Pages

Wednesday, February 20, 2013

සිංහල රාවය ජාතික සංවිධානය ඉරාන තානාපති කාර්යාලයට භාරදුන් සංදේශය!

2013-02-20
ආයුබෝවන්!

ඉරාන ඉස්ලාම් ජනරජයේ ගරු ජනාධිපති, මහමුද් අහමදි නෙජාද් මැතිතුමා වෙත ගෞරවයෙන් දන්වා සිටින වගයි!

අතීත පර්සියාව සහ බුදු දහම බැඳෙන්නේ බුද්ධත්වයෙන් අටවන සතියේ සිට බව ඔබතුමාද දන්නා කරුණකි. තපස්සු භල්ලුක වෙළඳ දෙසොහොයුරෝ පළමු වරට බුදු සමයේ හරය පර්සියාව වෙත රැගෙන ගියහ. අශෝක රජ දවස, ක්‍රි.පූ 243 දී, තුන්වන ධර්ම සංගායනාව සඳහා වැඩිපුරම මහරහතන් වහන්සේලා වැඩම කර ඇත්තේද වත්මන් ඉරානය ආශ්‍රිත ප්‍රදේශයෙනි. රටවල් දිග්විජය කරමින්, මහා අධිරාජයෙකු බවට පත් වූ, අශෝක මහ රජු,  රටවල් නවයකට මහරහතන් වහන්සේලා නව නමක් පෙරටු කොට ධර්ම ප්‍රචාරය සඳහා පිරිස් පිටත් කර හරින්නේ සියළු සතහට සාමයෙන් සමඟියෙන් ජීවත්වීමට අවශ්‍ය ආගමික පසුබිම බෞද්ධ දර්ශනය තුළ ගැබ්වී ඇති බව වටහා ගැනීමෙන් පසුවය. එහිදී,  යෝනක දේශය (වත්මන් ග්‍රීසිය අවට) වෙත මහාරක්ඛිත මහරහතන් වහන්සේ සහ අපරන්ත දේශය (වත්මන් ඉන්දියාවට බටහිර පෙදෙස) වෙත ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම පණිවුඩය රැගෙන ගියහ. සිව්වන ධර්ම සංගායනාවේදී කණිෂ්ක රජු, ඉරානය වෙත ධර්ම දූතයන් වහන්සේලා පිටත් කර හැරි බව ඉතිහාසයේ සඳහන් වේ. ඒ සෑම විටෙකම, දහම ප්‍රචාරණය සඳහා අවිබලය වෙනුවට, අවිහිංසක ක්‍රියාපිළිවෙතක් අනුගමනය කෙරුණු අතර මෛත්‍රිය සහ කරුණාව හරය කරගත් ඒ අවිහිංසාවාදී දහම එතැන් සිට ක්‍රි.ව. 6-7 වන සියවස් දක්වා එම භූමි ප්‍රදේශවල පැතිරී තිබුණි. එවන් ඓතිහාසික බැඳීමක් සහ උරුමයක් ඉරානය සහ බුදුදහම අතර පවතින බව ඔබතුමාට ගෞරවයෙන් මතක් කරදෙමු.

වත්මන් ඉරාන ජනාධිපතිවරයා ලෙස ඔබතුමා ශ්‍රි ලංකාව සහ ලාංකීය ප්‍රජාව වෙත දක්වන මිත්‍රශීලී සම්බන්ධතාවය අපි හැම විටම අගය කරමු.

ශ්‍රි ලංකා සංචාරයේදී අපි ඔබතුමා ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගතිමු. ඔබතුමා දන්නා පරිදි පිරිසිඳු ථේරවාදී බුදු දහම අදහන, සියළු ජාතීන්ට කරුණාව සහ මෛත්‍රිය දක්වන, බෞද්ධ දර්ශනයේ විනයෙන් හික්මුණු ජාතියක් වන අපි, දමිළ සහ මුස්ලිම් ඇතුළු සියළු සුළු ජාතීන් සමඟ ඉතාම සහයෝගයෙන් ජීවත් වෙමු. ඔවුන්ට ආගම ඇදහීමේ පූර්ණ නිදහස අපි තහවුරු කර ඇත්තෙමු. රාජ්‍ය ගුවන් විදුලිය ඔස්සේ පස්වරක් අසාන් කියවීමට ඉඩ හසර ලබාදී ඇති ලොව එකම මුස්ලිම් නොවන රට ශ්‍රි ලංකාව බව අපි මතක් කර සිටිමු. ඒ සඳහා මේ වනතුරු කිසිඳු බාධාවක් සිංහල බෞද්ධයන් විසින් සිඳු කර නැත.

ඉරානය පිලිබඳව විවිධ පුවත් අප වෙත නිරතුරුව ලැබේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යයට නතුව, විවිධ සම්බාධක වලට යටව, බොහෝ අවහිරතා මැද, ගෙවන දුෂ්කර කාල පරිච්ඡේදය ගැන අපි බොහෝ දුක්වෙමු. ඒ බෞද්ධ සංකෘතියෙන් අප ලද ආභාශයයි. ඉරාන වැසියන්ගේ දුකේදී විස්සෝප වන බෞද්ධ අපි, ලබා ගන්නා ජයග්‍රහණයන්හිදී බොහෝ සතුටු වෙමු. ඉරාන රාජ්‍ය නායකත්වය වෙත ඇති අභීත එඩිතරභාවය ගැන අපිද සතුටු වෙමු. එවන් ගෞරවණීය නායකයෙකු මෙහෙයවන, ලාංකීය අපට ඉතාමත් මිත්‍රශීලී ඉරාන රාජ්‍ය නායකත්වයෙන් ගත්, බොහෝ විස්සෝප වීමට සිදුවන තීරණයක් අපට ඊයේ දිනයේ (18 වනදින ) වාර්ථා විය. ඒ "ඉරානය තුළ බුදු පිළිම තහනම් කළ බවත්, තිබෙන බුදු පිළිම රාජසන්තක කළ බවත්" යන පුවතයි.

මෙතරම් මානුෂවාදී සහ ජනතාවාදී යැයි අප විශ්වාස කරන ඉරාන ඉස්ලාම් ජනරජය මෙවැනි තීරණයක් ගැනීම, පිරිසිඳු ථේරවාදී බුදුදහම අදහන ශ්‍රි ලංකීය සිංහල බෞද්ධ ජනතාව වන අපගේ හද තුළ දැඩි විමතියක් සහ සංවේගයක් ඇති කිරීමට හේතුවිය. අප තවමත් විශ්වාස කරනුයේ, මෙය ඔබ රජයේ යම් නොමඟ යැවීමක් නිසා ගත් තීරණයක් බවයි. එබැවින්, අතීතයේ පටන් එකිනෙකා සමඟ ගෞරවයෙන් සහ මිත්‍රශීලී භාවයෙන් බැඳුනු මිතුදමේ නාමයෙන්, මෙම වැරදි තීරණය වහා නිවැරදි කරණ ලෙස සිංහල රාවය ජාතික සංවිධානය ඉරාන ඉස්ලාමීය ජනරජයෙන් සහ ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

තෙරුවන් සරණයි!


[
සබැඳි ලිපි -
බුදු පිලිම තහනමට එරෙහිව කොළඹ ඉරාන තානාපති කාර්යාලය වටලති
http://denethharinna.blogspot.com/2013/02/blog-post_6878.html
ඉරානයෙන් හෝ ඉගෙනගෙන සංස්කෘතිය රකින්න
http://denethharinna.blogspot.com/2013/02/blog-post_3250.html
]


0 comments: