Pages

Thursday, May 15, 2014

අසිරිමත් සිදුවීම් රැසක්‌ එක්‌ කළ වෙසක්‌ පුන් පෝය

මේ වෙසක්‌ සමයයි. සම්බුදු පියාගේ තෙමඟුල සමරමින් බෞද්ධ අබෞද්ධ ලෝකවාසී ජනතාවම පෙළ ගැසෙන මාසයයි. ලොව තුළ පැවැති සජීව අජීව හැම වස්‌තුවක්‌ ම නිවී සැනහීම් බවට පත් කළ, ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන් ලොවම සතුන්ගේ සිත් සතන් පහන් කළ, වීතරාගී මහා කාරුණිකයාණෝ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම සිදුවූ උතුම් දින උදාවන කාලයයි. ලංකාවාසී ජනතාවම දාන, සීල, භාවනාමය වශයෙන් ප්‍රතිපත්ති පූජාවේ මෙන්ම තොරණ සැරසිලි බැති ගී ආමිස පූජාවන් ආදී විවිධ පිංකම්වල මෙන්ම විවිධ පරාර්ථ චර්යාවන්හි යෙදෙමින් මහා කෘතවේදීත්වය පළකරන වකවානුවයි.

සැදැහැවත් බෞද්ධ ජනතාව අනුස්‌මරණය කරනුයේ බුද්ධෝත්පත්තිය, සම්මා සම්බුද්ධත්වය, පරිනිර්වාණය පමණක්‌ නොව ඒ හා බැඳුණු අති විශාල ශ්‍රේෂ්ඨ උදාරත්වයෙන් පිරුණු සිදුවීම් රාශියකි.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පුරා සමතිංසත් පාරමිතාවන් පිරීමටත් ගෞතම නමින් ලොව්තුරා බුදුවීමටත් දීපංකර බුදුරජුන්ගෙන් සුමේධ තාපසයාව විවරණ ලැබුවේ වෙසක්‌ පුන් පොහෝදාකය.

දස බිම්බරක්‌ මාර සෙනග දමනය කර තණ්‌හා, රතී, රඟා යන මාර දූවරු පරදවා සකල ක්‌ලේශයන් දවා හළුකර උතුම් වූ ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වූයේ ද වෙසක්‌ පුන් පොහෝදාකය.

මහා පෘතුවිය කම්පිත කරවමින් සුදොවුන් රජුට දාව මහා මයා දේවිය කුසින් එළිය දුටු බෝධිසත්වයෝ (සිද්ධාර්ථයන්) අගෙගා හමස්‌මි ලෝකස්‌ස යන අහිත සීහ නාදය පැවුත්වූයේත් සත් පියුම් මත පා තබා ඇවිද ගියේත් වෙසක්‌ පුන් පොහෝදාකය.

මානයෙන් උදම්වී නොමඟ ගිය ශාක්‍ය වංශිකයන් හමුවීමට කිඹුල්වතට වැඩම කර ලොවුතුරා බුදු බලය පෙන්වා මානය දුරු කර සැබෑ මනුෂ්‍ය ගුණ ධර්මයේ මිහිර විඳීමට ශාක්‍යයන්ට පාඩම කියා දුන් යමා මහ පෙළහර පෑවේද වෙසක්‌ පුන් පොහෝදාකය.

"භන්දදානි, භික්‌ඛවේ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ...." සියලු සංස්‌කාරයෝ අනිත්‍යය. පමා නොවී කටයුතු කරන්න. සිය ශ්‍රාවකයන්ට අවසාන අවවාදය ලබා දෙමින් පන්සාලිස්‌ වසක්‌ තුරිත අතුරිත වශයෙන් ගම් නියම්ගම් දනව් සැරිසරා ලෝවැසියාට ජීවිතයේ යථාර්ථය පෙන්වූ ලොවුතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ අනුපදිශේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ වෙසක්‌ පුන් පොහෝදාකය.

කතරගම තිස්‌සමහාරාම කිරිවෙහෙර ඇතුළු සොළොස්‌මස්‌ථානවලට වැඩම කර සමවත් සුවයෙන් කාලය ගත කළ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ එම උතුම් පූජනීය ස්‌ථාන පිහිටිය යුතු තැන් බුදු පහසින් ස්‌පර්ශ කළේ ද වෙසක්‌ පුන් පොහෝදාකය.

සම්මා සම්බුද්ධත්වයෙන් 8 වැනි අවුරුද්දෙහි තෙවැනිවර ශ්‍රී ලංකාවට වැඩම කර මණිඅක්‌ක නාරජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කිරීම හා සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් සමනොල ගිරට වැඩම කර ශ්‍රී පාද ලාංඡනය තබා පූජනීය වස්‌තුවක්‌ ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දායාද කළේ උතුම් වෙසක්‌ පුන් පොහෝදාකය.

සම්බුද්ධ පරිනිර්වාණයට සූදානම් අමාමෑණී බුදු පියාණන් ශ්‍රී ලංකා ධරණීතලය බුදු දහමින් පාරිපෝෂිතව බැබළෙන බව බුදු ඇසින් දැක සක්‌ දෙවිඳුන්ට ශ්‍රී ලංකාව ආරක්‍ෂා කරන ලෙස භාර කළේ ද වෙසක්‌ පුන් පොහෝදාකය.

විජය රජ සත් සියයක්‌ පිරිවර සේනා සමඟ ලක්‌දිව තම්බපණ්‌නියට ගොඩබැස අනුරාධපුර රාජධානිය අරඹා හෙළ සංස්‌කෘතිය නව මාවතකට යොමු කළ සිංහල ජාතියේ සමාරම්භය සිදුකළ විජයාවතරණය සිදු වූයේ වෙසක්‌ පුන් පොහෝදාකය.

පළමු ධර්ම සංගායනාවට විශාල දායකත්වයක්‌ දුන් ධර්ම භාණ්‌ඩාගාරික ධුරයෙන් පිදුම් ලැබූ ආනන්ද මහරහතන් වහන්සේ වසර 120 ක්‌ ආයු වළඳා සම්බුදු පරිනිර්වාණයෙන් වසර 40 කට පසුව රෝහිණී නදිය අසබඩ දී තේජෝ කසිණ සමවතට සමවැදී පිරිනිවන් පෑවේ ද වෙසක්‌ පුන් පොහෝදාකය.

මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ විසින් ගෙනෙන ලද සම්බුද්ධ ශාසනය ගෞරවයෙන් පිළිගත් දෙවන පෑතිස්‌ රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිලිණ කළ පඤ්චකකුධ භාණ්‌ඩ සහිතව ද්විතීය රාජාභිෂේකය උත්සවශ්‍රීයෙන් සිදු කළේ වෙසක්‌ පුන් පොහෝදාකය.

දෙවන පෑතිස්‌ නිරිඳාණන් අනුගමනය කරමින් හෙළ රාජවංශයේ හා සියලුම නරපතීන් රාජාභිෂේකයෙන් පිදුම් ලැබුවේ වෙසක්‌ පුන් පොහෝදාකය.

පන්සැත්තෑ වසරකට අධික කාලයක්‌ පරසතුරු උවදුරින් පීඩා විඳි හෙළ බෞද්ධ ජනතා බලය පෙන්වා රට එක්‌සේසත් කළ දුටුගැමුණු මහා නරේන්ද්‍රයාණන් අනුරපුර මහමෙවුනා උයනෙහි දිදුළමින් වැඩ වසන මහා ස්‌ථූපය රුවන් වැලි සෑ රජුන් සාදන්නට විසා නැකතින් මුල් ගල් තැබුවේද වෙසක්‌ පුන් පොහෝදාකය.

සූ විසිවසරක්‌ රට පාලනය කළ දුටුගැමුණු රජතුමා 24 වාරයක්‌ ද, භාතිය රජතුමා 28 වාරයක්‌ ද, වසභ රජතුමා 44 වාරයක්‌ ද, වෝහාරිකතිස්‌ස, ගෝඨාභය, ජෙට්‌ඨතිස්‌ස, දළ මුගලන්, දෙවැනි සේන, මහා පරාක්‍රමබාහු, දෙවැනි පරාක්‍රමබාහු ආදී සියලු නරපතීන් රාජ්‍යත්වය පැවැති වසර ගණනාවක්‌ පුරා මහා උත්සවශ්‍රීයෙන් සැමරූ උත්සවය වූයේ ද වෙසක්‌ පුන් පොහොයයි.

ශ්‍රී ලංකා ශ්‍යාමෝපාලි මහා විහාරවංශික භික්‍ෂුන් වහන්සේලා වාර්ෂිකව පවත්වන උපසම්පදා මහෝත්සවය ආරම්භ වූයේ ද වෙසක්‌ පුන් පොහෝදාකය.

මේ ආකාරයට වෙසක්‌ පුර පසළොස්‌වක්‌ පෝය මෙරට සිංහල බෞද්ධ ජනතාවට පමණක්‌ සීමා නොවී ලෝක බෞද්ධ ජනතාවට ද විශේෂ දිනයක්‌ වූ බව ඉහත සිදුවීම් තුළින් මනාව පැහැදිලි වේ. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ ගෞරවාදරයට හා මනා සැලකිල්ලට බඳුන් වූ වෙසක්‌ පුන් පෝය සියවස්‌ ගණනාවක්‌ පුරාම විවිධ ආමිස හා ප්‍රතිපත්ති පූජාවලින් සමලංකෘතව පවත්වන බව වර්තමානයේදීත් දැකිය හැකිය. 

සම්බුද්ධ ජීවිතයේ සුවිශේෂ අවස්‌ථා රැසක්‌ මුල් කරගෙන පවත්වනු ලබන මෙම ජාතික හා ආගමික මහෝත්සවය ශ්‍රී ලංකාවාසී බෞද්ධයෝ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නොපසුබට වන්නේ මෙහි ඇති අතිඋතුම් වැදගත්කම නිසාමය. දුප්පත් පැල්පතේ සිට මහා මන්දිරය දක්‌වා පොල්තෙල් පහනක්‌ දැල්වෙනුයේ, පැන් බඳුනක්‌ හෝ පූජා කරනුයේ සීලයෙන්, ගුණයෙන් පිරීගිය දෛනික දිවියක්‌ ගත කරනුයේ වෙසක්‌ පෝය දිනක ඇති වැදගත්කම නිසාමය.

ශාස්‌ත්‍රපති වතුරුවිල හේමාලෝක නායක ස්‌ථවිර
http://www.divaina.com/2014/05/14/feature02.html

Pic Source

1 comments:

පකිස් පෙට්ටිය said...

ඔන්න මාත් ආවා හා හා පුරා කියලා. එහෙනම් මගේ අලුත් බ්ලොග් එක පැත්තේත් ගොඩවෙලා යන්න්කෝ.