Pages

Wednesday, February 20, 2013

දළඳා මාළිගාව අවට සියළු සුරාසැල් තහනම් කරනු

ජාතියේ මුදුන් මල්කඩ සිරි දළඳා මාළිගාව අවට ඇති සියළුම සුරා සැල් තහනම් කල යුතු බව ජාතික සංඝ සම්මේලනයේ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් පවසයි.ඒ බව උන්වහන්සේ ප‍්‍රකාශ කලේ ජාතික සංඝ සම්මේලනය විසින් දියත් කල මෙම වැඩසටහනේ ප‍්‍රථම අදියරය වන මල්වතු අස්ගිරි මහා නාහිමිවරු දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අදහස් දැක්වූ රතන හිමියන්,

“රජයේ බලධාරීන් හා වගකිවයුතු නිළධාරීන් මේ පිළිබඳව දැනුවත් කළත් ඔවුන් මේ වෙනකන් කිසිම කි‍්‍රයාමාර්ගයක් ගෙන නැහැ.ඒ පිළිබඳව අපි කනගාටුව ප‍්‍රකාශ කරනවා. මතට තිත කියලා අපි යම්කිසි ප‍්‍රතිපත්තියක් අපි රටට ප‍්‍රකාශ කරලා තියනවා. දැන් ඒ  ප්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරවීම සඳහා අපට ජනතාව අතරට යන්න වෙලා තියනවා. අපි බලාපොරොත්තු වෙනවා මහනුවර ප‍්‍රදේශයේ සුරා සැල් ඉවත් කිරීමට කටයුතු කරන්න. අද අපි ඒ වෙනුවෙන් දළඳා වහන්සේ ඉදිරිපිට සත්‍යකි‍්‍රයාවක් කලා.

අපි මීට අදාල වගකිවයුත්තන්ට අපි කියනවා වහාම මේ සුරාසැල් ඉවත් කරන්න කටයුතු කරන්න. එහෙමත් නැත්නම් මහ ජනතාව සමග එක්වෙලා අපට මීට වඩා තදින් කි‍්‍රයා කරන්න සිදු වෙනවා. නීතිය කි‍්‍රයාවට නගන්නේ නැත්නම්, මත් පැන් සහ දුම්වැටි අධිකාරි පනතේ විදිවිධාන වලට අනූව කි‍්‍රයාකරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම අපට සිද්ධ වෙනවා ජනතාව සමග නීතිය අතට ගෙන කි‍්‍රයා කරන්න.  ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අදාල බලධාරීන් උතුම් දළඳා වහන්සේ අවට තියන ඒ නීති විරෝධී සුරා සැල් සියල්ලම වසා දැමීමට ඉක්මනින් කටයුතු කරයි කියලා. ”

ජාතික සංඝ සම්මේලනය විසින් නීති විරෝධී සුරා සැල් සම්බන්ධව විස්තරාත්මක සංදේශයක් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් වහන්සේලා වෙත පිළිගැන්වූ අතර උන් වහන්සේලාගේ පූර්ණ සහය මේ සඳහා ලබා දෙන බවට ප‍්‍රකාශ කළහ.

මෙහිදී අස්ගිරි පාර්ශවීය මහා නායක උඩුගම බුද්ධරක්ඛිත නාහිමිපාණන් දේශපාලකයන් බාර් ව්‍යාප්තියට සෘජුවම වගකිව යුතු බවට චෝදනා කල අතර බලධාරීන්ට කෙතරම් දැනුම් දුන්නද එය බීරි අලින්ට වීණා වැයීමක් වැන්නැයි වදාළ සේක. නමුත් කෙසේ හෝ මේ මත්පැන් හල් වසා දැමීමට කටයුතු කල යුතු යැයි උන් වහන්සේ අවධාරණය කළහ.


දළඳා මාළිගාව අවට සියළු සුරාසැල් තහනම් කරනු
February 20, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90668/

0 comments: