Pages

Thursday, February 21, 2013

‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...

දැනට හලාල් සහතිකය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් බොදු බල සේනා සංවිධානය සහ ජමෙයිතුල්ලා උලමා සංවිධානය සමග හලාල් අර්බුදය සම්බන්ධයෙන් වෙන වෙනම සාකච්ජා කිරීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පක්ෂ නායකයින්ගෙන් යුතු කමිටුව තීරණය කර ඇත.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ ඇමති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව කමිටු වාර්තාව මසක් ඇතුලත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට එහිදී තීරණය කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ජ්‍යෙෂ්ඨ ඇමති රත්නසිරි වික‍්‍රමනායක මහතා  ආගමික සහජිවනයට බාධාවක් ඇති නොවන සේ සහ ආගමික ගැටුමක් ඇතිවන්නේ නම්  ඊට  ඉඩ නොතබන සේ කටයුතු කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය විසින් කමිටුවට පවරා ඇතැයි  ප‍්‍රකාශ කර ඇත.

ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් මෙය ඉතා සංවේදී   ප‍්‍රශ්ණයක් බවත් සියලූ රටවැසියන් මේ ගැන සාධාරණව සහ ඉවසීමෙන් බැලිය යුතු බවත් පවසා ඇත.

මුස්ලිම් ජනතාවට හලාල් සහතිකය ඇති ආහාර ලබාගැනීමේ අයිතියක් තිබෙන නමුත් එය අන්‍යාගමිකයන් වෙත  බලෙන් පැටවීමද සාධාරණ නොවන බවද විමල් වීරවංශ  ඇමතිවරයා පවසා තිබේ.

තාක්ෂණ පර්යේශණ හා පරමාණුක බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් හලාල් සහතිකය බලෙන් පැටවීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව පෙනවා දී ඇත.

අධිකරණ ඇමති රාවුෆ්  හකීම මහතා අදහස් දක්වමින් සමහරුන් මෙම ප‍්‍රශ්නය මුල් කරගෙන මුස්ලිම්වරුන්ට රිදෙන ආකාරයට කටයුතු කරන බව පවසා ඇත.

එහිදී අදහස්  දක්වා ඇති ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා  පරිභෝගික අධිකාරියට තිබෙන බලයක් ගැනීමට ජමෙයිතුල්ල උලමා සංවිධානයට අයිතියක් නැතත් ඔවුන් එය ලබාගෙන ඇති බවත් ඒ පිලිබදව වහාම සොයා බැලිය යුතු බවත් ප‍්‍රකාශ කර ඇත.


‘හලාල්’ ගැන බොදුබල සේනා හා උලමා සංවිධානය අතර වෙන වෙනම සාකච්ජා
February 21, 2013 at 1:01 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90718/

0 comments: