Pages

Sunday, May 11, 2014

"ඔව් මං කුල හීනයෙක්‌. මම තේ වික්‌කා තමයි. නමුත් රට වික්‌කේ නැහැ" - නරේන්ද්‍ර මෝඩි

ඉන්දීය කුල ක්‍රමය ගැන බෞද්ධ ඉතිහාසයේද සඳහන් වේ. එය රිග් වේදයේද සටහන්ව ඇත. ගෞතම බුදුන්වහන්සේ නම් මේ කුල ක්‍රමය තදින්ම ප්‍රතික්‍ෂේප කළහ. එය බමුණු පාලනයට තද පහරක්‌ විය. උපතින් කිසිවකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන බවත් ක්‍රියාවෙන් පමණක්‌ බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන බවත් බුදුන්වහන්සේ දෙසා වදාළේ එනිසාමය. ඉන්දීය කුල ක්‍රමය වසර තුන්දහසක සිට පැවැත එන බව නොරහසකි. ඉන්දියාව ලෝක බලවතකු වීමට ඇති ප්‍රධාන බාධකය මේ කුල ක්‍රමය බව සාමය හා සාධාරණත්වය සඳහා වූ අම්බෙඩ්කාර් මධ්‍යස්‌ථානයේ සභාපති යෝගේෂ් වර්හාඩේ ප්‍රකාශ කරයි. කජු එකතු කරන කුලහීන පවුලක උපන් යෝගේෂ්, වර්තමානයේ ජීවත් වන්නේ ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේය. ඉන්දීය කුලීනයෝ පහල කුළවල ජනයා පීඩාවට පත්කරමින් ඔවුනගේ ලේ කඳුළු දහඩියෙන් මුදල් උපයන බව යෝශේෂ් කියයි. ඉන්දියාව නිදහස ලබා වසර 67 ක්‌ ගෙවීගොස්‌ ඇතත් මේ කුල ක්‍රමය නිසා පීඩිත ජනයාට සිදුවන අසාධාරණය ඉවත් කිරීමට මෙතෙක්‌ කිසිවකු සමත්ව නැති බව යෝගේෂ් කියයි. ඉන්දීය ව්‍යවස්‌ථාව නිර්මාණය කළ ආචාර්ය අම්බෙඩ්කාර් ද කුලහීනයන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කිසිදු වගන්තියක්‌ ව්‍යවස්‌ථාවට ඇතුළත් නොකිරීම මගින් විශාල අපරාධයක්‌ කර ඇති බව යෝගේෂ් කියයි.

ඉන්දියාව පාලනය වන්නේ කුලය පදනම් කරගෙන බව හෙතෙම කීය. "ඇත්තටම ඉන්දියාව පාලනය කරන්නේ කුලයෙන්. 15% ක්‌ වන ඉහල කුලයේ හින්දුන් තමයි එරට ධනය, බලය, අධ්‍යාපනය, පොලිසිය, සිවිල් පරිපාලනය පාලනය කරන්නේ. මාධ්‍යයෙහි 99% ක්‌ මෙන්ම අධිකරණ පද්ධතියේද සම්පූර්ණයෙන් ඉන්නේ ඉහළ කුලයේ අයයි. මේ තත්ත්වය අවුරුදු තුන්දහසක්‌ තිස්‌සේ පැවැතියා. මේ තත්ත්වයට එරෙහිව තමයි මාවෝවාදීන් හා ගෝත්‍රිකයන් සටන් කරන්නේ. මාවෝවාදීන් ප්‍රාන්ත දහයක දිස්‌ත්‍රික්‌ක 26 ක්‌ පාලනය කරනවා" යෑයි අම්බෙඩ්කාර් මධ්‍යස්‌ථානයේ සභාපතිවරයා හෙලිකරයි.

සියලු මනුෂ්‍යයන් සමාන යෑයි බෞද්ධයින් වශයෙන් අප සැලකුවද හින්දු ආගමේ එලෙස ප්‍රකාශ කරන්නේ නැත. මේ කුල ගැටුම දැන් ඉන්දීය දේශපාලන වේදිකාවටද පැමිණ ඇත. භාරතීය ජනතා පක්‍ෂ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දොමරියන්ගාන්ඡ්හි රැළියක්‌ අමතමින් තමා පහළ කුලයක ඉපදුනු පුද්ගලයෙක්‌ බව සැඟවිය නොහැකි බවත් එය අපරාධයක්‌ දැයි ප්‍රශ්න කරන බවත් සඳහන් කළේය, ඔහු හින්දි භාෂාවෙන් "නීචී ජාති" යනුවෙන් සඳහන් කළේය. එහි සිංහල අර්ථය වන්නේ පහළ කුලයක්‌ යන්නය. මෝඩි මේ ප්‍රකාශය සිදු කළේ ප්‍රියංකා ගාන්ධිගේ ප්‍රකාශයකට පිළිතුරක්‌ වශයෙනි. ප්‍රියංකා ප්‍රකාශ කළේ මෝඩිගේ දේශපාලනය පහළ දේශපාලනයක්‌ බවය. ඇය හින්දියෙන් "නීච් රාඡ්නිති" යෑයි ප්‍රකාශ කළාය. නරේන්ද්‍ර මෝඩි මේ රැළියේදීම ගාන්ධි පවුලට ප්‍රහාර එල්ල කිරීමට පසුබට වූයේ නැත. "මම තේ වික්‌කා තමයි. නමුත් රට වික්‌කේ නැහැ" යනුවෙන් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ප්‍රියංකා ගාන්ධි, නරේන්ද්‍ර මෝඩි කුලහීනයෙක්‌ බව ප්‍රකාශ නොකළ බවත් ඇය මෝඩිගේ දේශපාලනය පහළ බව පමණක්‌ ප්‍රකාශ කරන ලද බවත් කොංග්‍රස්‌ පක්‍ෂ ප්‍රධානියෙක්‌ ඉන්දීය රූපවාහිනි සේවාවකට පවසා ඇත. භාරතීය ජනතා පක්‍ෂයට ඉතා වැදගත් වන උත්තර් ප්‍රදේශ්හිදී මෝඩි සිය කුලය ගැන ප්‍රකාශ කළේ බ්‍රාහ්මණ ඡන්ද නොව පහළ කුලවල ජනතාවගේ ඡන්ද තමා වෙත අද්දවා ගැනීම සඳහාය.

"ඔබට ඒ කියන්නේ නරේන්ද්‍ර මෝඩිට ඕනෑ තරම් අවලාද අපහාස කරන්න පුළුවන්. ඔබට මාව එල්ලන්න පුළුවන්. නමුත් මගේ සහෝදර පහළ කුලයේ ජනතාවට නිග්‍රහ කරන්න බැහැ" යනුවෙන් ද මේ භාරතීය ජනතා පක්‍ෂ නායකයා ප්‍රකාශ කර සිටියේය. මේ අතර උත්තර් ප්‍රදේශයේ දාලිµa රැජින එනම් බහුජන සමාජ පක්‍ෂයේ ප්‍රධානී හිටපු මහඇමැතිනී මායාවතී මීට පෙර නරේන්ද්‍ර මෝඩිට අභියෝග කර තිබුණේ සිය කුලය හෙලිකරන ලෙසයි. එලෙසම ගුජරාට්‌ මහ ඇමැති ලෙස කුලහීනයන් වෙනුවෙන් කළ සේවයද හෙළිකරන ලෙස ඇය ඉල්ලීමක්‌ කර තිබිණි. නමුත් මෝඩි තම කුලහීන බව ප්‍රකාශ කළේ මායාවතීට පිළිතුරක්‌ ලෙස නොව ප්‍රියංකා ගාන්ධිට පිළිතුරක්‌ වශයෙනි. මායාවතීද කුලහීනයන්ගේ ඡන්දවලින් අගමැතිනිය වීමට සිහින දකින නිසා නරේන්ද්‍ර මෝඩිගේ කුලහීන කථාව ගැන එතරම් සතුටු වන්නේ ද යන්න ප්‍රශ්නයකි.

මේ අතර රාහුල් ගාන්ධි ද සිය සොහොයුරිය ආරක්‍ෂා කරමින් ප්‍රකාශ කර තිබුණේ ඇය නරේන්ද්‍ර මෝඩි පහත් පෙළේ දේශපාලන ක්‍රියාදාමයක නිරත වන බවක්‌ ප්‍රකාශ කළා මිස ඔහු කුලහීනයෙක්‌ බව ප්‍රකාශ නොකළ බවයි. මැතිවරණය ක්‍රමයෙන් අවසාන අදියරට එළඹෙද්දී දෙපාර්ශ්වය එකිනෙකාට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කර ගැනීම නම් වේගවත් වී ඇත.

බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජි සැමවිටම භාරතීය ජනතා පක්‍ෂ අගමැති අපේක්‍ෂකයාට පහර දුන්නාය. ඉකුත් බදාදා දින පැවැති මහමැතිවරණ රැළියකදී ඇය ප්‍රකාශ කර සිටියේ නරේන්ද්‍ර මෝඩි යනු "වඳුරෙකු" බවයි. බංගලාදේශයෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයින් නැවත බලයට පත් වූ පසු පලවා දමන බවට මෝඩි කළ ප්‍රකාශයට මමතා බැනර්ජි තද පිළිතුරක්‌ ලබාදී ඇත. බෙංගලි ජනයාට අවමන් කරන කිසිවකුට නැවත සමාවක්‌ ලබා නොදෙන බව මේ මහඇමැතිනිය තදින්ම ප්‍රකාශ කර ඇත. මමතා බැනර්ජිගේ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් බටහිර බෙංගාලයේම පැවැති ජනහමුවකදී නරේන්ද්‍ර මෝඩි ප්‍රකාශ කළේ ඇගේ සෑම වචනයකින්ම තමාගේ ඡන්ද වැඩිවන බවය. ප්‍රියංකා ගාන්ධි මෙන්ම මමතා බැනර්ජි ද පෙරළ පරළා භාරතීය ජනතා පක්‍ෂ අපේක්‍ෂකයාට පහර දෙන බව නම් සත්‍යයකි.

එහෙත් දැන් ඡන්දයේ ඉරණම බොහෝවිට සාමකාමී වී හමාරය. මේ සටහන ලියනවිට ඉන්දියානු මැතිවරණයේ ආසන 502 ක ඡන්දය තබා අවසන් වී ඇත. ඉතිරි ආසන 41 සඳහා වූ ඡන්දය හෙට එනම් 12 වැනිදා ආරම්භ වේ. ලබන සිකුරාදා (16 වැනිදා) ඉන්දීය මැතිවරණ කොමසාරිස්‌ වී. කේ. සැම්පන් විසින් ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ මීළඟ ආණ්‌ඩුව පිහිටුවන්නේ කවර පක්‍ෂයක්‌ද යන්න ප්‍රකාශයට පත්කරනු ඇත.

ඉන්දීය මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව පවසන්නේ එරට ඉතිහාසායේ වැඩිම පිරිසක්‌ ඡන්දය දැමීමට එක්‌වූ මැතිවරණය මෙය බවයි. 2009 මැතිවරණයේදී මෙම ආසන 502 ක ඡන්දය නිමවන විට ඡන්දය භාවිත කළ පිරිස 58% ක්‌ වූවත් මෙවර එම ප්‍රමාණය 66% ක්‌ වී ඇත. බටහිර බෙංගාලයේ ඡන්දය භාවිත කළ ප්‍රමාණය 81% කි. ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ එම ප්‍රමාණය 76% කි. මෙම ප්‍රාන්තයේ එක්‌ ඡන්ද මධ්‍යස්‌ථානයකට පැමිණි පුද්ගලයන් පස්‌දෙනෙක්‌ එහි ඡන්ද භාවිතාවට යොදාගන්නා ඉලෙක්‌ට්‍රොනික යන්ත්‍ර ගිනිතබා ඇති බවක්‌ වාර්තා විය. කවරක්‌ නමුත් එය ඉතා සුළු සිද්ධියකි. ඉන්දියාව පුරාම මෙවර මැතිවරණය වෙනුවෙන් ඡන්ද මාධ්‍යස්‌ථාන ලක්‍ෂ 9 ක්‌ පිහිටුවනු ලැබීය.

ඉන්දීය ඡන්දදායකයන්ගේ උනන්දුව වැඩිවීම අනුව පෙනී යන්නේ ඔවුන්ද වෙනසක්‌ බලාපොරොත්තුවන බවයි. එම වෙනස ගැන තොරතුරු තව දින පහකින් දැනගත හැකිය.

චතුර පමුණුව
http://www.divaina.com/2014/05/11/forign.html

Pic Source

0 comments: