
බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට විථි සංචාරය කරමින් පැවැත්වූ මෙම උත්සවයේදී දුගී මගී යාචකයන්ට කෑම බීම දීමේ සිරිතද පැවතිණි. එමෙන්ම වසභ රජු ඔටුනු පලන් වර්ෂයේ පිළිවෙළින් වෙසක් උත්සව විසි හතක් පැවැත්විය. වෝහාරතිස්‌ස රජතුමා වෙසක් උත්සවයක් සිදුකොට ලක්‌දිව සියලු භික්‍ෂුන්ට තුන් සිවුරු පිදීය. ඒ විතරක් නොව ගෝඨාහය රජුද මොග්ගල්ලාන රජුද දෙවන සේන රජුද රටවාසීන් සමග එක්‌ව මහත් හරසරින් වෙසක් උත්සවයක් පැවැත්වූ බව සඳහන් වේ.
දඹදෙණි යුගයේ පැවති ඉතා චමත්කාර වෙසක් උත්සවයක් පිළිබඳ පූජාවලියේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ මේ අයුරිනි.
ඒ දවස් මේඝරාජයාණන් හස්‌ති රූප ව්‍යාජයෙන් බුදු මඟූලට බැසැ මිහි මඬලේ ඇවිදිනා සේ ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හසති රූප පංක්‌තින් හා පූජා ලෝලින් දිවු සමුද්‍ර රාජයාගේ මහ රළ පෙළසේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්‌තින් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්‌දිව සියලු මනුෂ්‍ය සේනා රැස්‌කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් මිටගත් මනුෂ්‍ය සේවාවම අතුරු නොදිසිටිනා සේ නියෝග කළහ.
මෙම වෙසක් උත්සවය පවත්වා ඇත්තේ දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේය. නුවර යුගයේ උත්සව හතරක් ගැන සඳහන් වන අතර එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙස දක්‌වා ඇත. තවද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්‌වමින් සම්මත නීති මාලාවක්‌ද එකල පැවති බව මහාවංශයෙන් තහවුරු වෙයි.
ලලිත් චාමින්ද
http://www.divaina.com/2014/05/11/feature02.html
0 comments:
Post a Comment