Pages

Monday, May 12, 2014

බුදු සමයෙන් හෙළිවන ජීවන දර්ශනය

මානුෂික ස්‌වරූපය ස්‌වභාවය කෙබඳු ගණයට ගැනෙන්නක්‌ද යන්න අධ්‍යයනය කිරීමෙන් අවබෝධකොට ගත හැකිය. ජීවිතයේ යථාවාදී තථාකාරී ස්‌වරූපය සෙසු ආගම්වලට වඩා පැහැදිලි කරන්නේ බුදු සමයයි. ජීවිතය යනු කුමක්‌ ද යන්න තේරුම් නොගෙන කටයුතු කිරීම නිසයි මිනිසා වරදට පෙළඹෙන්නේ. වරදින් බැහැර වීමට අප තේරුම් ගත යුතුය.

බුදු සමය මතුපිටින් නොව එය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. මිනිසා මිනිසත් බව ලබන්නේ ඉතාම අමාරුවෙනි. මෙය හරියට කණ කැස්‌බෑවා විය සිදුරෙන් අභස බලන්නා සේ ඉතාම දුෂ්කර කාරියකි. විය සිදුර යනු ඉතාම කුඩා ඇසට නොපෙනෙන තරමේ සිදුරකි. කණ කැස්‌බෑවාට අහස බලන්නට දැඩි ආසාවක්‌ කැමැත්තක්‌ තිබුණ ද එම ආසාව එලෙසම සිතු පරිදි ඉටුකර ගැනීමට නුපුළුවන. එය අහම්බෙන් මෙන් සිදුවන්නකි. මිනිස්‌ දිවියක්‌ ලබන්නේ එපරිද්දෙනි. භවය යනු චක්‍රයකි. එහි අවසානයක්‌, ආරම්භයක්‌, දක්‌නට නොලැබේ. භව චක්‍රයේ මිනිසා නිවන් සාක්‌ෂාත් කරනතාක්‌ භවයේ සැරි සරයි. එහි අවසානය වන්නේ නිවන් දැකීමයි. මෙයයි අප ලැබිය යුත්තේත්, ඉතාම අමාරුවෙන් ලබාගන්නා මනුෂ්‍යාත්මයේදී මේ භව ගමන අවසන් කිරීමට අප අපේක්‍ෂා කර ගත යුතුය.

දුරු කළ යුතු තෘෂ්ණාව

මේ භවයට මූලික හේතුව වන්නේ තෘෂ්ණාවයි. දැඩි ආශාව භවය දිගු කරන්නට හේතු භූත වේ. සමාජයේ බොහෝ දෙනා ආශාවෙන් භරිතය. ගිහි පැවිදි දෙපක්‍ෂයම (ඇතැම් අය) තණ්‌හාවෙන් ආශාවෙන්. මසුරුකමින්, ලෝභකමින් වෙලී - පැටලී රොක්‌ත වී සිටින බව අපට අත්දැකීමෙන් දකින්ට ලැබී ඇත. මෙබඳු ජීවිතවලට භවය දිගය. භවය කෙටිකර ගත යුතුව තිබියදී දිගුකර ගන්නට අප යත්න දරන්නේ ඇයි? කිසියම් පුද්ගලයෙක්‌ කොතරම් භාණ්‌ඩ, මිල මුදල් රැස්‌ කළ ද ඒ කිසිවක්‌ රැගෙන යන්නේ නැත. රැගෙන යන්නේ හොඳ හා නරක පමණි. කිසියම් පුද්ගලයෙක්‌ ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන දිවි ගෙවා යහතින් අනුන්ට හිංසනයක්‌ නොවන ආකාරයෙන් දිවි ගෙවා ඇත්නම් ඊළඟ භවය ගැන අපට ප්‍රශ්නයක්‌, අර්බුදයක්‌, ගැටලුවක්‌ ඇති වන්නේ නැත. පුද්ගලයාගේ දිවිය කෙළවර කරගෙන යන ගමන ගැන සෑහීමකට පත් විය හැකිය. අප කිසිවක්‌ රැගෙන යන්නේ නැත යන ආකල්පයේ පිහිටා කටයුතු කළ යුතුය. බොහෝ අය දේපළ එක්‌රැස්‌ කරගෙන පොදි බැඳගෙන ජීවත් වන්නේ හැමදා ජීවත්වීමේ පරමාර්ථයෙනි. මේ අයට බුදු සමය ගැන අවබෝධයක්‌ නොමැති නිසාය. ජීවිතයේ යථාර්ථය මනාව තේරුම් ගෙන නැත. එහෙත් මරණය කොයි මොහොතේද යන්න කාට නම් කිව හැකිද.

විශ්වය දිගු වුවද මිනිස්‌ දිවිය ඉතා කෙටිය. ඉතාම අමාරුවෙන් ලබාගත් මිනිස්‌ ආත්මය තවත් සරු කර ගන්නට යත්න දැරිය යුත්තේ තමා ම ය. තමන් වෙනුවෙන් තමන්ම තීරණය ගත යුතුය. අන් අයට තමන් වෙනුවෙන් නිවන් දැකිය නොහැකිය.

ආත්මාර්ථකාමී හැඟීම්

සමාජයේ බොහෝ චරිත දෙසට නෙත් සිත් යොමු කරන විට ආත්මාර්ථකාමී හැඟීම්වලින් උපයුක්‌ත අයයි අපට වැඩි වශයෙන් හමුවන්නේ, දක්‌නට ලැබෙන්නේ, මොවුන්ගේ චරිත දෙසට නෙත් යොමු වන විට අපට ඔවුන් කෙරෙහි මහත් කනගාටුවක්‌ ඇති වේ. මොවුන් මෙසේ දිවි ගෙවන්නේ සදාකාලිකව මෙලොව සිටින්නටද? එසේ සිතීම මහත් මුළාවකි, මිථ්‍යාවකි, මායාවකි.

අප නිතරම හැසිරිය යුත්තේ අන් අයට හිංසනයක්‌ නොවන අයුරිනි. අහිංසාවාදී දිවිපෙවත පරමාදර්ශීය යහපත් දිවිය යනු මහා පාඩම් පොතකි. එම දිවියෙන් උගත හැකි පාඩම් අප්‍රමාණය. කතාබහ හැසිරීම් රටාව - ගමන් මග පරෝපකාරය යන සියල්ල දිවියට ගෝචර කර ගත යුතුය.

මතුවිය යුතු කරුණාව

බුදුරදුන්ගේ දිවියේ පැවතුනේ මහා කරුණාවයි. සාමාන්‍ය දිවියක රැඳී ඇත්තේ 'කරුණාවයි' තමන්ගේ හිතමිත්‍රයන් - නෑදැයන් - අසල්වැසියන්ට උදව් උපකාර කළ යුතුය. නිතරම "කරුණාව" දැක්‌විය යුතුය. කරුණාවෙන් පිරි දිවිය ප්‍රසන්නය.

බොහෝ ජීවිත අප්‍රසන්න තත්ත්වයට පත්ව ඇත. ඇසුර තබා දැකීමත් අප්‍රසන්නය. මෙවන් තත්ත්වයකට පුද්ගලයා යොමු වූයේ ඇයි· මතුපිටින් එක දිවියකුත් අභ්‍යන්තරයේ තවත් + දිවියකුත් තිබිය නොහැකිය. මතුපිට හා අභ්‍යන්තරය දෙකම එක සමාන විය යුතුය. බොහෝ චරිතවල මතුපිටින් දකින තත්ත්වය නොවේ අභ්‍යන්තරයේ තිබෙන්නේ. මෙය සමාජය මුළාකිරීමකි. අවසානයේ මුළාවන්නේ තමාමය.

ජීවිතයට "න්‍යාය" (Theory) නොවෙයි ප්‍රායෝගික (Practcical) විය යුතුය. න්‍යායයෙන් සිදු වන්නේ භවය තවත් දිගු කිරීමකි. ප්‍රායෝගික තත්ත්වයෙන් සිදු වන්නේ භවය කෙටි කර ගැනීමකි. බුදුසමයේ අන්තර්ගත මැදුම් පිළිවෙත (Middle Path) අනුව අපගේ දිවිය යොමු කර ගත යුතුය. අත්තකිලමතානු යෝගයෙනුත්, කාමසුඛල්ලිකානු යෝගයෙනුත් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව අප අනුගමනය කළ යුතුය.

මැදහත් පිළිවෙත

යමක දැඩිව එල්බ නොගත යුතුය. අතිධාවනකාරීත් නොවිය යුතුය. මැදහත් සිතින් බැලීම තමයි සිදු විය යුත්තේ "මඡ්Cධිමා පටිපදා" පෙළ දහමෙහි බහුල වශයෙන් සඳහන් වන වදනකි අරියෙයා අට්‌ඨංගිකො මග්ගො එයට සමගාමී වන්නකි. සම්මාදිට්‌ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන අංග අට පිළිබඳව පුද්ගලයාට යථාවබෝධ ඥනයක්‌ තිබිය යුතුය. අවසානයේ පුද්ගලයා ප්‍රවේශ වන්නේ ප්‍රඥ ශීල සමාධි යන ත්‍රිකයටය.

පුද්ගලයාට ප්‍රඥවක්‌ නැත්නම් දිවිමග සරුකර ගන්නට අවකාශයක්‌ නැත. ප්‍රඥව යනු භවයෙන් එතෙර වීමේ නියමයයි. භවයෙන් හිස්‌ව එතර වීම නොවේ. සිදුවිය යුත්තේ පූර්ණ මිනිසෙකු බවට පත්වී භවයෙන් නික්‌මීමට අදිටන් කර ගත යුතුය.

"යහපත" හා "අයහපත" දෙකකි. "යහපත" තමයි විෂය මූල කරගත යුත්තේ. යහපත් සමාජ ප්‍රගමනයට අදාළවන ශික්‌ෂණය මත පිහිටා පුද්ගලයා ජීවත් විය යුතුය. යහපත් ගති පැවතුම් මොනවාද යන්න මේ මැදුම් පිළිවෙතෙහි අන්තර්ගත වෙයි. ජීවිතාවබෝධය ප්‍රස්‌තුත කොට ගෙන අනවබෝධය බැහැර කොට ප්‍රඥශීලි ගමන් මගක්‌ පුද්ගලයා ඇරඹිය යුතුය.

නිහතමානි ගති ලක්‍ෂණ

ප්‍රඥවන්ත පුද්ගලයා තමන් කවරෙක්‌ද යන්න ලොවට හෙළි නොකරයි. නිහතමානී ගති ලක්‍ෂණ වලින් සමලංකෘතයි. ක්‍රියා පටිපාටියෙන් තමයි ඔහුගේ ප්‍රඥවන්ත භාවය හෙළිවන්නේ. පුද්ගලාභිමානය ජීවිතයෙන් නික්‌ම යා යුතුය. ප්‍රඥව පදනම් කර ගත් දිවියක අභිමානයක්‌ නොමැත. තමන්ට විෂය නොවන දේ බැහැර කොට විෂය වන දේ පමණක්‌ උකහා ගත යුතුය. භාවයාශ්‍රිත ගමනකට තේමාව කර ගන්නා පුද්ගලයා භවචක්‍රය කෙටි කර ගනියි. පරක්‌ තෙරක්‌ නොපෙනෙන භවය කෙරෙහි පුළුල් වූ දෘෂ්ඨිකෝණයක පිහිටා දිවිමග ඇරඹීමට මුලපුරයි. සමාජයේ ගැවසෙන, සැරිසරන පුද්ගලයන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිය. චරිතාංග විවිධය, එකිනෙකෙට පරස්‌පර, ප්‍රතිවිරෝධි චරිත සමුදාය අපගේ ප්‍රඥාව විෂද කර ගන්නට අනුබලයකි. එම චරිත වලින් යහගුණ හා අගුණ මැන බලා කිරා සස¹ බලා එහි හරය පමණක්‌ උකහා ගත යතුය.

දුක්‌ඛාවලියෙන් මිදීම

යහපත හොඳ ගුණ බැහැර කරන සමාජයක්‌ කරා යන්නේ දිගු ගමනකි. භව චක්‍රය තමන්ගේ දිවියේ වෙලාගෙන පැටලී එය බේරුම් කර ගැනීමට ශක්‌තියක්‌ නොමැතිව අපමණ දුක්‌ඛාවලියකට පුද්ගලයා ගොදුරු වෙයි. දුක්‌ඛාවලියෙන් මිදීමට තමයි අප නිතරම අරමුණ කර ගත යුත්තේ.

ජීවිතය යනු දුකකි. සැප යනු තාවකාලික වූවකි. මේ දුක්‌ඛාවලියෙන් අප මිදිය යුතුය. එසේ මිදීමට අප උත්සාහයේ යෙදෙන්නේද අන් අය යටපත් කොට තමන් මතුවන්නට යත්න දැරීමත් අනුවණකමකි. මෝහයෙන් මුළාවීම අප අත්හැරිය යුතුය. මෝහය යනු මෝඩකමයි අනුවණකමයි. මේ මෝඩකම් ජීවිතයට බද්ධකොට ගන්නවාද? එය දිවියෙන් බැහැරකරනවාද යන්න කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය.

බුදුසමය යනු අපගේ දිවියට අතිශය අත්වැලකි. බුදුසමය බලෙන් උකහා ගන්නට අනුබල දුන් එකක්‌ නොව එහි සත්‍යයක්‌ හරයක්‌ ඇත්නම් පමණක්‌ උකහා ගන්නා ලෙස බුදුරදුන් අපට පෙන්වා දුන්නේය.

ඒහි පස්‌සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදී තබ්බෝ විඤaඤdහීති යනුවෙන් බුදුරදුන් දෙසුවේ ඇවිත් බලන්න එහි කිසියම් හරයක්‌ ඇත්නම් උකහාගන්න යන්නයි. සත්‍යවාදී දහම කෙරෙහි අපගේ අවධානය යොමුකොට නිවැරැදි මාර්ගයේ ගමන් කළ යුතුය. සමාජයේ බොහෝ දෙනා ගමන් කරන්නේ වැරදි මාර්ගයේය. වැරැද්ද කොතැනද යන්න සොයා බලා ඉවසීමෙන් යුතුව තමන්ගේ ගමන් මග සකස්‌ කර යුතුය.

තමන්ගේ වැරදි හදාගැනීම

අන් අයගේ වැරදි සොයන්නට පෙරාතුව තමන් කෙරෙහි පවත්නා වැරදි දෙස බැලිය යුතුය. සමාජයේ බොහෝ අය කරන්නේ තමන් කෙරෙහි පවත්නා වැරදි දෙස නොබලා අන් අයගේ වැරදි සෙවීමය. ප්‍රඥවන්තයාගේ කාර්යය මෙය නොවේ. තමන්ගේ වැරදි ගොන්නක්‌ තියාගෙන අන් අයගේ සුළු වැරදිවලට යොමුවීම අනුවණ කමකි. මේ තත්ත්වයෙන් අප බැහැර විය යුතුය. බුදුසමයානුගත දිවියක්‌ ගත කිරීමට නිරන්තරයෙන්ම, අනවරතයෙන්ම අප හුරුවිය යුතුය. එසේ වුවහොත් ජීවිතය සාර්ථක තත්ත්වයකට පත් කර ගැනීමට පුළුවනි. ජීවිතයෙන් සමුගන්නට පෙරාතුව සහනශීලී දිවි පෙවතක්‌ ඇති කරගෙන තැන්පත් බවක්‌ එයින් උද්වහනය විය යුතුය. ධර්මයට නැඹුරු වූ පුද්ගලයාට සතුටින් ජීවිතයෙන් සමුගන්නට හැකියාවක්‌ ඇත. ජීවිතයක අවසානය කෙසේ සිදුවන්නේද යන්න කිසිවකුට කිව නොහැකිය. මෙම තත්ත්වය මනාව තේරුම්ගෙන සිටින කෙටි කාලය ඇතුළත යහජීවිතයක්‌ ගත කරන්නට නම් බුදුසමය ජීවිතයට බද්ධ කර ගත යුතුය. මෙයයි යථාවාදී තථාකාරී තත්ත්වය ස්‌වරූපය.

කොළඹ දිසාවේ සංඝ නායක, ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමලු විහාරාධිපති, ලේඛනශූරී, ශාස්‌ත්‍රපති පණ්‌ඩිත අරම ශ්‍රී ධම්මතිලක නාහිමි
http://www.divaina.com/2014/05/12/feature01.html

0 comments: