Pages

Thursday, May 15, 2014

සියලු ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාව - බුද්ධ චරිතය සැකෙවින්

සියලු ලෝක සත්ත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් මුළු ජීවිතයම කැප කළ අංගීරස තථාගත ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විශේෂයෙන් සමරන දිනය වෙසක්‌ පුර පසළොස්‌වක්‌ පොහොයයි. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ මුළුල්ලේ සිදුකළ යුතු සෑම යහපත් ක්‍රියාවක්‌ම සම්පූර්ණ කරමින් දාන පාරමිතා, සීල පාරමිතා ආදී සියලු කුසල් දහම් වර්ධනය කරමින් උතුම් වූ සම්බෝධිය කරා එළඹුනේ සියලු සත්ත්වයන් සසරින් එතෙරකරලීමේ උදාර බලාපොරොත්තුව ඇතිවය.

ගෞතම බෝසතාණන් වහන්සේට නිවන් දැකීමට වාසනාව තිබුණේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමයේය. එහෙත් එය අත්හැර බුදුබව ප්‍රාර්ථනා කරගෙන නොයෙක්‌ පින්දහම් කරමින් ආහ. දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු හාරලක්‍ෂයක්‌ මහරහතන් වහන්සේලා වඩින මග මඩවළෙහි වැතිරී බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට පහසුවෙන් වැඩම කිරීම සඳහා බිම දිගාවී සිටියේය. බුදුරජාණන් වහන්සේ මොහු කෙරෙහි අවධානය යොමුකර බලා පුණ්‍යවන්ත විරෝදාර පුරුෂයෙක්‌ බව දිවැසින් දැක මතු බුදුබව ලැබීමට හේතුසම්පත් ඇති බව දැක මහරහතන් වහන්සේලාට මේ ගාථාව දේශනා කළ සේක.

පස්‌සථ ඉමං තාපසං - ජටිලං උග්ගතාපනං
අපරිමෙයෙ ඉතෝ කප්පේ - අයං බුද්ධෝ භවිස්‌සති.

"උග්‍ර ලෙස තපස්‌දම් රකිමින් මේ තාපසයා දෙස බලන්න. මොහු මින් අප්‍රමාණ කල්ප ගණනක්‌ ගත වූ පසු බුදුවන්නේය" යනුවෙනි. එසේ දේශනා කර සමන් මල් අටමිටකින් පුදා ප්‍රථම නියත විවරණය දුන්හ. පසුපසින් වඩින මහරහතන් වහන්සේලාද හාරලක්‍ෂයක්‌ මල්මිටින් පුදා වැඩිසේක. මෙසේ නියත විවරණ ලබා ඇත්තේ වෙසක්‌ පුර පසළොස්‌වක්‌ දිනකය.

සුමේධ තාපසයාණන් වහන්සේ ඉන් පසුව තව තවත් අනේක ප්‍රමාණ පින්දහම් සිදුකර අවසානයේ වෙස්‌සන්තර ආත්මභාවය අවසන් කර තුසිත දිව්‍යලෝකයේ සන්තුසිත නම් දිව්‍යරාජයාව සත්පනස්‌කෙළ සැටලක්‍ෂයක්‌ අවුරුදු ආයු විඳිමින් සිටියේය. පසුව බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම බලාපොරොත්තුවෙන් සිටි දෙව්බඹුන් සියලු දෙනා එක්‌ව දොහොත් මුදුන් දී මෙසේ කීහ.

කාලෝයං තේ මහාවීර - උප්පඡ්ජ මාතු කුච්ජියං
සදේවකං තාරයන්තෝ - බුජධස්‌සු අමතංපදං"

"මහා වීරයන් වහන්ස, සමතිස්‌ පාරමීදම් පුරා සාරාසැකි කප් සුවහසක්‌ මුළුල්ලෙහි සසර ඇවිදිමින් පින් රැස්‌කළ ඔබ විසින් ශක්‍ර සම්පත්, බ්‍රහ්ම සම්පත්, චක්‍රවර්ති සම්පත් ආදී නොයෙක්‌ සම්පත් ප්‍රාර්ථනා කළේ නැත. නොයෙක්‌ පින්දහම් සිදුකර ලොව්තුරා බුදුබවම ප්‍රාර්ථනා කළහ. ඒ සිදුකර ගන්නා ලද පින්දහම් සම්පූර්ණ වන කාලය එළඹ ඇත. දැන් සියලු සත්ත්වයන් සසරින් ගොඩගැනීම සඳහා බුදුබව ලබන්නට හොඳම කාලයයි" යනුවෙනි. එම ආරාධනාව පිළිගෙන,

"කාලං දීපංච දේසං ච - කුලං මාතරමේව ච
ඒතේ පඤ්ච විලෝපෙත්වා - උප්පඡ්ජන්ති තථාගතා"

යනුවෙන් දැක්‌වෙන ආකාරයට 'කාලය, දීපය, දේශය, කුලය, මව' යන පඤ්ච විලෝකනය කොට දඹදිව මධ්‍යදේශයේ උපත ලැබූහ.

එසේ උපත ලබා,

"අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස - ජෙට්‌ඨෝ හමස්‌මි ලෝකස්‌ස
සෙට්‌ඨෝ හමස්‌මි ලෝකස්‌ස - අයමන්ති මාජාති නත්ථිදානි පුනබ්භවෝ"

එනම්, 'මම ලෝකයට අග්‍රවෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්මභාවයයි. යළි මාගේ උපතක්‌ නැත' යනුවෙන් සත්පියුම් පිට නැගී සිංහ නාදය කළේත් වෙසක්‌ පුන් පොහෝ දිනකය.

සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය කරන සියලු සැපසම්පත් රජමාලිගාවේ පිරී ඉතිරී තිබිණි. 'රම්‍ය, සුරම්‍ය, සුබ' වශයෙන් මාලිගා තුනක්‌ තනා තිබිණි. යසෝධරා කුමරිය වැනි රූමත් ගුණවන්ත කාන්තාවක්‌ හා රාහුල කුමාරයා වැනි පින්වත් සුරතල් දරුවෙක්‌ සිටියේය. එපමණක්‌ නොව සැපවන්ත ජීවිතයකට අවශ්‍ය කරන සියලු දේ ආඪ්‍යව තිබිණි. නමුත් ඒ සියලු දේ අස්‌ථිර දේ බව නිවැරදිව අවබෝධ කරගන්නට වැඩි කාලයක්‌ ගත වූයේ නැත. උයන්සිරි නරඹන්නට යන අවස්‌ථාවන්හිදී 'සතර පෙර නිමිති' දැකීමෙන් සාංසාරික විඤ්ඤාණය ඇතිවුණි. ඒ තුළින් සසරේ ස්‌වභාවය හඳුනාගන්නට අවස්‌ථාව සැලසුණි.

සියලු සත්ත්වයන්ගේ ඉපදීම හා මරණය පිළිබඳ දැඩිව කල්පනා කළ සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්‌මෙන්නට කල්පනා කරන්නේ රජමාලිගාවේ නාටිකාංගනාවන්ගේ විකාර දර්ශන දැකීම තුළිනි. උයන්සිරි නරඹා එන කුමරුවන් දුටු කිසාගෝතමිය නම් වූ සිටුදියණිය සිදුහත් කුමාරයාගේ උපශාන්ත භාවය ගැන මෙසේ දක්‌වා ඇත.

"නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතෝ නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරී - යස්‌සායං ඊදිසෝපති"

එනම් 'යම් මවකට මෙබඳු පුතෙක්‌ වේ නම් ඒකාන්තයෙන් ඒ මව නිවුනීය. යම් පියෙකුට මෙබඳු පුතෙක්‌ වේ නම් ඒ පියතුමා ඒකාන්තයෙන් නිවුනේය. යම් ස්‌ත්‍රියකට මෙබඳු හිමියෙක්‌ වේ නම් ඕ තොමෝ ඒකාන්තයෙන් නිවුනීය'. මේ ආකාරයෙන් කිසාගෝතමිය ගායනා කළ 'නිබ්බුත පද' ඇසූ සිදුහත් කුමාරයා තමා සතු ලක්‍ෂයක්‌ වටිනා මුතුහර ගෙලෙන් මුදා කිසාගෝතමියට තිළිණකොට යෑවීය.

අභිනිෂ්ක්‍රමණය කරන අවස්‌ථාවේ වසවත් මරුගෙන් බාධා ඇතිවිය.

"මා නිඛම මහාවීර - ඉතෝ තේ සත්තමේ දිනේ
දිබ්බන්තු චක්‌කරතනං - අද්ධා පාතු භවිස්‌සති"

'සත් දිනකින් ඔබට චක්‍රවර්ති රාජ්‍ය පහළ වෙයි. දිව්‍යමය චක්‍රරත්නය ආදිකොට ඇති සත්රුවනින් හෙබි දෙව් සැපත පරයන සක්‌විති පදවිය නිසැකයෙන්ම ඔබට ලැබෙනු ඇත. එනිසා යන්න එපා' යනුවෙනි.

එහෙත් කෙතරම් සැප සම්පත් තිබෙනවා කියා කීවත් බෝසත් කුමරා නැවතුනේ නැත. භෞතික සැප සම්පත් සියල්ල "අලුයම ළු කෙළපිඩක්‌" මෙන් ඉවත දැමූහ. සදාකාලික සැනසීම වූ උතුම් නිවන පිණිසම ගමන ආරම්භ කළේය. පැවිදිව තපස්‌ ජීවිතයක්‌ ගත කරන්නට පටන් ගත්තේය. රන් බඳුන්වල ආහාර පාන ගත් බෝසතාණන් වහන්සේ දැන් මැටි බඳුන්වල ආහාර පාන ගනිති. ඉතා දුෂ්කර වූ ජීවිතයක්‌ ගත කරති. 'අත්තකිලමතානුයෝගය' හා 'කාමසුඛල්ලිකානුයෝගය' යන අන්ත දෙකම නැතිව මැදහත්ව ඇසතු වෘක්‍ෂය සෙවණේ වැඩහිඳිමින් භාවනා වඩා සව් කෙළෙසුන් නසා උතුම් වූ සම්බෝධියට පැමිණ වදාළහ. ඒ අසිරිමත් සිදුවීමට වසර 2600 ක්‌ සම්පූර්ණ වන මොහොතකයි අප මේ ජීවිතය ගතකරන්නේ.

පන්සාළිස්‌ වසක්‌ මුළුල්ලේ බුද්ධ චරිතයෙන් සිදුකරන ලද්දේ පරෝපකාරයමය. දිනකට පැයකුත් විනාඩි විස්‌සක්‌ පමණ විවේක ගනිමින් අනෙක්‌ සෑම වේලාවක්‌ම අනුන් වෙනුවෙන් ජීවිතය කැප කළහ. මෙවැනි උතුම් චරිතයක්‌ කෙනකුට දකින්නට ලැබේද? එය මහත් වූ භාග්‍යයකි.

උන්වහන්සේ "දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම" - 'දෙවියන්, බ්‍රහ්මයින් අභිබවා වැඩ සිටිති. ඒ හැම දෙනාගෙන්ම වැඳුම් පිදුම් ලබති. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් වසර 2558 ක්‌ සපිරෙන අවස්‌ථාවේ වුවද උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මොනවට කියාපායි.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී වසර 2603 ක්‌ සපිරෙන අවස්‌ථාවේ අප කුමක්‌ කළ යුතුද? තවමත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය නොඇසූ අය කොතරම් ඇද්ද? තවමත් මේ ධර්මයෙන් ප්‍රයෝජන නොලබාපු අය කෙතරම් ඇද්ද? උත්පත්තියෙන් බෞද්ධ වෙලත් මේ ධර්මය තේරුම් ගැනීමට නොහැකිව කෙතරම් ඇද්ද? එසේනම් දැන්වත් ඒ ගැන සිතිය යුතුය. මේ ලෝකයේ කිසිවෙකුටවත් හැකියාවක්‌ නැහැ, තමා කළ පාපයෙන් වළකින්නට.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ "තුම්හේහි කිච්චං ආතප්පං අඛාතාරෝ තථාගත" - 'ඔබලා උත්සාහවන්තව ක්‍රියා කළ යුතුය. තථාගතයන් වහන්සේ මග කියාදෙන්නේය' යනුවෙනි.

එසේනම් උතුම් වූ තෙමඟුල සමරන මොහොතේ අප කල්පනා කළ යුතු දෙයක්‌ ඇත. එනම් තමා බෞද්ධයෙක්‌ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කෙතරම් දුරට ක්‍රියාත්මක කරනවාද? ඒ ධර්මයට අනුව තමා ඇතිකරගෙන ඇති උතුම් ගතිගුණ තිබෙනවාද? දාන ශීල භාවනා යන පින්දහම් කරගෙන තිබෙනවාද? පරෝපකාරය කෙතරම් දුරට වර්ධනය කරගෙන තිබෙනවාද? තම සිත යම් තරමකින්වත් හඳුනාගෙන තිබෙනවාද? සිතේ දමනය ඇතිකර ගැනීමට හැකියාව තිබෙනවාද? කෙනකු තමාට හිත රිදෙන මොනවා හරි කීවොත් එයට ක්‍ෂණිකව තරහ එනව ද? නැතිනම් එය හඳුනාගෙන ඉවසීමෙන් ක්‍රියාකරනවා ද? කියාය.

එසේම නිරන්තර තමාගේ උත්සාහය තිබෙන්නේ අන් අයට දුකක්‌ වේදනාවක්‌ දීමටද? නැතිනම් කෙනෙක්‌ සනසන්නටද? කියා සිතා තමාගේ චරිතය තමාම හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්ය. තමා තුළ ඇති නරක ගති අත්හැර යහපත් වූ ගතිගුණවලින් පොහොසත් වන්නට අධිෂ්ඨාන කර ගැනීමෙන් මේ උතුම් වූ වෙසක්‌ මංගල්‍ය සමයේ හැම දෙනාටම සෙත ශාන්තිය සලසා ගැනීමට හේතුවනු ඇත.

තෙරුවන් සරණයි!

පූජ්‍ය ගෝණදෙණියේ සීවලී හිමි, ශාස්‌ත්‍රවේදී ජාතික අධ්‍යාපන ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා, කඩුවෙල බෝමිරිය ජාතික පාසලේ හිටපු ආචාර්ය, ගංගාරාමවාසී
http://www.divaina.com/2014/05/14/feature08.html

Pic Source

0 comments: