Pages

Tuesday, February 5, 2013

විහාර සහ දේවාල සතු ඉඩම්

මොරටුවේ එගොඩඋයනේ සුනන්දොaපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ නායක හාමුදුරුවන්ට අත් වූ ශෝකජනක ඉරණම අද "දිවයිනේ" සවිස්‌තරාත්මකව තිබේ. පන්සලේ ඉඩම්වල පරම්පරා ගණනක්‌ පදිංචිව සිටි සිංහල බෞද්ධයන් විසිනි, උන්වහන්සේ ඝාතනය කරන ලද්දේ. පන්සලේ ඉඩම් විහාරාධිපති භික්‍ෂූන් වහන්සේගේ විරෝධය මැද ගිහියන් විසින් පරිහරණය කරනු ලැබීම පාපයකටත් වඩා නුසුදුසු ක්‍රියාවකි. එහෙත් අවුරුදු 40 කටත් වැඩි කලක්‌ සිංහල බෞද්ධ පවුල් කිහිපයක්‌ සුනන්දෝපනන්ද විහාරයට අයත් ඉඩම්වල පදිංචිව සිටියේ නම් ඒ එකී පදිංචිකරුවන්ට අඩු ගණනේ පර්චස්‌ දෙක බැගින්වත් ලියා දුන්නේ නම් මේ විපත සිදුවන්නේ නැත. පන්සලේ ඉඩම්වල සිටි සිංහල බෞද්ධයන්ට යන එන මං නොතිබූ බව දැනගන්නට තිබේ. ඉඩම් ආරවුල නිරාකරණය කරගනු පිණිස කිසියම් සාධාරණ වැඩපිළිවෙළක්‌ අනුගමනය කිරීමට හැකිවී නම් අපේ හාමුදුරුවන් වහන්සේ තවමත් ජීවතුන් අතර ය.

පසු කාලයේදී ගෙවල් මිලට ගෙන පදිංචි වී මන්තර ගුරුකම් කරමින් ජීවත්වන චීවරධාරීන්ට හැර මේ රටේ පන්සල්වලින් වැඩි හරියකට විහාර දේවාලගම් පනත මගින් සුරක්‍ෂිත කෙරුණ ඉඩම් තිබේ. ඒ ඉඩම් සිංහල බෞද්ධ රජවරුන් විසින් නින්දගම් හැටියට සාසනයට පරිත්‍යාග කෙරුණු ඉඩම් ය. පුරාණයේ සිටි විහාරාධිපතිවරු එම ඉඩම් සාමාන්‍ය ජනයාට වගා කටයුතු සඳහා දුන් අතර පන්සල් නඩත්තුව සඳහා අස්‌වැන්නෙන් කොටසක්‌ ලැබිණ. මේ රටේ පුරාණ නීතියට අනුව ඉඩම් අයිතිය ශුද්ධ ලෙස තිබුණේ ආයතන දෙකකට ය. පළමුවන ආයතනය රජු ය. දෙවැන්න පන්සල ය. සාමාන්‍ය ජනයා ජීවත් වූයේ එක්‌කෝ රජුගේ ඉඩම්වල ය. නැත්නම් පන්සලේ ඉඩම්වල ය. රජු සමහර විට තම සිත්ගත් ගිහියකුට නින්දගමක්‌ පවරා දුන්නේය. ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය තුළ බුද්ධ සාසනයට තිබුණු ඉහළ තැන විග්‍රහ කෙරෙන පොතක්‌ ලෙස්‌ලි ගුණවර්ධන නමැති මහාචාර්යවරයකු විසින් Rදඉe aබා චකදමටය යන ශීර්ෂය යටතේ ලියා තිබේ. ලංකා ඉතිහාසයේ එක්‌ යුගයක බෞද්ධ භික්‍ෂුව රජු තරමටම බලවත් විය. ඇතැම් විට රජුටත් වඩා බලවත් විය. අපේ සංස්‌කෘතියේ හර පද්ධතිය ආරක්‍ෂා කෙරුණේ සාසනයට හිමිව තිබූ මේ බලය නිසාය.

මේ විහාර සහ දේවාල සතු ඉඩම්වලට පරක්‌ තෙරක්‌ නොවූ කාලයක්‌ විය. පසු කාලයේදී එම ඉඩම් සියල්ල ගිහියන් විසින් අල්ලා ගන්නා ලදී. ඔවුන් ඒවායේ පදිංචි වී හේනක්‌ - කුඹුරක්‌ කරගෙන සිටියා නම් මදෑෘ එපමණකින් නොනැවතී ඔවුහු ඒවා අන්‍ය ආගමිකයන්ට විකුණූහ. ශ්‍රී දළදා මාලිගාවට අයත් නින්දගම් ඉඩම්වලින් 10% කවත් භුක්‌තියක්‌ අද එම පූජනීය ස්‌ථානයට හිමිදැයි අපි නොදනිමු. හරි නම්, නුවර ටවුමෙන් වැඩි හරියකට අයිතිකාරයා ශ්‍රී දළදා මාලිගාව ය. ඉතිහාසයේ එක්‌ යුගයක ලොව වැඩිම ඉඩම් ප්‍රමාණයක්‌ අයත්ව තිබූ සිද්ධස්‌ථානය වූයේ රත්නපුරේ මහ සමන් දේවාලය ය. එයට අයත් ඉඩම් යාපනේ පවා තිබූ බව කියනු ලැබේ. එහෙත් අද වන විට එකී මුල් ඉඩම්වලින් 5% ක්‌වත් මහසමන් දේවාලයට අයිති නැති බව අපගේ විශ්වාසයයි. සියල්ල ගිහියන් විසින් අල්ලාගෙන විකුණා හමාරය. කෙසේ වුවද අප නැවතත් කියන්නේ මොරටුවේ හාමුදුරුවන් අර පවුල් කිහිපයකට පර්චස්‌ දෙක බැගින්වත් දුන්නේ නම් ජීවිතයත් බේරාගෙන සාමුහික ගමනකුත් යා හැකිව තිබූ බවය.

මේ සිද්ධියට බොදුබල සේනා සංවිධානය මැදිහත්ව සිටී. බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාට භාරකාරයෙක්‌ නැත. උන්වහන්සේලා දානය නැතිව අපවත් වුවත් කරන්නට දෙයක්‌ නැත. එසේ තිබියදී බොදුබල සේනාව භික්‍ෂූන්වහන්සේලාගේ සහ බුද්ධ ධර්මයේ ආරක්‍ෂාව පිණිස ක්‍රියා කිරීම අගය කරමු. මේ පුවත්පත තලේබාන් අන්තවාදී ස්‌වරූපයේ සිංහල බෞද්ධ අන්තවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැත. එහෙත් වෙනස්‌ වන ලෝකයක බුදුදහම සහ භික්‍ෂු ශාසනය ආරක්‍ෂා කිරීමට සංවිධානයක්‌ පහළ වී තිබීම අගය කරනු ලබන්නේය. ඒ අතර අපේ අදහස වන්නේ විමලවංශ හාමුදුරුවන් ඝාතනය කළ මිනීමරුවන් දෙදෙනාට වෙඩි නොතබා අධිකරණය ඉදිරියට ගෙන ආවේ නම් වඩා හොඳ බවය. ඒ අතර හාමුදුරුවන් තම ඉඩමේ සිටි අයට පර්චස්‌ දෙක බැගින්, පවුල් හතරකට බෙදා දුන්නේ නම් තවත් හොඳ බවය.

කෙළින් කතාව | දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/02/05/editor.html

0 comments: