපදින පුද්ගලයා පරාර්ථකාමී හැඟීම්වලින් උපයුක්‌තය. 

දුරලිය යුතු වෛරය-ක්‍රෝධය

සමාජය දෙස අවඥවෙන් බලන්නත් එපා· කරුණාවෙන් යුතුව සමාජය දෙස බලන්න. කරුණාව - මෛත්‍රිය තමයි ජීවිතයෙන් ප්‍රකට විය යුත්තේ. එසේ නොමැතිව වෛරය, ක්‍රෝධය ඇති කරගන්න එපා· වෛරය, ක්‍රෝධය යන දෙකින් උපයුක්‌ත පුද්ගලයා අවලස්‌සනය. ලස්‌සන වන්නේ මෛත්‍රිය හා කරුණාව මතය. මේ යථාර්ථයද අප තේරුම් ගත යුතුය.

දීර්ඝායු තත්ත්වයට පුද්ගලයා පත්වීමට බලපාන්නේත් පංචශීල ප්‍රතිපත්තියයි. පන්සිල් පද පහ නියමාකාරයෙන් පිළිපදින පුද්ගලයාගේ ජීවිත කාලය දිගුය. අනවරාග්‍රභාවයෙන් මිදීමට යත්න දරන පුද්ගලයා ප්‍රඥවන්තය. එසේ නොමැතිව තවදුරටත් භවයේ සැරිසරන්නට යත්න දරන පුද්ගලයා ලෝකයේ අනාථ වී, මංමුළා වී, අඳුරේම සැරිසරයි. මේ තත්ත්වය ජීවිතයට ගැළපෙන්නේ නැත. නොගැළපෙන භාවිතයෙන් අප අත්මිදිය යුතුය.

කාම අපරාධ සමාජයේ එමටය. ඇය මෙවන් තත්ත්වයක්‌ "කාමේසු මිච්චාචාරා වේරමණී සික්‌කා පදං" යන පදය අකුරටම පිළිනොපැදීම හේතුකොටගෙනයි මෙබඳු අපරාධ රැල්ලක්‌ සමාජයේ ඇති වී තිබෙන්නේ.

විනාඩි 90 ක්‌ පාසා කාන්තාවන් අපයෝජනයට ලක්‌වන අන්දම සමීක්‌ෂණයකින් හෙළි වී ඇත. ලෝක කාන්තා දිනයක්‌ පසුගිය 8 දා අපි සැමරුවෙමු. 

කාන්තා පරපුර රැකිය යුතුව තිබියදී ඒ අයගේ ජීවිත විනාශ කරන්නට පෙළඹෙන්නේත් පන්සිල් පද පහ නොරැකීමේ ඵල වශයෙනි.

ජීවිතය ලස්‌සන කරගන්නට, ඔපවත්වන්නට ඔබ කැමැතිද, එසේ නම් කළ යුත්තේ පන්සිල් පද පහ නිසි ලෙස රැකීමය. අන් අය දෙස වෛරයෙන් බලන්න එපා· වෛරය තවත් වෛර ගණනාවකට පෙරැළී ජීවිතය ගිනි ගන්නා තත්ත්වයක්‌ උදා වේ. ජීවිතය ගිනි ගන්නවාට ඔබ කැමැතිද?

ජීවිතය මෙත් සෙවණක්‌ බවට පරිවර්තනය කරගත යුතුය. ගැඹුරු ගංගාවක්‌ නිසලව ගලා බසින්නේ යම් සේද පන්සිල්හි පිහිටන පුද්ගලයා නිසලය. හික්‌මීම ආත්ම කොටගෙන ජීවත්වීමට වගබලා ගැනීම ලොවට පරමාදර්ශිවන්නා සේ තමන්ට ප්‍රෙෘඪත්වයෙන් යුතුව දිවි ගෙවන්නට ශක්‌තියක්‌ද ලැබේ.

ගොතටුව පාරමිතා බෝධිමළු විහාරාධිපති කොළඹ දිසාවේ සංඝනායක, අලුත්ගම ඓතිහාසික කන්දේවිහාරවාසී ලේඛනසූරී, ශාස්‌ත්‍රපති පණ්‌ඩිත අරම ශ්‍රී ධම්මතිලක නාහිමි
http://www.divaina.com/2014/05/14/feature01.html

Pic Source

0 comments: