Pages

Sunday, May 11, 2014

සියවසකට පෙර කොළඹ වෙසක්‌ සිරිය

එකල ලෝවැසි බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවාදරයට ලක්‌වන වෙසක්‌ පුර පසළොස්‌වක උදාවීමට ඇත්තේ තවත් දින දෙකක්‌ පමණ කෙටි කලකි. ඒ සඳහා පරිසරයද මේ වන විට මලින් ඵලින් බරවී ඇති අතර බොහෝ දෙනෙක්‌ පසුවන්නේද වෙසක්‌ උත්සවය සැමරීමට සූදානම්වය. කාලය බොහෝ දේ වෙනස්‌ කරමින්ද සමහරක්‌ දැ අහිමි කරමින්ද වේගවත් ගමනකය. එකල වෙසක්‌ මස උදාවීමත් සමග බැලු බැලූ අත අතුඅග පිපෙන වෙසක්‌ මල් දැන් පිපෙන්නේ නැත. එකල සුලබ දසුනක්‌ව තිබූ දස දහස්‌ ගණනින් යුත් සමනල රංචු මෙකල දක්‌නට නැත. දස දහස්‌ ගණනින් යුත් සමනල රෑන් එලෙස පියඹා යන්නේ සිරිපා වැදීමට බව එකල ජනප්‍රවාදයේ පැවති මතයක්‌ විය.

මීට වසර දහස්‌ ගණනකට එපිට විසූ බෞද්ධ ජනතාව මහත් උත්සව ශ්‍රීයෙන් තෙමගුල සැමරූ වග ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ව ඇත. පුරාතන ලංකාවේ පැවති වෙසක්‌ උත්සව පිළිබඳ ප්‍රථම සටහන මහාවංශයෙහි සඳහන්වන අතර එයට මූලිකත්වය සපයා ඇත්තේ දුටුගැමුණු රජතුමන් විසින්ය. ක්‍රි. පූර්ව (101 - 77) දුටු ගැමුණු රජ සමයේදී වෙසක්‌ උත්සව 27 ක්‌ පැවැත් වූ බව මහා වංශයෙහි සඳහන් වන අතර රාජ්‍ය අනුග්‍රහය සහිතව රට වැසියන් හා එක්‌ව එය සිදුකොට ඇති බවට ඉතිහාසයේ සඳහන්ව ඇත.

අද දවසේද වෙසක්‌ උත්සවය නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ඇතුළු රටපුරා වෙසක්‌ කලාප, සැණකෙළි, තොරන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාවට නඟන අතර එය දුටුගැමුණු රජ සමයේ පටන් එන ඉතිහාසයේ දිගුවක්‌ ලෙස ගත හැක. ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැනක්‌ දෙමින් අනුරාධපුර යුගයේ සිට මේ තාක්‌ දුර පැමිණි අප දැන් පැමිණ ඇත්තේ කොළඹ යුගයටය.

මීට සියවසකට එපිට එනම් 1914 වර්ෂයේ මැයි මස වෙසක්‌ පුර පසළොස්‌වක උදාවී ඇත්තේ සෙනසුරාදා දිනයකය. එකල මුද්‍රණය කරන ලද සිංහල පුවත්පත්වන දිනමිණ, සිංහල බෞද්ධයා, සරසවි සඳරැස ආදී පුවත්පත් අදින් වසර සියයකට එපිට බෞද්ධයා වෙසක්‌ උත්සවය සැමරූ අයුරු සඳහන් කරමින් ලියා ඇත්තේද අද මෙන්ම එකල ද වෙසක්‌ උත්සවය නිමිත්තෙන් දින ගණනක්‌ පුරා කොළඹ නගරය ඇතුළු රටේ සිව්දෙස උත්සවශ්‍රීයෙන් ඇළලී ගිය බවක්‌ය.

එකල දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතෘධුරය එච්. එස්‌. පෙරේරා මහතා විසින් දරා ඇති අතර දිනමිණ විසින් වෙසඟෙහි පුවත් විවිධ අයුරින් පළකොට තිබුණි.

"පසුගිය සෙනසුරාදා වෙසක්‌ පුරපසළොස්‌වක්‌ පොහෝ දවස කොළඹ බෞද්ධ මහා ජනයා විසින් ඉතා ගරු ලෙස අලංකාරව පවත්වන ලද්දේය. සෙනසුරාදා උදය පටන් සඳුදා උදය වන තුරු සම්පූර්ණ දෙදිනම වෙසක්‌ පසළොස්‌වක සම්බන්ධ උත්සව පවත්වන ලදී. බොරැල්ලේ විදුලි රථ මංසන්ධියේ පටන් කොටුව දක්‌වාම අතරක්‌ නොමැති සේ පැවැති සැරසිලි ගැන වර්ණා කළ නොහැකිය.

පිටකොටුවේ වේල්ල වීථිය, මසංගස්‌වීථිය ආදි කොට ඇති සියලු විථිම නානාවිධ සැරසිලිවලින් සඡ්ජිත විය. සිකුරාදා වන තෙක්‌ ඉතා තදින් වර්ෂාව පැවතුණු බැවින් බොහෝ දෙනා වෙසක්‌ උත්සවය පැවැත්විය නොහැකි වේ යෑයි ශෝක කළෝය. නමුත් සෙනසුරාදා පටන්ම වැසි නොමැතිව ඉතා හොඳින් පෑවූ බැවින් ප්‍රීතියෙන් මිනිසුන්ට සැරසිලි කරගන්නට ලැබුණේය. ඉහතින් දවස්‌ කීපයක්‌ම වැසි වැස වීථිවල තුබුණු දූළි කඳ නොමැතිවීමෙන් මිනිසුන්ට ප්‍රීතියෙන් ගමනා ගමනය පහසු විය. අව්රැස්‌ද වෙනදා මෙන් දැඩිතර නොවීය. වැසි ලැබී ගස්‌ කොලන්ද ශොබාවත් වූහ.

වෙසක්‌ සැරසිලි බැලීමට පැමිණෙන දහස්‌ ගණන් ජනයාට සිහිල් මාරුතය ලැබීමෙන් පීඩා නොවීය. අවුරුදු කීපක්‌ම වැස්‌සෙන් වත් දූලිවලින් වත් මේ තරම් ප්‍රීතිදායක වෙසක්‌ දිනක්‌ නොපැමිණියේ යෑයි බොහෝ දෙනා කියති. සෙනසුරාදා උදය පටන් එළිවනතුරු අතුරු සිදුරු නොමැතිව විදුලි රථයෙන් ගමනා ගමනය කළ ජන සමූහයාගේ ප්‍රමාණය මෙතෙකැයි කිය නොහැකිය.

සිංහල, ඉංග්‍රීසි, ලංසි, ජා, මරක්‌කල, දෙමළ, හම්බකොච්චි ආදි නානා ජාතිකයන් ස්‌වකීය නිවාසවලින් පිටව අඹු දරුවනුත් කැටුව රථ නැඟීද, පයින් ද වෙනස්‌ උත්සව බලමින් වීථි වීථිවල සංචාරය කළෝය.

මුළු කොළඹ නගරයම එකම බුදු මඟුල් ගෙයක්‌ මෙන් දර්ශනය විය. කෙතරම් දුප්පත් බෞද්ධයා පවා වෙසක්‌ සැරසීම මහත් ගෞරවයක්‌ කර තිබුණු බව පෙනේ. සිංහල අවුරුදු උත්සවය ළඟදීම මේ උත්සවයත් පවත්වනන්ට සිදු වුණේය. එයින් වෙසක්‌ උත්සවය සම්බන්ධව කිසි අඩු ලුහුඬුවීම් නොමැතිය. මේ උත්සවයේදී විහාරස්‌ථාන වලදීත් මාර්ගවලදීත් දහස්‌ ගණන් ස්‌ත්‍රී පුරුෂ සමූහයා තදබද වෙවී හැසුරුණාහ. නමුත් ඒ ගැන කිසිම කෝලහලයක්‌ කිසිවකු අතර නොපැවතුණේය.

ගුණධර්ම දියුණු වී තිබෙන ප්‍රමාණය මේ උත්සව දවසේදී ප්‍රත්‍යක්‍ෂ විය. මේ සැරසිලි අතර බෝධිසත්ව චරිත ප්‍රකාශක නානාලංකාර චිත්‍ර රූපද දකින්නට ලැබුණේය. තුසිතපුර දහම් දෙසන ආකාරයද, මහබෝසතාණන්ගේ බිහිවීමද, වප් මගුලද, අභිනිෂ්ක්‍රමණයද යනාදිය රූපවලින්ම ඒ ඒ තන්හි දක්‌වා තුබුණ අන්දම ඉතා ප්‍රිය දර්ශනීයයි.

සිංහල මිනිසුන් මේ කාලයේ විසිතුරු කර්මාන්තයෙහි දක්‍ෂව සිටින බව මෙයින් කාටත් පැහැදිලි වේ. මේ වර්ෂයෙහි වෙසක්‌ උත්සවය පැවැත් වූ අප බෞද්ධ මහතුන්ට අපමණ ස්‌තූති කරමු. මතු වර්ෂවලදීත් මීටත් වඩා හොඳින් වෙසක්‌ උත්සව ප්‍රියදර්ශනීය වේවායි ආශිර්වාද කරමු.

මහාකවි චක්‍රවර්ති ශ්‍රී සුභූති ස්‌ථවීරයන් වහන්සේ වැඩ සිටින ජෛවයන්ත ප්‍රාසාධයේ එළිය පෙට්‌ටියේ කවියක්‌.

මරරද තෙද සමග සියලුම කෙලෙස්‌ සිඳ
බුදුරද බවට පත් සිදුහත් කුමරු සඳ
සුර රද නර රදුන් තුටුකර දිනිදු ලෙද
බඹරද අතට බිහිවුනු වෙසඟ පොහෝ අද

එකලද අද මෙන්ම විසිතුරු කර්මාන්තයේ සමත් ජනයා බෝධිසත්ව චරිතයේ විවිධ අවස්‌ථා සිතුවම්කොට තැන් තැන්වල ප්‍රදර්ශනයට තබා ඇත. අද මෙන් බහුරූ කෝලම් එකල දක්‌නට නොලැබී ඇති අතර බැලූ බැලූ අත බුද්ධාලම්භන ප්‍රීතිය දනවන දසුන් පමණක්‌ දැස්‌ මානයේ දක්‌නට ලැබී ඇත.

මීට වසර සියයකට එපිට මුද්‍රණ කර්මාන්තයේ එතරම් දියුණුවක්‌ දක්‌නට ලැබී නැතත් කොළඹ පිහිටි මුද්‍රණ සමාගම් කීපයක්‌ ඉතා අනර්ඝ තත්ත්වයේ වෙසක්‌ සුභ පැතුම් පත් මුද්‍රණය කොට ඇති අතර එවැනි වෙසක්‌ සුභ පැතුම් පත් දුසිමක්‌ අලෙවිකොට ඇත්තේ රුපියල් දෙකත් තුනත් අතර මිලකටය.

සැරසිලි ආදිය සඳහා යොදාගත් බෞද්ධ ධජයක්‌ ශත පහත් දහයත් අතර මිලකට අලෙවිකොට ඇති අතර පිත්තල තහඩුවෙන් නිමා කළ ඉහලම තත්ත්වයේ මේස ලාම්පුවක මිල ගණන් වී ඇත්තේ රුපියල් 10 ක්‌ වැනි මුදලක්‌ය.

සරසවි සඳරැස හා සිංහල බෞද්ධයා ආදී එකල මුද්‍රණය වූ අනෙකුත් පුවත්පත් මගින්ද වෙසක්‌ උත්සවය පිළිබඳ පුවත් වර්ණනාත්මක අයුරින් පළකොට තිබී ඇත. ඒ සෑම පුවත්පතකම ලියෑවී ඇත්තේ එකල වෙසක්‌ උත්සවය පිළිබඳ වූ අසිරිමත් පුවත්ය.

1914 අවුරුද්දේ වෙසක්‌ උත්සවයේ අසිරිය කොළඹ දුටු ආකාරය සරසවි සඳරැස පත්තරය වාර්තා කර තිබුණේය.

කොළඹ ගිය බදාදා වෛශ්‍යඛෝත්සවය පවත්වන ලදී. වෙනදා මෙන්ම මරදාන පළාත නෙත්සිත් පිනවන පරිද්දෙන් සරසා තිබුණේය. මරදානේ වීදිය බැලීමට ඉතා විසිතුරු එකක්‌ව තිබුණේය. විද්‍යාදය පිරිවෙනට මරියාකඩේ පටන් යන්නට තිබෙන මාර්ගයද ඉතා විසිතුරු ලෙස සරසා තිබුණේයි. කොළඹ තව වෙන නොයෙක්‌ තැන් සරසා තිබුණ නමුත් වෙනදා මෙන් සැරසිලි නොතිබුණේය. මෙපණ හොඳට කාලගුණය තිබියදීත් කොළඹ බෞද්ධයන් සැරසිලි නොකළා පුදුමයි. නාගරික සභාවෙත් වීථි සැරසීමට අවසර නොදෙන්නේයි බොරු ආරඤවියක්‌ පතල වීම නිසා මෙසේවීයෑයි වැදගත් බෞද්ධයෙක්‌ අප සමග කීවේය. මෙබඳු ආරඤචියක්‌ ගම් පහලට තිබුණ සැබැයි.

පිටකොටුවේ සමහරතැන් අලංකාර ලෙස සරසා තිබුණි. කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සමාගම පිහිටි වීථිය ඉතා අලංකාර ලෙස සැරසිලිවලින් සමලකෘත කරන ලදී. වීථි සැරසිලි ටිකක්‌ අඩුපාඩුව වූ නමුත් සකල බෞද්ධ ගෘහ ඉදිරිපිටම ෂඩ්වර්ණ බෞද්ධ කොඩි කම්පිත විය. එසේම වෙසක්‌ මංගල්‍යය සඳහාම පිළියෙළ කළ ආලෝක ගෘහයක්‌ පාසා භ්‍රජිතවිය. කොළඹ චෛත්‍යස්‌ථාන ගමනාගමනය කරන බෞද්ධ ජනයාගෙන් සාමාතීර්ණ විය.

ධර්ම දේශනා, හිඟන්නන්ට ආහාර වස්‌ත්‍ර දානදීම මාර්ගික ජනයාට පානවර්ගදීම ආදී විවිධ පුණ්‍යකම් වෙනදා මෙන්ම උසස්‌ ලෙස පැවැතෙයි. මෙපමණක්‌ නොව කිසි පීඩාවක්‌ නොමැතිව ඉතා සන්සුන් ලීලාවෙන් වෙසක්‌ උත්සවය අලංකෘතව විය.

නත්තල, ජනේරුව යන මිථ්‍යාදෘෂ්ඨික උත්සව වෙත යමින් සිටි බෞද්ධයන් එයින් තුරන්වී මෙසේ ශ්‍රස්‌ත්‍රගමානුකූල උත්සව පැවැත්වීම කොපමණ දෙලොව වැඩදායක මාහැඟි ක්‍රියාවක්‌ද?

තම තමන් විසින්ම සදාගත් වෙසක්‌ පහන් කූඩු පහන් වැට, පහන් ගස්‌, ආදියෙන් තම නිවෙස්‌ සරසා ගැනීමත් සමූහ වශයෙන් එකතුව ආලෝක පූජා පවත්වමින් ප්‍රදේශාදිය ආලෝකවත් කිරීමත් තුළින් සාමූහිකත්වය ලොවට පෙන්වා ඇති සිංහල බෞද්ධ ජනයා මේ සියල්ල සිදු කොට ඇත්තේ ලාභ අපේක්‍ෂා වෙන් තොරවය.

එකල වෙසක්‌ රැය යනු බොහෝ දෙනෙකුට ඇසට නිදිමත අමතකව ගිය රැයක්‌ බඳුය. දිනගණන් වෙහෙසව නිම කළ වෙසක්‌ සිරි නැරඹීම පිණිස එක රැයක්‌ මදිවිය. පිළිවෙළට සකසා ගත් බට පතුරු එක්‌කොට තමන් විසින්ම තනන ලද පහන් කූඩුව ආලෝකවත්කොට එදා බොහෝ දෙනෙක්‌ විඳි නිරාමිස සුවය අද නැත. බට පතුරෙන් කළ හන් කූඩු අලෙවිය මීට ටික කලකට පෙර නගරයට පමණක්‌ සිමාවූ දෙයක්‌ වුවද අද ඈත ගමේ කඩ පිලේද එවැනි දැ අලෙවිය පිණිස ඇත.

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2014/05/11/feature07.html

0 comments: