Pages

Tuesday, May 13, 2014

මහා ප්‍රාවන්තයකුගේ පහළවීම - සම්මා සම්බුදු මුණි හිමි තෙමඟුල

මනුෂ්‍යත්වය හා විශ්වය ඉක්‌මවමින් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ප්‍රඥවන්ත මහා පුරුෂයාණන්ගේ උපන් දිනයත්, මානව ශක්‍යතාවෙහි අග්‍රඵලය ස්‌පර්ෂ කළ බුද්ධත්වයත්, ඒ මහාමුනින්ද්‍රයාණන්ගේ මහා පරිනිර්වාණයත් සිහිපත් කෙරෙන සාංවත්සරික මහා උත්සවය මුළු මහත් ලෝකයම මේ මස පුරපසළොස්‌වක දිනට සිහිපත් කරනු ලබයි.

මෙම වැදගත් අවස්‌ථාවෙහි අප සැමගේ අවධානයට ලක්‌විය යුතු බොහෝ දේ තිබේ. රටේ හැමතැනම විවිධ නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවෙමින් පවතී. රටේ ඇතිවූ සාමය හා සංහිඳියාවට මේවා මගින් බරපතළ බලපෑම් ඇතිකරමින් පවතී. වගකිවයුතු ගිහි - පැවිදි බලධාරීන් මෙන්ම සංවිධානද එක්‌තරා අයුරකින් නිෂ්ක්‍රීය නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන සෙයක්‌ පෙනේ. රට තුළ මුල්බැස ඇති මෙබඳු නොසන්සුන් වාතාවරණයක්‌ තුළයි මෙවර වෙසක්‌ සැමරුමට ජනතාව පෙළ ගැසෙන බව පෙනෙන්නේ.

බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වූයේ අහිංසා පරවශ ධර්මයක්‌ ලොවටම ඉදිරිපත් කරමිනි. "අහිංසා පරමෝ ධම්මා" යන්න කියාපාන්නේ එම පරම සත්‍යයයි.

මේ උත්තම අහිංසා මාර්ගය ලොවට සලසා දුන් යහපත අතිශයින් විශාලය. ඒ නිසා සැනසුණ ජනතාව එදා මෙදා තුර ගණනය කළ නොහැකිමය. මේ අහිංසා දහමෙහි උණුසුම ලැබූ ශ්‍රී ලාංකික ජනතාව ශතවර්ෂ ගණනාවක්‌ පුරා අතීත උරුමයන් තුළ සැනසිල්ලෙන් ජීවත්වූ ආකාරය පිළිබඳ අපගේ ඉතිහාසයත්, වර්තමානයත් අපට නොමඳ සාක්‍ෂි සපයයි. එහෙත් අද මතු වී ඇති සංකීර්ණ තත්ත්වයන් තුළ අනාගතය පිළිබඳ සුභවාදී වන්නට අපහසු ස්‌වභාවයකින් වර්තමාන ඇතැම් සිද්ධි චාචක නිදසුන් අපට අනතුරු හැඟවීමක්‌ කරනු පෙනේ. බෞද්ධයන්ට ජාතියෙන්ම උරුම වූ ඒ විශද අහිංසාවාදී උත්තම ගුණය නිවට කමක්‌ ලෙස සලකා අපේම සමාජයේ ඇතැම් කොටස්‌ මෑතක සිට ආක්‍රමණික ස්‌වභාවයන්ගෙන් සන්නද්ධව ක්‍රියාත්මක වන බවක්‌ පිළිබඳ තොරතුරු බොහෝ ප්‍රදේශවලින් අද අසන්නට ලැබේ.

තෙරුවන් යනු මැණික්‌ ගල් තුනක්‌ පමණක්‌ බවත්, ඉන් ලද හැකි ආශිර්වාදය කුමක්‌දැයි අසන්නටත් තරම් ඇතැම් බලවේග සාහසික වී ඇත. මෙම ස්‌වභාවය ගැඹුරින් කාගේත් අවධානයට ලක්‌විය යුතු සාධකයක්‌ ලෙස, දුර දක්‌නා ඥනයක්‌ ඇති රට ජාතිය හා සමය පිළිබඳ අංශුමාත්‍ර කැක්‌කුමක්‌ ඇති හැම දෙනම අවබෝධ කරගත යුතුව ඇත.

මේ අතරතුර ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් මත්පැන් පරිභෝජනය කරන රට බවට පත්ව ඇති බවට මාධ්‍ය වාර්තා ලැබෙමින් පවතී. ඒ සමඟ දකුණු ආසියාවේ විශාලම මුදල් වංචාව ශ්‍රී ලංකාවේ සිදු වූ බවට ද වාර්තා වේ. ඒ අතර ශාසන සම්ප්‍රදායට විවිධ අංශවලින් පෙර නොවූ විරූ පරිද්දෙන් බලපෑම් ඇතිවෙමින් පවතී. ඒ අතර නාගරික පළාත්වල තරුණ ජනගහනය බෙහෙවින් භාවනා කරන්නට පෙළඹෙන බවක්‌ ද පෙනේ. මෙබඳු සුබ - අශුභ සිදුවීම් මාලාවක්‌ පිළිබඳ ආරංචි මැද බුදු තෙමඟුල සිහිපත් කරන්නට මෙවර අපට සිදු වී තිබේ.

පන්සාළිස්‌ වසරක බුදුරජාණන් වහන්සේගේ මහා ශාසනික මෙහෙය තුළ උන්වහන්සේ බෙහෙවින්ම මානව යුතුකම් ගැන කතා කළා මිස මානව අයිතිවාසිකම් ගැන කතා කර නැතිවා සේය. ඉන් අදහස්‌ වන්නේ තම තමන්ට අදාළ යුතුකම් ඉටුකිරීම තුළ අයිතිවාසිකම් ලබාගැනීම වඩාත් සැමට හිතසුව පිණිස අනුමත සුදුසුම ක්‍රමය බවය. ගෙදරක, ආයතනයක, ජන සමාජයක, රටක මොන පදනමකින් වුව අයිතිවාසිකම් ගැන උනන්දුවක්‌ දක්‌වන හැම විටම එය අනිවාර්යයෙන්ම ප්‍රශ්නයකට මුලපුරන බවයි, ඉන් ගම්‍ය වූයේ. විශේෂයෙන්ම සමාජ සම්බන්ධතා වලදී මෙම ගැටලු සහගත ස්‌වභාවය සපුරා හඳුනාගත හැකිය.

ඒ නිසා තම තම නැණ පමණින් සියලු දෙනාම යුතුකම් ඉටුකරන සමාජ රටාවක්‌ බිහිකරලීමට මෙම වෙසක්‌ සමය තුළ කටයුතු කිරීමේ වැදගත්කම මේ මගින් නිර්දේශිතය. රජය මහජනතාවට අවංකව යුතුකම් කළ යුතුය. එවිට මහජනතාව සුදුසු පරිදි රජයට යුතුකම් ඉටුකරනු ඇත. මේ පරිද්දෙන් සැමියා බිරිඳට, බිරිඳ සැමියාට, දරුවන් දෙමාපියන්ට, දෙමාපියන් දරුවන්ට, ගුරුන් සිසුන්ට, සිසුන් ගුරුන්ට, සේව්‍යයන් සේවකයන්ට, සේවකයන් සේව්‍යයන්ට පූජ්‍ය - පූජකයන් සිය අනුගාමිකයන්ට, අනුගාමිකයන් සිය පූජ්‍ය - පූජකයන්ට, සපුරාම තමන්ට හිමි යුතුකම් කළ යුතුය. මේ නිසා සිදුවන අෙන්‍යන්‍ය බැඳීම සහයෝගිතාව ප්‍රායෝගිකම ඕනෑම සමාජයක ස්‌ථාවර කළ හැකිය.

ශ්‍රී ලාංකික මහතෙරවරුන් ඇසුරෙහි බුදුදහම හා පාළි උගෙන, එංගලන්තයේ පාළි පොත් සමාගම බිහිකළ කීර්තිමත් ඉංග්‍රීසි ජාතික බෞද්ධ ප්‍රභූවරයකුවූ රීස්‌ ඩේවිඩ්ස්‌ මැතිතුමා "බටහිර ලෝකයට අප රටින් දිය හැකි උත්තම පාඩම මෙයයෑයි" වරක්‌ ප්‍රසිද්ධියේම පළකළේ ප්‍රීතිමත් ගිහි සමාජයක්‌ බිහිකිරීමට ඇති "ගිහිවිනය" ඔවුනොවුන් තම යුතුකම් ඉටුකිරීමේ ක්‍රියාලිය බව සිය කුශාග්‍ර බුද්ධියෙන්ම අවබෝධ කරගත් නිසාය.

එය මෙම කාලය තුළ අපට කළ හැකි අති උතුම් බුද්ධ පූජාවකි. එසේ වන්නේ ඒ මගින් දහමට සමීප වුණු කෙනෙකුන් නිර්මාණය වන නිසාය. බුදුවදනට සවන්දුන් කෙනෙකුන් නිර්මාණය වන නිසාය. මෙම බුද්ධ පූජාව කුඩා දරුවකුගේ පටන් වැඩිහිටි ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකිය.

මෙසේ අනුන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම මෙන්ම ඒ හා සමානමව අර්ථවත් වන තවත් යුතුකම් ඉටුකිරීම පිළිබඳ උතුම් ප්‍රතිපදාවක්‌ මේ මහා ප්‍රඥවන්තයාණෝ අපට උගන්වා වදාළහ. ඒ තම තමන්ට, අප අපටම යුතුකම් කර ගැනීමය. එය කෙසේ කළ හැකිsද? අවබෝධයෙන් යුතුව වැරදි අඩු කරවා ගනිමින්, ගුණ දහමෙන් පිරුණු ආධ්‍යාත්මික ප්‍රගති ගමනක යෙදීමට නිරන්තර කැපවීමෙනි. දාන, සීල, භාවනා ප්‍රතිපදාව සරළ ලෙසත්, සීල, සමාධි, ප්‍රඥ ප්‍රතිපදාව ඉතා ගැඹුරු ලෙසත් අපට උගන්වා වදාළේ මෙම සනාතන පණිවුඩයයි. සැමගේ විමුක්‌ති මාර්ගය ලෙස ඒ ආධ්‍යාත්මික ගමන් මග සදාම ජීවමානයි. එම උත්තම මාර්ගය තමන්ට කරන යුතුකම් ඉටුකිරීමක්‌ සේ තම තමන්ගේ පෞද්ගලික වූ අත්දැකීමක්‌ කර ගැනීමයි, අපගේ භාරදූර වගකීම වන්නේ. මෙම වෙසක්‌ සමය ඒ සඳහා වඩාත්ම ප්‍රායෝගික කාලය ලෙස අප සිහිපත් කර ගත යුතුය.

මොන තරාතිරමක මොන රාජකාරිවල තමන් යෙදී සිටියද, දවසකට දෙවරක්‌ උදේ හවා නොහැකිනම් සවස නිදන්නට පෙර හෝ තම ආගම සිහිකර භාවනාවක යෙදීම තමන් වෙනුවෙන් යුතුකම් ඉටු කර ගැනීමේ තවත් උසස්‌ පිළිවෙළකි. මෙය දවසේ කාල සටහනේ ඉතා අත්‍යවශ්‍ය අංගයක්‌ බවට පත්කර ගත යුතුය. එය අනවතරයෙන්ම කෙරෙන මූලික ප්‍රතිපදාවක්‌ම විය යුතුය.

ඉඩ ලැබෙන හැම මොහොතකම සිත් පුහුණු කරන භාවනාවක නියෑළෙන්නට මෙම වෙසක්‌ සමය තුළ දැඩි අධිෂ්ඨානයක්‌ ඇති කර ගැනීම අතිශයින් ම වැඩදායකය. එය අනිත්‍ය සංඥව දියුණු කරන භාවනාවක්‌ වේ නම් ඔබ ඉතාම ඥනවන්ත කෙනෙකු බව හා ඔබ ඉතාම දක්‍ෂ කුශලතා ඇති කෙනෙකු බවයි, බුදුබණ අපට කියාපාන්නේ. එය සියලු ධර්මතාවල දක්‌නට ලැබෙන එකම ලක්‍ෂණය ලෙස මෙම දහමෙහි අනිත්‍ය, දුක්‌ක අනාත්ම ත්‍රිලක්‍ෂණය, තමන්ගේ සෘජු ප්‍රඥවන්ත බවින් අප හැම යම්දිනක අවබෝධ කටයුතු උත්තම දහම ලෙසයි. මෙවන් දිනක පහළවූ මේ මහා ප්‍රඥවන්තයාණෝ අපට උගන්වා වදාළ උත්තම ප්‍රතිපදාවෙහි සැබෑම අරුත මෙයයි.

ආචාර්ය තවලම ධම්මික නාහිමි, ජිනීවා බෞද්ධ විහාරය.
http://www.divaina.com/2014/05/13/feature01.html

0 comments: