Pages

Thursday, May 15, 2014

බුදුසමය සහ දෙව්බඹුන්

දෙවියන් උදෙසා කොපමණ පුද පූජා කළද ඒ පුද පූජා කරනවුන් අතරින් එකකු හෝ දෙවියන් කෙබඳු දැයි කිවහැකි ලෙස පියවි ඇසින් දුටුවකු මෙකල සිටිතැයි කාහට කිව හැකිද? එය එසේ වුවත් දේව හාස්‌කම් පිළිබඳව ද ඔවුන්ගේ ගති ස්‌වරූප පිළිබඳව ද ප්‍රකාශිත ප්‍රවෘත්ති බොහෝ ය. දෙවියන් උදෙසා නිර්මාණය කළ දේව ස්‌තෝත්‍රද ඕනෑ තරම් ඇත. දෙවියන් සිටිතැයි සිතන නැන් කරා පැමිණ බාරහාර වන්නෝද බොහෝ සිටිති.

ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්තුමා 'සිතිවිලි' නමින් පළ කළ පොත් පෙළෙහි එක්‌ තැනක දී දෙවියන් ගැන තම මතය මෙසේ දක්‌වයි.

"දෙවියෝ කවරහුදැයි දැන ගැනීමට ආධාර වන අල්ප මාත්‍ර හෝ ප්‍රත්‍යක්‍ෂ ඥනයක්‌ මට නැත. එහෙයින් කිසිසේත් නොදන්නා ඔවුන්ට මා ස්‌තෝත්‍ර කියන්නේවත් අවමන් කරන්නේ වත් නැත, ඔවුනට පහන් දැල්වීමක්‌ වැඳීමක්‌ ඔවුන්ගෙන් පිහිට පැතීමක්‌ මම නොකරමි. කිසිම විදිහේ ආරක්‍ෂාවක්‌ද මම ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවෙමි. කොටින් කියතොත් ඔවුන් මගේ අධ්‍යාත්ම ජීවිතයට හෝ බාහිර ජීවිතයට හෝ අයත් වූවෝ නොවෙති".

වර්ෂ 1880 මැද භාගයේ දී ගාලු වරායෙන් මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ මහතා මේ රටේ මහත් වූ බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. එතුමා ගැන ලියවුණ ඕල්කොට්‌ හා බෞද්ධ ප්‍රබෝධය නම් පොතෙහි දේවාත්ම පිළිබඳව මෙසේ සඳහන් ය.

පරම විඥනාර්ථ ව්‍යාපාරයේ උත්පත්තියේ සිට ඕල්කොට්‌ තුමාගේ මරණය දක්‌වා දිව්‍යමය බලයක්‌ ඇති පුද්ගලයන් කිහිප දෙනකු නන් අයුරින් මේ ව්‍යාපාරයට ආධාරෝපකාර කර තිබෙන බව පෙනේ. එයින් සෙන්ට්‌ ජර්මේන්, සෙරපිස්‌ බේ යන දෙදෙනා ප්‍රධාන වෙති.

මෑත කාලයේ අවස්‌ථා කීපයකදී දේවාත්ම පිලිබඳ කරුණු අනාවරණය විය. බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ අතිගරු නාරද මාහිමියන් විදේශයක දහම් දෙසුමක්‌ පවත්වමින් සිටි අතරතුර රත්පැහැ පොරෝනයකින් සැරසී කිසියම් නාඳුනන අමුත්තකු පැමිණ පිරිසේ කෙළවර සිට දහම් ඇසූ බව එහි සිටි ඇතැමෙක්‌ දුටහ. ඔවුන් ඒ පිළිබඳ ව නාරද හිමිට දැන්වූ විට උන්වහන්සේ දුන් පිළිතුර වූයේ ධර්ම දේශනා අවස්‌ථා වලදී එබඳු අය පැමිණීම ඉඩ ඇති බව පමණකි.

ඒ එක්‌ සිදුවීමකි. අනෙක්‌ සිදුවීම මෙරට දී සිදු වූවකි. එක්‌ වැදගත් පොහෝ දිනක සවස්‌ භාගයේ දී පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික සෝමාවතී චෛත්‍යය අවට අහසේ විදුලි ආලෝක වැනි ආලෝක කදම්බ රැසක්‌ ගමන් කරනු බොහෝ දෙනා දැක තිබිණි. ඉන් එක්‌ අයකු සිය කැමරාවෙහි එය සටහන් කොට ගෙන එක්‌තරා ප්‍රසිද්ධ පුවත්පතක එම ඡායාරූපය පළකර තිබිණි. එසේ චෛත්‍ය වටා ගමන් කළ එම ආලෝක කදම්බ වලින් ප්‍රකාශ වන්නේ චෛත්‍ය වන්දනාවට දෙවියන්ගේ පැමිණීම බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.

මෑත කාලයේ මෙබඳු තොරතුරු අසන්නට ලැබුණ අතර කෝට්‌ටේ රාජධානිය සමයේ වැඩ විසූ වීදාගම හිමි විසින් රචනා කරන ලද බුදුගුණාලංකාරයෙහි ග්‍රහයන් හෙවත් දෙවියන් සම්බන්ධව මෙසේ දක්‌වා ඇත.

ග්‍රහයෝනම් අඹර
දෙවියෝ ඌ සුරපුර
නොගනිති අන් අහර
උදක්‌ අමරස මිසක්‌ මනහර

කෝට්‌ටේ රාජධානි සමය වන විට දඹදිව වේදය උගත් බමුණන් මෙරටට පැමිණ මෙරටුන්ගේ ලෙඩදුක්‌ දුරු කිරීමට දෙවියන් උදෙසා යාග හෝම පවත්වා ඉන් ලැබෙන ආදායම දඹදිව රැගෙන යනු දුටු වීදාගම මාහිමි බමුණන්ට එරෙහිව මෙරට පහත් යෑයි සම්මත කුලයක වූවනට බමුණන්ගේ යාග ක්‍රමයට අනුරූප දේවගුණ නොව බුදුගුණ සහිත ශාන්තිකර්ම ක්‍රමයක්‌ (බලි ශාන්ති) උගන්වා බමුණන් ලඡ්ජාවට පත්කර ඔවුන් මෙරටින් පිට රටට ගෙනගිය ධන සම්පත් මෙරටෙහිම රැඳවූ බවක්‌ එයින්ම දෙවියන් උදෙසා කළ යාගහෝම නතර වූ බවත් පොතපතෙහි සඳහන් ය.

බුදුරදුන් ජීවමාන සමයේ දී දිව්‍ය හා බ්‍රහ්ම ආත්ම පිළිබඳව වූ ප්‍රවෘත්ති විශාල ප්‍රමාණයක්‌ පොතපතේ සඳහන් ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ දී ශක්‍ර බ්‍රහ්මාදීන් එහි පැමිණ රන් දැලින් හා රිදී දැලින් කුමරු වැසූ බවට සිදුහත් උප්පත්ති කතාවෙහි සඳහන් ය.

වෙසක්‌ පුන් පොහෝ දිනක ගයාවේ පිහිටි ජයග්‍රී මහා බෝධි මූලයේ වැඩ හිඳ සියලු කෙලෙස්‌ නසා සම්බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව සත් සතිය විමුක්‌ති සුවයෙන් බුදුන් වහන්සේ ගත කළ බව සඳහන්ය. එහි තුන්වැනි සතියේ දී උන්වහන්සේ වැඩ විසුවේ රතනාගරය හෙවත් රුවන්ගෙහිය. එය බුදුන් උදෙසා දෙවියන් විසින් මවන ලද්දක්‌ බවට බෞද්ධ පොතපතෙහි දැක්‌වේ.

සූත්‍ර පිටකයේ එන සූත්‍ර අතරින් ඉතාම වැදගත් සූත්‍ර ධර්මයකි ධම්ම චක්‌ඛ පවත්වන සූත්‍රය. ඇසළ පුන් පොහෝ දිනක ඉසිපතනයේ මිගදායෙහි දී පංච වග්ගික මහණුන් අමතා කළ මේ පළමු දහම් දෙසුමේ දී පැතිරුණ සාධු නාදය තලාටු බූමාටු දෙවියන්ගෙන් ආරම්භ වී චාතුර් මහා රාජික දිව්‍ය ලෝකය ඇතුලු සදීස ලෝක කරා ද ඉන් නොනැවතී බ්‍රහ්ම පාරිසඡ්ජය, බ්‍රහ්ම පුරෝහිතය ආදී වූ බ්‍රහ්ම ලෝක සියල්ල ඉක්‌මවා අකනිට බ්‍රහ්ම ලෝකය දක්‌වාද පැතිර ගියේ යෑයි දැක්‌වේ.

තවද සූත්‍ර පිටකයේ එන මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර ධර්ම බුදුන් වහන්සේ දේශන කර ඇත්තේ ද දේවතාවන් විසින් කරන ලද ආරාධනාවන් අනුවම ය. ඒ බව සූත්‍රාරම්භයේදී ඒවං මේසුතං ඒකං සමයං ආදී වශයෙන් ආරම්භ වී අඤ්ඤතරා දේවතා අභික්‌ඛන්තාය රත්තියා අභික්‌ඛන්න වන්නා කේවල කප්පං ඡේතවනං ඕභාසෙත්වා යනාදී වූ පාළි පාඨයෙන් මනාව තහවුරු වේ.

සිංහල බෞද්ධයා අතර ඉතා ජනප්‍රිය වූ ජාතක පොතෙහි එන ජාතක කථා කීපයකම ශක්‍රයාගේ සම්බන්ධතාවය ප්‍රකාශව ඇත. කුස ජාතකයේ දී කුස කුමරුගේ විරූප බව දුරු කිරීමට ශක්‍රයා අටවක්‌ මැණික ගෙන කුස හමුවට ආයේය. බෝසත් ගුත්තිල පඬි අසරණව වනගතව සිටින විටද ශක්‍රයා පැමිණ ඔහුට පිහිටට සිටියේය. දහම්සොඬ රජුට ධර්මය දැනගැනීම සඳහා අවශ්‍ය වූ විට ද ශක්‍රයා රකුස්‌ වෙස්‌ ගෙන ආවේය. ඒ හැරුණු විට රුක්‌ දෙවිවරු ද ජාතක කථා අතරින් මතු වී සිය කාර්ය ඉටු කළහ.

බුද්ධ චරිතය පිළිබඳ කරුණු විමසා බලන කල්හි ද උන්වහන්සේගේ දින චර්යාව තුළ යම් කොටසක්‌ දෙවියන් සඳහා ද වෙන් කර තිබුණු බව පැහැදිළිය. පෙරයම මැදියම දසුයම යනුවෙන් රාත්‍රිය තුන් කොටසකට බෙදී ගිය අතර මැදියම එනම් රාත්‍රි 10.00 සිට 12.00 දක්‌වා කාලය දිව්‍ය බ්‍රහ්මාදීන්ට දහම් දෙසීමට ද ඔවුන් නගන ප්‍රශ්නවලට විසඳුම් දීමට ද යොදාගත්තේ ය. මේ අන්දමට දෙවියන් උදෙසා දෙසූ ධර්ම කොට්‌ඨාස විශාල ප්‍රමාණයක්‌ දේවතා සංයුක්‌තයේ දක්‌නට ඇත.

බුදුන්ගේ දෙවැනි ලංකා ගමනේ දී උන්වහන්සේ ලංකාවේ නාග දිවයිනට වැඩම කරන ලදී. ඒ ගමනේ දී සමිද්ධි සුමන නම් දෙවියකු දෙව්රම් වෙහෙර අසල තමා විසූ කිරිපළු වෘක්‍ෂය ද ගලවා ගෙන එය බුදුන්ට ඡත්‍රයක්‌ සේ ඔසවා ගෙන පැමිණි බවත් එසේ ගෙනා කිරිපළු වෘක්‍ෂය නාග දිවයිනෙහි රෝපණය කළ බවත් මහාවංශයේ 52, 53 ගාථාවන්හි මෙසේ සඳහන් ය.

සමිද්ධි සුමනො නාම - දෙවො ජෙතවනෙ ඨිතං
රාජා යතනමාදාය - අත්තනො භවනං සුභං
බුද්ධානුමතියා සෙව - ඡත්තාකාරං ජිනාපරි
ධාරයනෙතා උපගච්ජි - ධානං තං පුබ්බ වුත්තතිං

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශරීරය ආදාහනය කොට අවසන සර්වඥ ධාතු ලබා ගැනීම සඳහා එදා දඹදිව් වැසි රජුන් පැමිණි විට සියල්ලනට ම සාධාරණය ඉටු වන සේ ද්‍රෝණ බමුණා ඉදිරිපත් වී ධාතුබෙදා දුන්නද ඔහු සැම දෙනට රහසින් එක්‌ දළදාවක්‌ සිය හිස බැඳි ජටාවෙහි සැඟවූයේය. ශක්‍රයා එය දැක ඔහුට නොදැනෙන සේ ලබාගෙන දෙව්ලොවට ගෙන ගොස්‌ සිළුමිණි සෑයෙහි තැන්පත් කොට වැඳුම් පිදුම් කරන්නේලු.

එකා දාඨා තිදස පුරෙ
එකා නාග පුරෙ අනුං
එකා ගන්ධාර විසංසෙ
එකා ච පන සීහලෙ

යන මේ ගාථාවෙන් ද තව්තිසාවෙහි එක්‌ දළදාවක්‌ වැඩ සිටින බව කියවේ.

බුද්ධ මාතාව වූ මායා බිසව කුමාරෝත් පත්තියෙන් සත් වැනි දින කළුරිය කර මාතෘ දිව්‍යරාජයා වී උපන් බව පොත පතේ සඳහන් ය.

මෙකී මාතෘ දිව්‍යරාජයාට අනුග්‍රහ පිණිස එහි වැඩම කොට විජම් බණ දෙසූ බවද නැවත එහි සිට දඹදිව සංකස්‌ස නම් නුවරට ආපසු වැඩම කළ බවද බෞද්ධ සාහිත්‍යයෙහි එන තවත් සඳහනකි.

ක්‍රි.පූ. 236 දී ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමියන් කෙරේ පැහැදුන දෙවන පෑතිස්‌ රජු තම රට වාසීනට ද දහම් රසය බෙදා දීමට අවස්‌ථාව යෙදූ විට මිහිඳු හිමි මෙරට ජනයාට ප්‍රථමයෙන්ම ධර්ම දේශනා කළේ විමාන වත්තු, පේතවත්තු නම් ධර්ම කොට්‌ඨාසයකි. උන්වහන්සේ එයින් අදහස්‌ කරන්නට ඇත්තේ පින් කිරීමෙහි යෙදෙන්නන් දිව්‍ය සම්පත් ලබන බවත් පව් කම් හි යෙදෙන්නන් ප්‍රේත ලෝකාදී සතර අපායෙහි ඉපිද දුක්‌ අනුභව කරන බවත් දක්‌වා දහමට ම නැඹුරු කිරීමට යෑයි සිතිය හැක.

මෙහි මුලදී සඳහන් කළ අයුරු අදිකාරම්තුමා කුමන මතයක්‌ දැරුව ද සිංහල බෞද්ධයා දෙවියන් බ්‍රහ්මයන් හා දිව්‍ය නාග ආදීන් ගැන දැඩිව විශ්වාස කරන බවක්‌ නම් සිතිය හැකිය.

විශ්‍රමලත් විදුහල්පති, ඩී. ඒ. ටී. බී. දේවසිංහ
http://www.divaina.com/2014/05/14/feature04.html

Pic Source

0 comments: