Pages

Saturday, May 17, 2014

විජයග්‍රහණයේ පස්‌වැනි සැමරුම හා ඉනික්‌බිතිව....!

ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයේ ග්‍රහණයෙන් මුදා ගනිමින් මුළුමහත් ජනතාවට ම නිදහසේ අරුණෝදය උදා කළ ඒ අභිමානවත් මතකය සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ පස්‌වැනි සැමරුම අද මාතර පුරවරයේදී මුළුදෙනු ඇත. මේ රටේ ජාතික නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ අභීත රණවිරුවන් ප්‍රමුඛ ඒ සඳහා නන් අයුරින් වෙර, බල දුන්, සියල්ලෝම අපගේ ද උත්තමාචාරය ලබති. 2009 මැයි 18 වැනිදා ජාතියේ සාඩම්බරය ද අභිමානය ද ලොවටම විදහා දැක්‌වූ ඓතිහාසික විජයග්‍රාහී දිනය බව නිසැකය.

බටහිර අධිරාජ්‍යවාදයේ නිල හා නොනිල අනුබලය ද රැකවරණය ද ලබමින් දසක තුනකට අධිකව මේ රට ලෙයින් නහවමින් මිනී කඳු ගැසූ ෆැසිස්‌ට්‌වාදී නායකයාගේ සියලු සැහැසිකම් අවසන් වූයේ 2009 මැයි 18 වැනිදා ය.ඒ වෙනුවෙන් පිදූ ජීවිතවල වටිනාකම කිසිදිනෙක මෙපමණ යෑයි කිසිවෙකුට කිව නො හැක. රට වෙනුවෙන් ජාතික නිදහස වෙනුවෙන් ජීවිතයන් පරිත්‍යාග කළ ඔව්හු අපගේ සනාතන ගෞරවයට පාත්‍ර වන්නාහුය. සැබැවින්ම ඔවුහු මේ රටේ මතු මතුව බිහිවන සියලු ජනතාව වෙනුවෙන් සිය අගනා ජීවිත දන් දුන් වීරයෝ ම වන්නාහු ය. කෘතවේදී ජනතාවක්‌ ලෙස අපි ඔවුන් සිහිපත් කළ යුතු වන්නෙමු.

විජයග්‍රහණයේ පස්‌වැනි සැමරුමට එළඹ සිටින නමුදු තවමත් ඒ ත්‍රස්‌තවාදයේ අඳුර සපුරා පහ වී නොමැති බව ද අප සිහි කළ යුතුය. බටහිරයන් සමඟ එක්‌ව සිටින ඊනියා දෙමළ ඩයස්‌පෝරාව මෙන්ම ඊළාම් බෙදුම්වාදය උදෙසා පෙනී සිටින්නෝ ද තවමත් සිය අරමුණුවලින් බැහැරව නොසිටිති. ඒ වෙනුවෙන් රට තුළ මෙන්ම ඉන් බැහැරව ද විවිධ ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතී.

මෙයට හේතු මොනවාද? යුද ජයග්‍රහණයෙන් පසු අපට දෙමළ ජනතාව දිනා ගත නොහැකි වූයේ ඇයි? දෙමළ ජනතාව අපේක්‍ෂා කළ ජීවිතය හා නිදහස තවමත් ඔවුන්ට ළඟා වී නැති බවට බරපතළ චෝදනාවක්‌ ආණ්‌ඩුවට ද එල්ල වී තිබේ. එසේම සිංහල ජනතාවට සිය ඥාතීන් අනුස්‌මරණය කිරීමට තිබෙන අයිතිය හා අවස්‌ථාව දෙමළ ජනතාවට අහිමි වී තිබෙන බව ද සමහරු ප්‍රකාශ කරති.

යාපනය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු මෙන්ම දෙමළ සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු ද රජය දෙමළ ජනතාවගේ නිදහසට බාධා කරන බව කියති. නොබෝදා යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නිල ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ ද යුද්ධය නිසා අකාලයේ මියගිය දෙමළ ජනතාවට තම පවුල්වලට අයත් සාමාජිකයන් සිහිපත් කිරීමට අවස්‌ථාවක්‌ තිබිය යුතු බව ය. යුද්ධයේ අවසන් අදියරේදී මියගිය අය අනුස්‌මරණය කිරීම වරදක්‌ වන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්නකර තිබිණි.

යාපනය විශ්වවිද්‍යාලය මැයි 16 වැනි දින සිට 20 තෙක්‌ වසා දැමීම ද මෙම ආචාර්යවරුන්ගේ කනස්‌සල්ලට හේතු වී තිබේ. රජයේ මෙම තීරණයට හේතුව යාපනය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කිරීමට සූදානම් කළ ප්‍රභාකරන් සිහිකිරීම බව නිසැකය. ප්‍රභාකරන් යනු මේ රට වැනසූ ෆැසිස්‌ට්‌වාදියකු නිසා ඔහු යළි අනුස්‌මරණය කිරීමට ඉඩ නො තැබිය යුතුය යන අදහස දරන තවත් විශාල පිරිසක්‌ ද සිටිති.

ප්‍රභාකරන්ට යළි පණදීමට මේ වන විටත් බොහෝ දේවල් සිදුවන බව ද අපි දනිමු. ප්‍රභාකරන්ට අනුප්‍රාප්තිකයෙක්‌ සෙවීමේ දුෂ්ට අරමුණක්‌ තිබෙන බව ද අපි දනිමු. එබඳු අරමුණකට ඉඩ නොදිය යුතු වන අතරම ඒ සඳහා දෙමළ ජනතාව බිල්ලට දීම භයානක ක්‍රියාවක්‌ බව ද අපි ඉඳුරා කියමු.

යාපනය සරසවි ආචාර්යවරුන්ගේ විරෝධය සාධාරණ ද යන ප්‍රශ්නය අප තුළ ද නැඟෙයි. ප්‍රභාකරන් යුගය අවසන් වුවත් එය යළි පුබුදු කිරීම අද බටහිර ප්‍රමුඛ ඊනියා දෙමළ ඩයස්‌පෝරාවේ අභිලාෂය බව මේ ආචාර්යවරුන් නොදැන සිටීමට හේතුවක්‌ නැත. දෙමළ දේශපාලන නායකයෝ ද උතුරේ සිදුවන ක්‍රියාකාරකම්වලට සංවේදී නොවෙතියි කිව නොහැක. ආණ්‌ඩුව උතුරට මැතිවරණයක්‌ ලබා දෙන්නේ ද සිංහල දෙමළ වාර්ගික සමගියට අර්ථවත් පදනමක්‌ දැමීමට බව මේ දෙපක්‍ෂයම තේරුම් ගත යුතුය. එහෙත් ඇතැම් දෙමළ නායකයන්ට වුවමනා එක්‌වරම ගෙඩිය පිටින් ඩැහැ ගැනීමටය.

ප්‍රභාකරන්ගේ පීඩනය තුළ 'හ්ම්' හඬක්‌ නොනැගූ මේ සියල්ලෝ ම අද දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයෝ බවට පත්ව සිටිතියි විවෘත චෝදනාවක්‌ ද තිබේ. එකල පාර්ලිමේන්තුව තුළ සිටි දෙමළ මන්ත්‍රීවරුන් හැසිරුනේ ද ප්‍රභාකරන්ට වුවමනා ආකාරයට බවද නොරහසකි. තමිල් සෙල්වම්ගේ කැඳවීමෙන් වන්නියට දිව ගිය ඒ මන්ත්‍රීවරුන්ට ඒ කාලය මේ තරම් ඉක්‌මණින් අමතක වීම ද විශ්මය දනවයි. එසේම ඔවුන්ට දෙමළ ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටු කිරීමට නොහැකි වුයේ ආණ්‌ඩුවේ බාධා කිරීම් නිසාම යෑයි කිව හැකි ද?

ප්‍රභාකරන්ගේ යුගය හා ක්‍රියාකාරකම් රෝහණ විඡේවීරගේ යුගය හා ක්‍රියාකාරකම් සමඟ මතු පිටින් සසඳන සමහරුන් විසින් ඉදිරිපත් කරනු ලබන තර්කයක්‌ ද තිබේ. ඒ ජවිපෙ කුරිරු ඝාතන ක්‍රියා කළ සාමාජිකයන් හා එහි නායකයා සැමරීමට තිබෙන වරම ප්‍රභාකරන්ට හා එල්.ටී.ටී.ඊ. සංවිධානයට ද තිබිය යුතු බවය. එහෙත් ජවිපෙ ඒ අවස්‌ථාව උදා කර ගත්තේ කෙසේද? ජවිපෙ නායකයා ද පසුව ඝාතනයට ලක්‌වන බව සැබෑ ය. එහෙත් ඔහු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්‌ වූවෙකි. 88 - 89 භීෂණයට ඔහුත් ඔහුගේ පක්‍ෂයත් තල්ලු කර දැමූ අය එයට වගකිව යුතු නොවෙත්ද?

ජවිපෙ ඉල් මහ විරු සැමරුම ආරම්භ වන්නේ ඔවුන්ගේ සියලු අතීත විනාශකාරී අත්දැකීම්වලින් මිදී ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වීමෙන් පසුවය. ජ.වි.පෙ. යළිත් විඡේවීර කෙනෙක්‌ නිර්මාණය කිරීම පසෙක දමා මේ රටේ සමාජවාදය ගැන අලුත් ප්‍රවේශයක්‌ ගත් පක්‍ෂයකි. එහි දුබල තැන් තිබේ. එය වෙනම කතාවකි. එමතු නොව ජ.වි.පෙ. පාර්ලිමේන්තුව තුළද සන්ධාන ආණ්‌ඩුව තුළද සිටිමින් සන්නද්ධ දේශපාලනයට තිත තැබූ අයුරු අපට පෙනේ.

එල්.ටී.ටී.ඊ. නායකයා වූ ප්‍රභාකරන්ට කිසිදිනක එබඳු දේශපාලන අභිලාෂයක්‌ නොවීය. ඔහුගේ න්‍යාය ඝාතනය පමණි. මේ රටේ බහුතරයක්‌ දෙමළ දේශපාලන නායකයන් හා සංවිධානද විනාශ කළ ෆැසිස්‌ට්‌වාදියකු ලෙස ප්‍රභාකරන් දිගටම සිටියේය. ඔහු සටන් විරාම ගිවිසුම් අත්සන් කරමින්ද සාම සාකච්ඡා නමැති ව්‍යාජයට නියෝජිතයන් යවමින්ද රට මුළා කළ ද්‍රෝහියෙකි. ගම් නියම් ගම් බිය වැද්දූ සාහසිකයෙකි. විඡේවීර හා ප්‍රභාකරන් එකම කාසියේ දෙපැත්තකැයි පිළිගැනීමට අපට තිබෙන හේතු අඩුය.

ප්‍රචණ්‌ඩත්වය හා සාහසිකත්වය දේශපාලනය නොවන බව විඡේවීර පමා වී හෝ වටහා ගත්තේය. එහෙත් ප්‍රභාකරන්ට එබඳු වුවමනාවක්‌ තිබුණිද? හාල්මැස්‌සකු මැරීම මෙන්ම අලියකු මැරීමද පවකි. එහෙත් මේ දෙතැන්හි තිබෙන යථාර්ථය කෙබඳුදැයි බෞද්ධයෝ දනිති.

අනෙක්‌ අතට එල්.ටී.ටී.ඊ. යනු මේ වනවිටත් තහනම් සංවිධානයකි. එහි අදිසි මෙහෙයුම්කරුවෝ සමයේ සෙවණ යට බෙදුම්වාදයේ විස වපුරමින් සිටිති. බටහිරයන්ගේ ආශිර්වාදය ලබමින් සමුළු පවත්වති. අරමුදල් තර කර ගනිති. ඒ කිසිවෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මාවත ප්‍රිය වූ බවක්‌ ද නොපෙනේ. උතුරේ පළාත් සභාව තුළ සිදුවන්නේ කෙබඳු දේවල්ද? ඔව්හු ඒ බලය භාවිත කිරීමට සූදානම්වන්නේ කුමක්‌ උදෙසාද? යළි එල්.ටී.ටී.ඊ.ය පිබිදවීම ඔවුන්ගේ අරමුණක්‌ නොවේද?

ඉන්දියාව මේ වන විට ශ්‍රී ලාංකික සරණාගතයන්ට ලබා දී තිබෙන නියෝගයකින් දන්වා ඇත්තේ ද ප්‍රභාකරන් සිහිපත් කරන කිසිදු වැඩ සටහනක්‌ නොපවත්වන ලෙසය. ඉන්දියාවේ හින්දු පුවත්පත මේ පුවත ඉකුත් 15 වැනිදා වාර්තා කර තිබිණි. මාර්තු 18, 19 යන දිනවල ප්‍රභාකරන් සිහි කෙරෙන කිසිදු උත්සවයක්‌ තමිල්නාඩුවේ කඳවුරු තුළ සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් විසින් සිදු නොකළ යුතු බවට ආරක්‍ෂක අංශ උපදෙස්‌ දී ඇති බවද ඒ පුවතේ දැක්‌විණි. තමිල්නාඩුවේ විල්ලපුරම්හි කඳවුරකදී ඔවුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක්‌ද පවත්වා තිබිණි. ඉන්දීය වෙරළ ආරක්‍ෂක බළකායේ ප්‍රධානියා වන ආර්. සේකර්ගේ අදහස වී ඇත්තේ එබඳු දේවලින් දෙමළ ජනතාවට යහපතක්‌ නොවන බවය.

ප්‍රභාකරන්ගේ පීඩනයට හසුව ඔහුගේ බිහිසුණු මෙහෙයුම්වලට සහභාගි වූ අහිංසක දෙමළ ජනතාවගේ දරුවන් ගැන සංවේදී වන දෙමළ නායකයෝ අද සිටිත්ද? යාපනය විශ්වවිද්‍යාලය හෝ උතුර අද දවසේත් භාවිත වන්නේ කෙබඳු අරමුණු උදෙසාද? වැනි ප්‍රශ්නවලට උතුරෙන් දිය හැකි පිළිතුර කුමක්‌ද? සිය ඊළාම්වාදී සිහිනය වෙනුවෙන් තව දුරටත් උතුරේ තරුණයන් උසි ගැන්වීම කළ යුතු යෑයි දෙමළ නායකයෝ කල්පනා කරත්ද?

ඉන්දියාව ඉදිරි වසර 5 කට එල්.ටී.ටී.ඊ.ය තහනම් කරන්නේ ඇයි යන ප්‍රශ්නයද මෙම දෙමළ නායකයෝ සිහි කළ යුතු වෙති. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක්‌ තිබෙන බව ඉන්දියාවද පිළිගනී. එහෙත් දෙමළ නායකයන් ලෝකයට ප්‍රකාශ කරන්නේ ඊට පටහැනි දෙයකි. අද උතුරේ හමුදා පාලනය ලිහිල් නොවන බව කියන දෙමළ සන්ධානය එහි සිදුවන රහසිගත ක්‍රියාකාරකම් දැන දැනත් මුනිවත රකින බව අපට පෙනේ. උතුරේ අත්අඩංගුවට ගැනීම්, ස්‌ත්‍රී දූෂණ, අවතැන්වීම් ගැන දිගින් දිගට චෝදනා නැගෙයි. එහෙත් නිදහස හා සාමය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කිරීම වෙනුවට ඒ ජනතාව නොමග යෑවීමක්‌ උතුරේ සිදුවීම මේ සියල්ලටම හේතු වී නැතැයි කිව හැකිද?

උතුරු නැගෙනහිර ජනතාවට තමන්ගේම පළාත් සභාවක්‌ ලබා දීමට රාජපක්‍ෂ ආණ්‌ඩුවට හැකි වුවත් එයට ස්‌වාධීනව පැවැත්මක්‌ නැතැයි චෝදනා කරන අයගේ ප්‍රධාන කරුණක්‌ වන්නේ ඉඩම් බලතල හා පොලිස්‌ බලතල එයට නොදීමය. එහෙත් මේවා එක රැයින් ලබාදීමට තරම් සුහද දේශපාලන වාතාවරණයක්‌ ඇති වී තිබේද? ප්‍රභාකරන්ගේ මිනීවළ ළඟට ගොස්‌ දිව්රුම් දෙන ඇතැම් මන්ත්‍රීවරුන් සැරසෙන්නේ කුමකටද යන සැකය අසාධාරණද?

දෙමළ ජනතාව ලංකාවේ විවිධ පළාත්වල කිසිදු බාධාවකින් තොරව ජීවත් වන බවද නොරහසකි. කොළඹ නගරයේ වෙළෙඳ ඒකාධිකාරයේ හිමිකරුවෝ කවරහුද? බහුජාතික සමාගම් ඇතුළු ප්‍රබල ව්‍යාපාර දෙමළ ධනවතුන්ට නැතැයි කිව හැකිද? එහෙත් උතුරේ ජනමනස තුළ නිතරම වැඩෙන්නේ සහජීවනය නොව බෙදී වෙන්වීමේ අභිලාශයකි. එය කිසිසේත්ම ජනතාවට වුවමනා දෙයක්‌ නොවේ. එහෙත් මේ නායකයන්ගෙන් වැඩි දෙනකුට වුවමනා වී තිබෙන්නේ බෙදී වෙන්වී තම බලය ගොඩ නඟා ගැනීම බව ඉතා පැහැදිලිය.

දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට කිසිවකුට බාධා කළ නොහැකි වන්නාසේම ඒ සඳහා වුවමනා සියලු කටයුතු සම්පාදනය කිරීමද ඉතා වැදගත්ය. යුද්ධයේ පස්‌වැනි සැමරුම එනවිටත් ඒ අයිතිය හිමි නොවූයේ නම් එහි කොතැනක හෝ වරදක්‌ තිබිය යුතුමය. යුද්ධය නිම වී පස්‌ වසරක්‌ ගත වෙද්දීත් රාජපක්‍ෂවරුන්ට සිදු වී තිබෙන්නේ ප්‍රභාකරන් මැරීමට හේතු වූ හා ඒ වෙනුවෙන් කළ මෙහෙයුම් ගැන බටහිරයන්ට උත්තර බැඳීමටය. ආණ්‌ඩුව එතැනදී බිත්තියට හේත්තු කිරීම බටහිරයන්ගේ මෙන්ම මෙරටේ සිටින සියලු ආණ්‌ඩු විරෝධීන්ගේ අභිලාෂය වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයත් උතුරේ පළාත් සභාවත් තම ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් තේරුම් ගෙන ඒවා විසඳා ගැනීමට සාධනීය ලෙස කැප නොවූවා සේ ආණ්‌ඩුවද උතුරේ ප්‍රශ්නය ගැන ගැඹුරින් අවධානය යොමු නොකළ බවද අපට පෙනේ. ආණ්‌ඩුව ගැන උතුරේ ජනතාව තුළ ප්‍රසාදයක්‌ නැත්තේ ද එනිසාය, උතුරට යෝධ සංවර්ධනයක්‌ සිදු වූවත් උතුරේ ජන ජීවිතය තුළ ප්‍රබල වෙනසක්‌ සිදු වී නැති බව ආණ්‌ඩුවද තේරුම් ගත යුතුය. අවිශ්වාසය හා සැකය විසින් ඉතිහාසය මුළුල්ලේ බිඳ දමන ලද සිංහල හා දෙමළ සමඟිය ගොඩනැංවීම අද අත්‍යවශ්‍යම දෙයකි. එය සිදු වූයේ නම් ජාත්‍යන්තර පුහු ඝෝෂා ඉබේම නතර වනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ශ්‍රී ලංකා පොළොව තුළම විසඳා ගැනීමට අපට ශක්‌තියක්‌ නැද්ද? දෙමළ සන්ධානය තවමත් තම දුක්‌ ගැනවිලිද වුවමනා එපා කම්ද කීමට ඉන්දියාවටත් බටහිරටත් දිව යන්නේ ආණ්‌ඩුව ගැන විශ්වාසයක්‌ නැති නිසා විය යුතුය. එහෙත් එබඳු ගමන් වලින් සිදුවන්නේ යහපතට වඩා අයහපත බව ඔව්හු තේරුම් ගත යුතු වෙති. අද මේ රට අස්‌ථාවර කිරීම සිය දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත් කර ගත් බටහිරයන්ට හා අනෙක්‌ සියලු බලවේගවලටද එබඳු අවස්‌ථා ඉතා වැදගත් බවද අප වටහා ගත යුතුය.

උතුරේ, බුද්ධිමතුන් මෙන්ම විශේෂයෙන් යාපනයේ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයද මෙහිදී මීට වඩා ප්‍රමුඛ හා වැදගත් මැදිහත්වීමක්‌ කළ යුතු බව කිව යුතුය. ත්‍රස්‌තවාදයට උඩ ගෙඩි දුන් ව්‍යාපාරයකට මානව හිමිකම් ලබාදීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ අභිවර්ධනයට වුවමනා ජන වෙනසක්‌ ලබාදීමට ඔවුන්ට හැකිවිය යුතුය. අදත් උතුරේ ජනතාව පෙරට දමමින් කෙරෙන ඊනියා ඊළාම්වාදයට පණ දීමේ අරමුණ පරාජය කිරීම සඳහා ඔව්හුද කැපවිය යුතු වෙති. උතුරේ ජනතාවගේ දරුවන් සාහසිකත්වයට රැගෙන ගිය ප්‍රභාකරන් යළි සිහිකිරීම සඳහා සෘජුව හෝ වක්‍රව අනුබල අනුග්‍රහ ලබාදීම දෙමළ බුද්ධිමතුන්ගේ අරමුණ නොවිය යුතුය.

දේශපාලන ලියුම්කරු
http://www.divaina.com/2014/05/18/politics01.html

0 comments: